2023 මාර්තු 19 වන ඉරිදා

රුපියල පා කළොත් මතුවෙන අර්බුද

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 61

ජීවන වියදම පාවෙන තැනකට පත්ව ඇති අවස්ථාවක විදේශ විනිමය අනුපාතිකය වෙළෙඳපොළ අනුව තීරණය කරන්නට යෝජනා වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරන සැලැස්ම අනුව තාක්ෂණික වෙනස්කම් ගණනාවක් යෝජනා කර ඇති අතර විනිමය අනුපාතිකය සම්බන්ධ තීරණය ද එයින් එකකි. මහ බැංකුව ශක්තිමත් කරන පියවරක් වශයෙන් එහි ස්වාධීනත්වයට ඉඩ දෙන අලුත් පනතක් ද, බැංකු පද්ධතිය නැවත වතාවක් ප‍්‍රතිමූල්‍ය පහසුකම් සඳහා පොළඹවන යෝජනාවක් ද තිබේ. විනිමය අනුපාතිකය සම්බන්ධ අලුතින් ඇති කරන විවෘතභාවය හා එයින් ඇතිවිය හැකි බලපෑම වෙනම සලකා බැලිය යුතු අංශයකි. 

විවෘත ආර්ථික ක‍්‍රමයක් පවතින බව සඳහන් කරන නමුත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත නැත. ආණ්ඩුවකට තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආකෘතිය සම්බන්ධ නියෝග නිකුත් කළ හැකි අධිකාරී බලයක් නඩත්තු කරමින් සිටී. විනිමය සම්බන්ධව ද අභ්‍යන්තරය එබඳුය. මෑත කාලයේ දී රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන මහ බැංකුව අනුගමනය කරන ලද ක‍්‍රම වෙළෙඳපොළ මූලධර්මවලට එකඟ නැත. විදේශ වෙළෙඳාමේ වාසි අරමුණු කරගෙන මහ බැංකුව තමන් සතු විනිමය සංචිත වරින් වර නිදහස් කරන අතර එය අවස්ථාවෝචිතය. 

රුපියලේ අගය වැඩිවීම

පසුගිය මාර්තු අට වැනිදා සිට ශ‍්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය සම්බන්ධව එතෙක් දරන ලද ස්ථාවරය වෙනස් කළේය. වාණිජ බැංකුවලට නිදහසක් ලැබුණි. විනිමය අර්බුදය හේතුවෙන් දිනපතා වාණිජ බැංකුවලට ලැබෙන විදේශ විනිමය වලින් 25%ක් පමණ මහ බැංකුවට සැපයිය යුතු බවට නියෝගයක් තිබුණු අතර එය 15%ක් දක්වා පහත දමා තිබේ. විනිමය නිකුත් කිරීම හා විදේශ මුදල් හුවමාරුව සම්බන්ධව පැවැති ඇතැම් වාරණ ද ඉවත් කොට ඇත. වාණිජ බැංකු පසුව නිවේදනය කරන ලද පරිදි ගනුදෙනුකරුවන්ට විනිමය ඉල්ලා සිටීමට හැක. මෙම වෙනස සමඟ වෙළෙඳපොළට ලැබුණු විනිමය ප‍්‍රමාණය තාවකාලිකව ඉහළ ගිය අතර එය රුපියලේ අගය ශක්තිමත් කරන්නට බලපෑවේය. දින කිහිපයක් පැවැති මෙම තත්ත්වය අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 360.00 ක සීමාවේ සිට රු. 305.00 දක්වා පහත වැටීම කැළඹීමකට හේතු විය. ආනයනකරුවෝ සමහර භාණ්ඩවල මිල අඩු කරන බව නිවේදනය කළ අතර ආනයන අංශ මහත් විමතියකට පත්විය. එයට හේතුව මෙම තාවකාලික තත්ත්වය බව පැහැදිලි කළ යුතුය. රට තුළ ඇති තරම් විනිමය රහිත ස්වභාවයක දී පවා රුපියලේ අගය ශක්තිමත් වීම සැක සහිත කෝණයකින් සලකන්නට ඇතැම් මූල්‍ය උපදේශකයෝ නැඹුරු වී සිටියහ.

කෙසේ වෙතත් විනිමය වෙළෙඳපොළේ ඇතිවූ හදිසි චංචලභාවය තැන්පත් වෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයෝ පවා වසර අවසන් වන විට රුපියලේ අගය ගැන වෙනමම අදහසක් පළ කළහ. දින කිහිපයක් තුළ අමෙරිකානු ඩොලරයේ අගය පිරිහීම ඔවුන් විශ්වාස නොකළ බව පෙනිණ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා මහ බැංකුව ඩොලර් සඟවාගෙන සිටි පිරිස්වලට පාඩමක් උගන්වන බව අඟවන ලද බව ද පෙන්වා දිය යුතුය. තැතිගැනීම නිසා ඉක්මනින් තීරණ ගත් පිරිස් ඉලක්ක කරගෙන සිදුවූ මෙම තාවකාලික තත්ත්වය හේතුවෙන් සුළු වශයෙන් ගනුදෙනු කරන ලද විනිමය භාවිත කරන්නන් අවාසි සහගත ඉරණමකට මුහුණ දෙන ලද බව සඳහන් කළ යුතුව තිබේ. ඉදිරියේ දී අමෙරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල්වලට ඇති ඉල්ලුම වැඩි විය හැක. ශ‍්‍රී ලංකාව දැනට පවතින ණය නොගෙවන සහ ආනයන පාලනය කර ඇති පරිසරය වෙනස් වූ පසු විනිමය වෙළෙඳපොළට සැපයිය හැකි විනිමය ප‍්‍රමාණය ගැන තක්සේරුවක් බලධාරීන්ට තිබිය යුතුය.

කොන්දේසි අතර විනිමය අනුපාතයත්

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් ඉල්ලා සිටි අතර එය අනුමත කර තිබේ. මෙම සංචිතය අනුමත කරන අතරවාරයේ ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු ආර්ථික සැලැස්ම ගැන යෝජනා ගණනාවක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම යෝජනා මූල්‍ය අරමුදල වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන්ය. විනිමය හිඟය පදනම් කරගෙන ආර්ථිකය අර්බුදයකට පත් රටට පාවෙන විනිමය අනුපාතිකයක් එනම් විනිමය අගය වෙළෙඳපොළ අනුව තීරණය කරන්නට ඉඩ හැරීම එයින් එකකි. 
විදේශ වෙළෙඳාමේදී විශ්වාසය වැදගත් කරුණකි. විනිමය අනුපාතිකය කෘත්‍රිම පාලනයක දී විශ්වාසය බිඳ වැටේ. විනිමය අනුපාතිකය විවෘත කිරීමෙන් ආයෝජකයන් හා අපනයනකරුවන් තුළ විශ්වාසයක් ඇති කරන්නට මූල්‍ය අරමුදල උත්සාහ කරන බව පෙනේ. ආයෝජකයන්, කොටස් වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරන පිරිස් හා වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ වන විශාල ව්‍යවසායකත්වයන් එදිනෙදා කරන විනිමය ගනුදෙනුවලදී වාසි අවාසිවලට මුහුණ දෙති. බාහිර පාර්ශ්වයක පෙළඹවීම මත විනිමය වෙනස්වීම් අනපේක්ෂිත ලෙස අලාභ ඉහළ යන හේතුවකි. එය අවදානම් සහගත ගනුදෙනුවකි. මූල්‍ය වෙළෙඳපොළ තුළ පවතින සැබෑ ස්වභාවයට වඩා වෙනස් ගැලපීමක් මූල්‍ය අගයන්ට ලැබීම අවිශ්වාසය ඇති කරයි. එවැනි පසුබිමක් තුළ ලෝකයේ වෙනත් රටක ඇති අවස්ථා සඳහා යුහුසුළු වීම ආයෝජන හෝ වෙළෙඳ ව්‍යාපාරවල නැඹුරුව බව සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර තරගකාරී ආයෝජන හා වෙළෙඳ රටාවලට අනුගත විය යුතුව ඇති අතර එහි සූක්ෂමභාවයෙන් ප‍්‍රයෝජන ගැනීම අනිවාර්ය කාරණයකි. පැහැදිලිව පෙනෙන මූල්‍ය වෙළෙඳපොළක් තුළ අවදානම පදනම් කරගෙන, අධික ධන හානියක් සිදු නොවේ. 

මහ බැංකුවේ තද පාලනයක් රහිත මූල්‍ය වෙළෙඳපොළක් තුළ ශ‍්‍රී ලංකාවේ පවතින සංචිත පිළිබඳ පැහැදිලි රාමුවක් පිළිබිඹු කෙරේ. පසුගිය කාලයේ සංචිත ඉතාමත් අඩු වූ නමුත් ඉකුත් ජනවාරි මාසයේ ශ‍්‍රී ලංකාවේ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 1,121 ක් හා පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 1,217 ක් බවට පත්ව තිබුණි. මෙයට හේතුව චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක සංචිත පහසුකමක් බව දැක්වේ. සංචාරක කටයුතුවලින් ලැබෙන විනිමය ප‍්‍රමාණය වර්ධනය හා විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන මුදල් ක‍්‍රමිකව ඉහළ යාම ද මෙහි දී වාසියක් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සංචිත ගැන ඉඟිය ද මෙතෙක් ඩොලර් තමන් සතුව පවත්වාගෙන ගිය ඇතැම් පිරිසක් ඒවා නිදහස් කරන්නට බලපෑ කාරණයක් බව පෙනේ. දින ගණනාවක් එක දිගට රුපියලේ අගය ශක්තිමත් වීමෙන් පසු අත්පත් වන අවාසි සලකා වහාම විදේශ මුදල් නිදහස් කිරීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පිරිසගේ අභිලාශය බව නිරීක්ෂණය කළ හැක.
විනිමය අනුපාතිකය වෙළෙඳපොළ පවතින ඉල්ලුම හා සැපයුම අනුව තීරණය කරන්නට ඉඩ දීම සුදුසුය. අනවශ්‍ය තොග රුස්කරන පිරිස් හා ආණ්ඩුවට සම්බන්ධව ජාවාරම් කරන ඇතැමුන්ගේ ග‍්‍රහණය ද එයින් බිඳ වැටේ. පාලනය කරන ලද විනිමය අනුපාතිකය තුළ පිළිගත් වෙළෙඳපොළ කටයුතුවලට එපිටින් කළු සල්ලි ජාවාරම් ඇතිවන අතර එය ද ආර්ථිකයකට විශාල හිරිහැරයකි.

රුපියලේ පෙරුළීම නතරවෙන තැන?

විනිමය අනුපාතිකය ශක්තිමත් වීම පාරිභෝගිකයන්ට වාසි සහගතය. ආනයනයේ දී පහසුවකි. එහෙත් අපනයන අංශවලට එයින් පීඩාවක් අත්වේ. ශ‍්‍රී ලංකාවේ අපනයන ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට මෙතෙක් ලැබෙමින් තිබුණු මිල අඩුවීමේ වාසිය අහිමි වේ. මෙරට භාණ්ඩවල මිල ඉහළ යන අතර ඉල්ලුම පහත වැටෙන අවදානමක් ඇති කෙරේ. විනිමය අනුපාතය දුබල වීම පමණක් නොව ශක්තිමත් වීමද දෙආකාරයකින් බලපාන හෙයින් ප්‍රවේශමෙන් තීරණ ගත යුතුය. ශ‍්‍රී ලංකාවට මෙම තීරණාත්මක අවස්ථාවේ දී අපනයන වර්ධනය වැදගත්ය. ආයෝජන ලබාගත යුතුය. එහිදී උපායශීලී වීම උවමනා කෙරේ. රුපියල ශක්තිමත් වීම විශාල වරප‍්‍රසාදයක් සේ සැලකිය යුතු නැති අතර එයින් අතිශය උද්දාමයට පත්වීම ද නොවැදගත් සාධකයකි. 

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් පිබිදීමකට පත්ව නැත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ගෙවීම නතර කරන ලද විදේශ ණය හා පොලිය රටට ඇති බරකි. එම ණය ප‍්‍රමාණය අ‍මෙරිකානු ඩොලර් බිලියන තිස් පහක් පමණ වේ. මේවා ආපසු ගෙවීමට හැකි ක‍්‍රම ගැන සාකච්ඡා දැන් පැවැත්වේ. වසරකට ඩොලර් බිලියන හතක් පමණ ගෙවන්නට රටට සිදුවනු ඇත. එය පහසු කර්තව්‍යයක් නොවේ. ණය හා පොලිය නොගෙවන අතර ක‍්‍රමයෙන් එකතු වන විදේශ වත්කම් සලකා ආර්ථිකය ඉහළ තැනක බව ප‍්‍රකාශ කිරීමට ඉක්මන් විය යුතු නැත. තවමත් අන්ධකාර කලාපය පසු කරමින් සිටින රටක් වශයෙන් හැකි තරමට විනිමය උපයා ගැනීමට වෑයම් දැරීම අවශ්‍යය. අපනයන අවස්ථා උත්පාදනය කර ගැනීම හොඳ පියවරකි. සංචාරක කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් කොටුවී සිටි ජනයා දැන් සංචරණයට සූදානම් වන අතර ශ‍්‍රී ලංකාව හොඳ තෝතැන්නක් බවට පත් කරගතහොත් ඉක්මනින් විනිමය ඉපැයිය හැකි මාර්ගයකි. 

අලුත් ආයෝජන රටට අවශ්‍යය. විදේශ විනිමය ලැබෙන නවෝත්පාදන ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. තේ, රබර් සහ පොල් යන සම්ප‍්‍රදායික අපනයන බෝග පමණක් රටට ප‍්‍රමාණවත් නැත. පරිගණක හා මෘදුකාංග අපනයනය අලුත් අංශයකි. පසුගිය වසරේ එම ක්ෂේත‍්‍රයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්නය. එම අංශ දිරිගැන්විය යුතු අතර එහිලා කෙරෙන අලුත් ව්‍යවසාය සඳහා විනිමය අනුපාතිකය වෙළෙඳපොළ අනුව තීරණය කිරීමට ඉඩ දීම සෑහෙන වාසිදායක පිළිවෙළක් වනු ඇත. රුපියලේ අගය පෙරැළීමකින් තොරව නතර කරගත හැකි ක‍්‍රම කෙරෙහි ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුය.

I සාරා කන්දෙගොඩ