2023 මාර්තු 19 වන ඉරිදා

රුපියල එක්කම උඩ-යට යන රත්‍රන් මිල

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 272

ඇමරිකානු ඩොලර්වලට සාපේක්ෂව ලංකාවේ රන් ආභරණවල මිලෙහි වෙනසක් සිදුවෙමින් තිබේ. ඒ බව මේ දිනවල ස්වර්ණාභරණ අලෙවිසල්වලින් වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළදී රන් ආභරණවල මිල යම් තරමින් පහළට ගිය බව රන් ආභරණ වෙළෙඳසල් හිමියෝ ප්‍රකාශ කරති.

''පසුගිය දවස් කීපයේදී නම් රත්රන්වල මිල ටිකක් අඩුවුණා. ඒ අනුව රත්රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ තිස් හතර දහසේ සිට රුපියල් එක්ලක්ෂ විසිපන් දහස දක්වා පහළ ගියා. හැබැයි ඒ පහළ බැසීමත් සමග වෙන කාලවලදී මෙන් මෙවර මිල පහළ ගිය දිනවල රත්තරන් මිලදී ගන්නට පාරිභෝගිකයන් නම් අලෙවිසල්වලට ආවෙ නැහැ.'' යැයි කොළඹ හෙට්ටිවීදියේ රත්රන් අලෙවිසල් හිමියකු වන ගනේෂ් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

එයට ප්‍රධානම හේතුව වන්නේ මේ කාලවලදී රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය බව සඳහන්ය. රත්තරන් මිලදී ගැනීම කෙසේ වුවද මේ දිනනවල ජනතාවට තම දරුවන්ට පාසල් අධ්‍යාපනයට අවශ්‍ය කරන පොතපත සහ අඩුම තරමින් පාසල් යාමට අවශ්‍ය සපත්තු මිලදී ගැනීමටවත් වත්කමක් නොමැත.

''මේ වෙනකොට රන් ආභරණ වෙළෙඳසල් බොහොමයක් වහලා දාලා තිබෙන්නේ අලුත් විලාසිතාවලින් රත්තරන් හදන්නටත් අද බැරිවෙලා තියෙන්නේ මිනිස්සු රන් භාණ්ඩ මිලදී ගැනීමට නොපැමිණීම නිසයි. රත්තරන් ගන්න ආවත් බොහෝ පාරිභෝගිකයන් අපෙන් අඩු ගාණකට කේවල් කරලා, රත්තරන් අත ගාලා බලලා යනව හැර මිලදී ගන්නේ නැහැ. ඒ තරමටම මිනිසුන් අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුද රුසකට මුහුණ දීලයි. ඒ නිසා අලුත් රන් ආභරණ නිර්මාණ කරන එකත් මේ දවස්වල අපි තාවකාලිකව නතර කරලයි තිබෙන්නේ. ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. හැබැයි අද තියෙන තත්ත්වය ඕකයි...'' යැයි ගනේෂ් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ දිනවලදී කැරට් විසි හතරේ රත්තරන් පවුමක් රුපියල් එක්ලක්ෂ හතළිස් පහකට අලෙවි වී ඇති අතර කැරට් විසි දෙකක රත්තරන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ විසි හතර දක්වා පහළ බැස ඇත.

''අපි ඩොලර් දීලා තමයි පිටරටවලින් රත්තරන් ගන්නේ. අපි ඩොලර්වලට ගෙවන ගාන රත්තරන්වලින් අය කරනවා. පසුගිය කාලයේදී ඩොලර් තුන්සිය හැත්තෑවලට ගත්තු රත්තරන්වලින් එක්ලක්ෂ අසූ දහසකට වගේ මිලකට රන් ආභරණ විකුණුවා. ඊට පසුව ඩොලර් තුන්සිය විස්සට ආවට පස්සේ එක්ලක්ෂ තිස් හත්දහසකට වඩා ගාණකට අඩුවුණා. ඒ අනුව ඩොලර්වල මිල පහළ වැටීමත් සමඟ ලංකාවේ මිලට රත්තරන් ආභරණවල මිලත් අඩුවුණා. රත්තරන් මිල අඩුවෙද්දී ආභරණවල මිලත් අඩුකර අපි පාරිභෝගිකයන්ට ලබාදෙනවා. ලෝකයේ තිබෙන රත්තරන්වල මිලත් පසුගිය කාලයේදී ආයෙමත් වැඩිවුණා. අපිට රත්තරන්වල මිල තීරණය කරන්න බැහැ. ලෝකයේ පවතින රත්තරන් ආභරණවල මිල අඩු වුණ නිසා ඒ දිනවලදී රත්තරන් මිලදී ගත්ත පාරිභෝගිකයන් වාසනාවන්තයි. රත්තරන් පවුමකින් රුපියල් හතළිස් දහසක පමණ වාසියක් ඔවුන්ට ලැබුණා. අද වෙද්දී ලෝකයේම රත්තරන්වල මිල වැඩිවෙලා තිබෙනවා. ඩොලර්වල මිලත් වැඩිවෙනවා. ඒ නිසා නැවතත් ආයෙත් රත්තරන් ආභරණවල මිල සාමාන්‍ය පෙර පැවති තත්ත්වයට පත්වෙන්න පුළුවන්. රත්තරන් මිල අඩුවුණත් සමඟ බොහෝ රටවල්වල ඉහළ පැලැන්තියේ රන් වෙළෙඳුන් රත්තරන් තොග වශයෙන් මිලදී ගන්නවා. නැවතත් මිල ඉහළ යාමත් සමඟම ඔවුන්ට ඉතා වැඩි ආදායමක් සමඟ රත්තරන් විකිණීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ලංකාවේ බොහෝ රන් අලෙවිකරුවන්ට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. යැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ සභාපති විජයකුමාර් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වනවිට නැවතත් රන් ආභරණවල මිල ඉහළ ගොස් ඇත. අද වනවිට කැරට් විසිහතරේ රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ අසූදහසක් පමණ වන අතර කැරට් විසි දෙකක රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක් පමණ වේ. වෙළෙඳපොළේ පැවතීමත් සමඟ දිනෙන් දින රත්තරන්වල මිල වෙනස් වේ. ඒ අනුව පසුගිය දින හතර ඇතුළතදී රත්තරන් මිල පහළ ගියද ද වනවිට එහි මිල යළිත් ඉහළ අගයක පවතී.

''පසුගිය දවසක මාධ්‍යයෙන් රත්තරන්වල මිල පහළ ගියා කියල ආරංචි වෙලා අපි රත්තරන් ගන්න කොළඹට ආවා. දැන් රත්තරන් බඩු ටිකක් ගන්න ආවම ආයෙත් රත්තරන් බඩුවල මිල ඉහළ ගිහින්ලු. හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳසල් කිහිපයකට ගියත් ඒ මිලෙහි අඩුවක් නැහැ. අපරාදේ ඒ දවස් ටිකේ වගේ මිල අඩුවක් තිබුණ නම් අපිට හොඳ ලාභයක් එක්ක වෙඩින් එකේ මාලයයි, මුදු දෙකයි ගන්න තිබුණා.'' යැයි පාදුක්කේ මංගල කුමාර දේශයට අදහස් දක්වමින් පැවසීය.

කෙසේ වුවද මේ අතරේ තවත් සමහරුන් නව රන් ආභරණ සඳහා අත්තිකාරම් මුදල් ලබාදුන් රන් ආභරණ වෙළෙඳසලට පැමිණ ඉතිරි මුදල් ලබාදීමේදී රත්තරන් අඩුවීමෙන් තමන්ට ලැබෙන වාසිය බලාපොරොත්තු වුවද එය ඔවුන්ට ලැබුණේ නැත.

''අපි මීට සති දෙකකට කලින් හෙට්ටිවීදියට ඇවිත් රත්තරන් බඩුවලට අත්තිකාරම් මුදලක් දීලා ඕඩරයක් බාරදුන්නා. පසුගිය දින දෙකේදී රත්තරන්වල මිල ඉතා අඩුවීමක් වුණ බවට ආරංචිය ලැබුණ නිසා අපි ඉතිරි මුදල් ගෙන ආවත් ඒ රත්තරන් මිලෙහි අඩුව අපිට ලැබුණේ නැහැ. එහෙම අඩු වුණා නම් ඒක අපිට ලොකු වාසියක්. හැබැයි රන් ආභරණ වෙළෙඳසැල අපෙන් ඕඩරය බාරදුන්නු දවස් තිබුණ මිලට තමයි ආභරණය ලබා දුන්නේ.'' යැයි හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළඳ සැලකට පැමිණ සිටි වාද්දුවේ මහේෂිකා මහත්මිය දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න