2023 මාර්තු 19 වන ඉරිදා

මොනවද මේ කඳුළු ගෑස්

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 41

මේ දවස්වල ලංකාවේ පමණක් නොව ලොවපුරාම විවිධ ජනරාශි උද්ඝෝෂණ සහ විරෝධතා බහුලය. මේවා ප්‍රචණ්ඩත්වයට ළං වීමත් සමග ලොවපුරා එය මැඬ පැවැත්වීමට භාවිත වන ප්‍රධානතම රසායන අවියකි කඳුළු ගෑස්, කඳුළු නංවන ගෑස්, ප්‍රහාරක අවියක් හැටියට භාවිතයට ගෙන ඇත්තේ අද ඊයේ සිට නොවේ. ඒ, පළවැනි ලෝක යුද සමයේ සිටය. එදා සිට අද දක්වා කඳුළු ගෑස් තැනීමේ තාක්ෂණයද අනෙකුත් අවි තාක්ෂණය සමඟ විවිධත්වයට පත්ව හමාරය.

කඳුළු ගෑස්, ලැක්රිමේටර් කාරකය - lachrymator agent හෙවත් කඳුළු කාරකය හෝ ලැක්රිමේටර්,  lachrymator ලෙස හැඳින්වේ.  ඇසේ කඳුළු ග්‍රන්ථි උත්තේජනය කරවා කඳුළු ගලන්නට සලස්වන රසායන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගනී. ඊට අමතරව, එය දරුණු ඇස් සහ ශ්වසන මාර්ගය ආශ්‍රිත වේදනාව, සමේ දැවිල්ල සහ පුපුරු ගැසීම, ලේ ගැලීම සහ අන්ධභාවයට හේතු විය හැක.

කඳුළු ගෑස්  නිපදවන්නේ රසායන ද්‍රව්‍ය මිශ්‍රණයකිනි. කඳුළු ගෑස් තුළ සාමාන්‍යයෙන් සමන්විත වන්නේ වායුවක් නොව aerosolized ඝන හෝ ද්‍රව සංයෝග (bromoacetone හෝ xylyl Bromide) මිශ්‍රණයකි. බහුලව භාවිතා වන කඳුළු වායු දෙක වන්නේ ω-chloroacetophenone,  හෙවත් CN, සහ o-chlorobenzylidenemalononitrile, හෙවත් CS ය. මේ අන්දමට කඳුළු ගෑස් ලෙස භාවිතා කරන පොදු කඳුළු කාරක අතර CS වායුව ප්‍රධානය. ඒ සංයෝගය තුළ ක්ලෝරීන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් සහ කාබන් සහිතය. ඊට අමතරව CR වායුව, CN වායුව (phenacyl chloride), බ්‍රෝමෝ ඇසිටෝන් - bromoacetone,ග්සයිලීල් බ්‍රෝමයිඩ් - xylyl Bromide ගම්මිරිස් ඉසින (OC ගෑස්), PAVA ඉසින (nonivamide), සහ සන්නාමගත රසායන මිශ්‍රණයක් - Mace  ඇතුළත් වේ.

ඒ අනුව 37 මි.මී. කුඩා ගෑස් උණ්ඩයක්  තුළ කඳුළු කාරක රසායනය සමඟ අනෙකුත් ක්‍රියාකාරී සංයෝග ලෙස පොටෑසියම් නයිට්රේට්, පොටෑසියම් ක්ලෝරේට්, සිලිකන්, මැග්නීසියම් කාබනේට්, සුක්‍රෝස්, නයිට්රොසෙලියුලෝස් සහ අඟුරුද අඩංගුය.
කඳුළු ගෑස් ක්‍රියා කරන්නේ ඇස්, නාසය, මුඛය සහ පෙනහළුවල ඇති ශ්ලේෂ්මල පටල කුපිත කිරීමෙනි. එය හැඬීම, කිවිසුම් යාම, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, ඇස්වල වේදනාව සහ තාවකාලික අන්ධභාවයට හේතු වේ. CS වායුව සමඟ, මේ ලක්ෂණ සාමාන්‍යයෙන් නිරාවරණය වී තත්පර 20 සිට 60 දක්වා කාලයකදී දිස්වන අතර සාමාන්‍යයෙන් ස්පර්ශ වූ  ප්‍රදේශයෙන් එම රසායන සෝදා ඉවත් කිරීමෙන් පසු විනාඩි 30ක් ඇතුළත සහනය ලැබේ.

කලින් ලෝක සටන්වලදී මේ රසායන  මහා පරිමාණයෙන් භාවිත කැරිණි. දෙවැනි ඉතාලි - ඉතියෝපියානු යුද්ධයේදීද, ජපානය විසින් දෙවැනි චීන-ජපන් යුද්ධයේදීද, ස්පාඤ්ඤය විසින් Rif යුද්ධයේදී සහ එක්සත් ජනපදය විසින් වියට්නාම් යුද්ධයේදී මෙන්ම ඊශ්‍රායල-පලස්තීන ගැටුමේදීද සටන් සඳහා කඳුළු ගෑස් විශාල ලෙස භාවිතා කරන ලදී. 1925 ජිනීවා ප්‍රොටෝකෝලය මගින් යුද්ධයේදී කඳුළු ගෑස් භාවිතා කිරීම තහනම් කර ඇත. නමුත් පොලිසිය සහ සිවිල් ආත්මාරක්ෂක භාවිතය සඳහා තහනම් නොවේ.
කඳුළු ගෑස් වල කෙටි හා දිගුකාලීන බලපෑම් තවමත් හොඳින් අධ්‍යයනය කර නොමැත.  මේ ගැන වඩාත් දැඩි පර්යේෂණ අවශ්‍ය වේ. කඳුළු ගෑස් කාරකවලට නිරාවරණය වීමෙන් ශ්වසන රෝග, පද්ධති ගත දරුණු තුවාල සහ අක්ෂි රෝග (කම්පන සහගත දෘෂ්ටි ස්නායු රෝග, keratitis, ග්ලුකෝමා සහ ඇසේ සුද වැනි), සමේ රෝග, හෘද වාහිනී හානි ඇතුළු ආමාශ ආන්තරයික පද්ධති වෙත කෙටි කාලීන සහ දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් රාශියක් ඇති කළ හැකිය. විශේෂයෙන් ඉහළ සාන්ද්‍රණයක් සහිත කඳුළු ගෑස්වලට කෙළින්ම නිරාවරණය වීමෙන් හෝ සංවෘත අවකාශයන් තුළ කඳුළු ගෑස් යෙදීම මගින් අවසන් ප්‍රතිපලය විය හැක්කේ මරණයයි.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00