2023 මාර්තු 12 වන ඉරිදා

TikTok ඇබ්බැහියන්ට සීමා පනවලා

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 54

TikTok සමාගම විසින් වයස අවුරුදු 18 ට අඩු TikTok පරිශීලකයන් සඳහා මිනිත්තු 60ක දෛනික තිර කාල සීමාවක් පැනවීමට සැරසෙන බව නිවේදනය කර තිබේ. “මිනිත්තු 60ක පරිශීලන කාලසීමාවට ළඟා වුවහොත්, TikTok නරඹන්නන් අඛණ්ඩව නැරඹීම සඳහා මුරකේතයක් passcode ඇතුළත් කිරීමට සිදුවනු ඇත. මෙලෙස මිනිත්තු 60ට වඩා කාලය දීර්ඝ කිරීමට නම් ක්‍රියාකාරී තීරණයක් ගැනීමට එම පරිශීලකයන්ට සිදුවනු ඇත.” යනුවෙන් TikTok හි හිමිකාර සමාගම බයිට්ඩාන්ස් (ByteDance) ආයතනයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan මහතා බ්ලොග් සටහනක් තබමින් පැවසීය.

TikTok සමාගම හදිසියේම මෙම තීරණයට එළැඹියේ ලොව පුරා රජයන් ගණනාවක්ම එම රටවල තරුණ පරිශීලකයන් බෙහෙවින් TikTok යෙදවුමට ඇබ්බැහි වීම නිසා එය තහනම් කිරීමට තීරණය කර ඇති බැවිනි. TikTok යෙදුම නිසා ඇති වී තිබෙන ආරක්ෂාව පිළිබඳ අවදානම ද TikTok තහනම පිටුපස පවතී. TikTok සමාගම පෙන්වා දෙන්නේ Boston ළමා රෝහලේ Digital Wellness Lab හි අධ්‍යයන පර්යේෂණ සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු විනාඩි 60ක සීමාව පැනවූ බවයි.
වයස අවුරුදු 13ට අඩු TikTok පරිශීලක ගිණුම් සඳහා මූලික මිනිත්තු 60 සීමාවට ළඟා වූ පසු මිනිත්තු 30ක අමතර කාලයක් ලබාගැනීමට මාපියන් හෝ භාරකරුවකු මගින් මුරකේතයක් ඇතුළත් කිරීමට සිදුවේ. බාල වයස්කරුවන් විනාඩි 60 සීමාව ඉක්මවා දිනකට මිනිත්තු 100කට වඩා TikTok හි ගත කරන්නේ නම්, ඔවුන්ව දෛනික තිර කාලසීමාවට යටත් කිරීමට TikTok යෙදවුම පොළඹවයි. TikTok හි නව යෞවනයන්ගේ ගිණුම් සඳහා දැනට පවතින සමහර ආරක්‍ෂිත විශේෂාංග අතරට වයස අවුරුදු 13 සහ 15 අතර අය සඳහා පෙරනිමියෙන් ගිණුම් පුද්ගලික ලෙස සකසා තිබීම සහ පරිශීලකයා වයස අවුරුදු 16 හෝ ඊට වැඩි ගිණුම් සඳහා පමණක් ඍජු පණිවිඩ ලබා දීම ඇතුළත් වේ. එමෙන්ම ඇතැම් වචන හෝ හැෂ් ටැග් අඩංගු අන්තර්ගතයන් බැලීමට දෙමාපියන් හට තම දරුවන් ඉඩ ලබාදීම සඳහා යෙදුමක් සංවර්ධනය කරමින් සිටින බවත් විදෙස් වාර්තාවල දැක්වෙයි.

TikTok සමාගම පවසන්නේ සියලුම පරිශීලකයන්ට තමන්ගේම අභිරුචිය පරිදි සතියේ සෑම දිනකම තමා TikTok යෙදවුම තුළ ගත කරන කාලය පිළිබඳ සීමාවක් තමාටම පනවා ගැනීමටත් TikTok මගින් ලැබෙන දැනුම්දීම් (notifications) නවතා දැමීමටත් (Mute) පරිශීලකයන්ට හැකිවන බවයි. එමෙන්ම පරිශීලකයන්ගේ දෛනික කාලසටහන සැලසුම් කිරීම සඳහා රාත්‍රියේ නින්ද මතක් කිරීම පිණිස "sleep reminder" ක්‍රමයක් ද TikTok සමාගම හඳුන්වා දෙයි. එමගින් නියමිත වේලාවට ළඟා වූ විට, pop-up පණිවුඩයක් මගින් TikTok යෙදවුමෙන් ඉවත් වීමට පොළඹවයි.

බාල වයස්කරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම නිසා ඔවුන්ට සිදුවිය හැකි හානිය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක් වෙයි. පසුගිය වසරේ අග භාගයේදී නිකුත් වූ වාර්තාවක දැක්වුණේ යෞවනයන්ට සියදිවි නසා ගැනීමටත් ඔවුන්ගේ ආහාර රටාවේ අක්‍රමිකතා ඇතිවීමටත් TikTok වීඩියෝ බලපා ඇති බවයි. Meta සමාගම සතු Instagram සමාජ මාධ්‍ය පිළිබඳව ද මෙවැනිම චෝදනාවක් එල්ල වී තිබුණි.

චීනයට අයත් වීඩියෝ බෙදාගැනීමේ යෙදුමක් වන TikTok තුළ තම දරුවන් ගත කරන කාලය සීමා කිරීමට අමෙරිකානු පවුල්වල දෙමාපියෝ කලක සිටම බොහෝ සෙයින් උත්සාහ කරමින් සිටිති. Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, අමෙරිකානු යෞවනයන්ගෙන් 2/3ක් පමණ TikTok භාවිත කරති. මෙලෙස අමෙරිකානු යෞවනයන් TikTok යෙදවුමට ඇබ්බැහි වී ඇති බැවින් TikTok යෙදවුම මගින් චීනය තොරතුරු සොරාගන්නා බව පවසමින් අමෙරිකාව තුළ මුළුමනින්ම TikTok තහනමක් පැනවීමට අමෙරිකාවේ අවධානය යොමු වී ඇත.

ඇතැම් බාල වයස්කරුවන් අධික ලෙස TikTok යෙදවුම භාවිත කිරීම හේතුවෙන් ලොව පුරා විවිධ රටවල් මෙම යෙදවුම අත්හිටුවීම පිළිබඳව අවධානය යොමු කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපීය කොමිසම සහ යුරෝපා සංගම් කවුන්සිලය ද තමන්ගේ නිල උපාංගවල TikTok ඉන්ස්ටෝල් කිරීම තහනම් කර ඇත. අමෙරිකාවේ ප්‍රාන්ත අඩකට වඩා දැනටමත් මේ හා සමාන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. කැනඩාව ද TikTok තහනම් කිරීමට මීට දින කිහිපයකට පෙර තීරණය කළේය. ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය TikTok තහනම ක්‍රියාත්මක කළේ මීට කලකට පෙරය.

ලංකාවේ සමාජ ජාල භාවිත කිරීමේ රටාව TikTok යෙදවුම හඳුන්වා දීමෙන් පසු විශාල වෙනසකට බඳුන් වී ඇත. අවුරුදු 25න් ඉහළ සහ මැදිවියේ පසුවන්නන් සමාජ ජාලයක් වශයෙන් ෆේස්බුක් භාවිත කළද නව යොවුන් වියේ පසුවන්නෝ බහුලව TikTok වෙත ආකර්ශනය වී සිටිති. TikTok තුළ ඔවුන් ගත කරන කාලය වැඩිවීමට වීඩියෝ නැරඹීමේ පහසුකම සහ ක්‍රීඩා පහසුකම බලපා ඇත. බොහෝ දෙනකු චෝදනා කරන්නේ TikTok සමාජ මාධ්‍යයට ඇබ්බැහිවූවන් දැනීම් නැති පිරිසක් බවට පත්ව ඇති බවයි. එබැවින් TikTok සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන පැයක කාලසීමාව යම් දුරකට විසඳුමක් වනු ඇතැයි සිතිය හැකිය.

I සකීෆ් සාම්