2023 මාර්තු 12 වන ඉරිදා

සාරියෙන් ලෝකයක් ඇල්ලූ අපේ රටේ රූ රැජන

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 419

''උස සහ මනා සුන්දරත්වය ඇගේ දෙවිසි හැවිරිදි වියේදී ලංකාවේ සෞන්දර්යය සැබැවින් නියෝජනය කළාය. ගජමුතු මෙන් සියුමැලි මුවමඬල සහ කළු වරලස ආදරණීය බව ලුහුබඳින වත හැමවිටම කැපී පෙනිණි. ඇස්වලින් ආනන්ද ජනක හැඟීම් පළ කරන ආකාරයද අනිත් අයට ප්‍රිය උපදවා ඇත. මානෙල්ගේ සංඛ්‍යාත්මක දත්ත අනුව උස අඩි 5යි අඟල් 5කි. ශරීරයේ උඩ කොටස (පපුව) අඟල් 35කි. ඉඟටිය අගල් 24 1/2කි. උකුළ අඟල් 35කි.''

මෙය සංදේශාවලියේ ස්ත්‍රී වර්ණනයක්වත් මංගල කිංකිණි දැන්වීමක්වත් නොවෙයි.

1953 වසරේදී ද ටයිම්ස් ඔෆ් සිලෝන් ඇනුවල් සඟරාවේ පළවූවකි. ලෝක රූ රැජිණියන් අතරින් ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේ රටේ සිංහ ධේනුවකගේ කැපී පෙනුණු රූප සොබාව ඔවුන් එසේ ලොවටම හඬ නගා කියා ඇත.
එදා වර්ෂ 1953දී ඔක්තෝබර් මස 19 වැනිදාය. ලන්ඩනයේ ලයිසියම් බෝල්රූම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී සිටියේ ලෝක රූ රැජිණියන් දැකබලා ගන්නටය. ගවුම්වලින් සැරසී සිටි තරුණියන් මැද සාරියක් හැඳ සිටි තරුණියක් දෙස මුළු ශාලාවම ඇසිපිය නොහෙලා බලා සිටියේ ඇගේ රූප සොබාවට හිත වහ වැටිලාය. විනිසුරුවන් ඇතුළු මුළු උත්සව සභාවටම මෙය මහා මැජික් එකක් බවට පත් විය. බටහිර ඇඳුමින් සැරසුණු කාන්තාවන් අතරේ මෙම චාම් වූත් සරල වූත් ඇඳුමින් සැරසුණු රූප රාජිණිය හිස් අතින් හරවා යැවීමට කිසිවකුගේ සිත් නොදුන්නේය.

ජාත්‍යන්තර රූ රැජිණ තරගයකට අපේ රටෙන් මුල්වරට ඉදිරිපත් වූ ලාංකික කාන්තාව වන්නේ ඇයයි.

තරගාවලියේ ප්‍රථම ස්ථානය ප්‍රංශයටත්, දෙවැනි ස්ථානය ග්‍රීසියටත් සහ තෙවැනි ස්ථානය ඊජිප්තුවටත් හිමිවිය. එහෙත් මුළු ශාලාවම බලා සිටියේ කිරුළු නොපළන් සාරිය හැඳි තරුණිය දෙසය. Times of Ceylon පත්‍රයට ආ ඉල්ලුම්පත් අතරින් මුල්තැනට තේරී ලන්ඩනයේ පැවැත් වූ Miss World තරගයෙන් සිව්වැනි ස්ථානය හිමිකර ගත්තේ ඇයයි. ඇයට එම ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 100ක් හිමිවිය. ලොවපුරා රටවල් ගණනාවක් අතරින් සිලෝන් නාමය මුද්‍රා තබමින් ඇය නමින් අපේ රටේ මානෙල් ඉලංගකෝන්ය. ඇය ගම්පොළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ ආර්.ඇස්. පැල්පොළ මහතාගේ දියණියකි. ලංකාවේ පළමු රූ රැජිණ තරගයට ඉදිරිපත් වනවිට මානෙල් ඉලංගකෝන් විවාහ වී සිටි අතර විවාහ වී සිටීම තරග නීතිරීතිවලට එකල බාධාවක් නොවුණි. 1953දී කොළඹ පැවැති පළමු ලාංකික රූ රැජිණ තරගයේ කිරුළ හිමිකර ගැනීමට එවකට 20 හැවිරිදි ඇයට හැකියාවක් ලැබිණ. එම ජයග්‍රහණය සමග එම වසරේ ලෝක රූ රැජිණ තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව උදාවූයේ එහෙමය. 

ඉන්පසුව 1955 වසරේදී පවත්වන ලද ජගත් රූ රැජිණ තරගයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ මොරින් නීලියා හින්ගර්ට් වෙනත් රටවල් රුසක් පරදා තුන්වැනි ස්ථානය ලැබුවාය. මොරින් හින්ගර්ට් ලංකාවට ජගත් කීර්තියක් අත්කර දීම සම්බන්ධයෙන් ලංකාවේ එවක අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල මහතා  සිය සතුට පළ කරමින් කේබල් විදුලි පුවතක්ද යවා ඇත. ඇය ජයග්‍රහණය ලබා ලංකාවට පැමිණි පසු රත්මලාන ගුවන් තොටුපොළින් අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල ඇය සහ ඇයගේ මවුපියන්ට තේපැන් සංග්‍රහයක්  පවත්වා ඇති අතර එම අවස්ථාවේදී අගමැති සමග නිල වාහනයේ එකට ගමන් කිරීමටද මොරින්ට අවස්ථාව උදා වී ඇත. 

ලංකාවෙන් ඉදිරිපත් වූ රූ රැජිණ පිළිබඳව එකල පුවත්පතක සඳහන් වූයේ මෙසේය. 

“ජගත් රූ රැජිණ නැරඹීමට ලෝකයේ නන් දෙසින් තුන් දහසකට අධික පිරිසක් රුස්ව සිටියහ. මදක් රතු සහිත සිල්ක් සාරියකින් හා චාම් ආභරණවලින් සැරසී සිටි ලංකා රූ රැජිණ පවුම් 250 බැගින් මාස හයක චිත්‍රපට නිළියක ලෙස හොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමට ගිවිසුමක් තැබූ අතර ඇයට රන් ආභරණ රැසක්ද පිරිනැමුණි.” 

ලංකාදීප පුවත්පත 1956 දී මුළු සිරිලක සිටි රූමතියන් අතරින් පංචකල්‍යාණියක තෝරා පුරාණ නාරි ලක්‍ෂණ පහට යළිත් පණ දුන්නේය. මෙය ඇරඹීමේ ගෞරවය හිමි වන්නේ ලංකාදීප හිටපු කර්තෘ ඩී.බී ධනපාල මහතාටය. ලංකාදීප පංචකල්‍යාණිය ලෙස 1956 පැවැති එම තරගයෙන් අම්බලන්ගොඩ, පොල්වත්තේ දහනව හැවිරිදි කාන්ති ගුණතුංග පංචකල්‍යණිය ලෙස තෝරාගනු ලැබුවාය.

රටවල් රැසක බටහිර පන්නයට සැරසුණු රූ රැජිණියන් පරදවමින් හෙළ සංස්කෘතියට අනුව සාරිය ඔසරිය හැඳ රූ රැජිණ තරගයට ඉදිරිපත් වූ මානෙල්ටත් මොරින්ටත් ජයග්‍රහණය හිමිවිය. එහෙයින් ලෝක රූ රැජිණ තරගයට අඩ නිරුවත ආදී සාධක තරග ජයග්‍රහණය කිරීම සඳහා ආකර්ෂණීය සාධක නොවන වග පැහැදිලි වෙයි.

පෙර කුල කාන්තාවන් දිවි හිමියෙන් රුකි උසස් සිරිත් අතීතයටම සිහිනයක් වී තිබේ.  වර්තමානයේ නිරූපිකාවන් දුටුවාම  බටහිර නවීන පන්නයට හැඩ වැඩ වී අඩ නිරුවතින් සැරසීම පංච පමණක් නොව සකල කල්‍යාණයම සපුරාලීම බව බොහෝ තරුණ තරුණියන්ගේ අදහස බව සිතෙන වාර අනන්තය.

I සසංක චලන ගිම්හාන

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02