2023 මාර්තු 12 වන ඉරිදා

සල්ලි ගිලින සුදු අලි ආණ්ඩුවෙන් ගලවයි!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 157

ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට මුදල් ගිලින සුදු අලින්ගේ තත්ත්වයට පත්ව තිබේ. දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 420 අතරින් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම ආයතන 32, 2018 වර්ෂයේදී රුපියල් කෝටි 19300ක්ද, 2019 වර්ෂයේදී රුපියල් කෝටි 15800ක්ද, 2020 වර්ෂයේදී රුපියල් කෝටි 11400ක්ද වශයෙන් වසර තුනක් ඇතුළත ලබා ඇති පාඩුව රුපියල් කෝටි 46,500 යැයි ඔහු සඳහන් කරයි. එලෙස පාඩු ලැබීම හේතුවෙන් ඒවා පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වාර්ෂිකව කෝටි ගණන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් පොම්ප කිරීමට සිදුව ඇතැයිද ඇතැම් ආයතන අද පවත්වාගෙන යන්නේ සේවකයන් රුක බලා ගැනීමට පමණක් බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම පාඩු ලබන ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් සමස්ත පාඩුවෙන් 40% පමණ අයත් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බවත් ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි. අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම මට්ටමට ගෙන ඒම සඳහා යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කරන මන්ත්‍රීවරයා රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් විධිමත් විගණනයක් හා මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ මේ නිසා බවද සඳහන් කර තිබේ. ඇතැම් ආයතන වැඩකට නැති ව්‍යාපෘති ගෙනැවිත් මුදල් කාබාසිනියා කළ බවට චෝදනා එල්ලවී ඇති අතර මේ ආයතන ගොඩගැනීමට ඇති විසඳුම පෞද්ගලීකරණය නොවන බවද ඔහු සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල වූ මහා පරිමාණ දූෂණ වංචා බොහොමයක් අනාවරණ වූයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදීය. රට විශාල අර්බුදයකට පත්වීමට නාස්තිකාර වියදම්ද බලපෑවේය. කෝප් කමිටුව පාඩු ලබන රාජ්‍ය ආයතනයන්හි පවතින විශාල අක්‍රමිකතා, නාස්තිය සහ අකාර්යක්ෂම බව සම්බන්ධව බොහෝ තොරතුරු අනාවරණ කළේය. ඒ සඳහා දේශපාලනඥයන් මෙන්ම එම ආයතනවල දීර්ඝ කාලයක් සේවය කරන ඇතැම් නිලධාරීන්ද වගකිව යුතු වන අතර රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දූෂණ පවතින බව හෙළි විය. දේශපාලනඥයන් දූෂණ, වංචාවලට සම්බන්ධ බව ජනතාවට අනාවරණය වූ විට  වසර පහකට වරක් ඔවුන්ට එරෙහිව  තීන්දු ගත හැකි නමුදු දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් එලෙස ක්‍රියා කළ නොහැකි යැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. පසුගිය කාලයේ චීන අසූචි කාබනික පොහොර ලෙස පවසමින්  ආනයනය කිරීමට පියවර ගැනීම නිසා ඩොලර් මිලියන 6.9ක අලාබයක් රටට සිදු කිරීමට වගකිව යුතු විධායක නිලධාරියා පිළිබඳව කිසිදු පියවරක් ගැනුණේ නැත. රටට නොලැබුණු පොහොර සඳහා ජනතාවගේ බදු මුදල් නිකරුණේ නාස්ති විය. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයද තරග කරන බවට වාර්තා විය. එවැනි දූෂිත නිලධාරින් රුසක් විවිධ රාජ්‍ය ආයතනවලට අරක්ගෙන මහජන මුදල් සොරකම් කරන බව රහසක් නොවේ. එහෙයින් එවැනි නිලධාරීන්ගේ දූෂණ නිවැරදිව හෙළිදරව් කර ගෙන අවශ්‍ය පියවර නොගතහොත්  ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණයේ දිගටම රුඳී සිටිමින් තවදුරටත් දූෂණයේ යෙදෙනු ඇත.

අලාබ ලබන ආයතන අතුරින් 40%පමණ අලාබයක් ලබන්නේ ශ්‍රී ලංකාන් ගුවන් සමාගමය. මේ සම්බන්ධයෙන් කොප් කමිටුව විමර්ශනයක් සිදු කළ අතර විශාල මුදලක් නාස්තිවන ගුවන් සේවයක් රාජ්‍යයකට අවශ්‍ය දැයි සොයා බලා තිබේ.. ලෝකයේ බොහෝ රටවල රාජ්‍යමය වශයෙන් මගී ගුවන් සේවා පවත්වාගෙන නොයන නමුදු  ශ්‍රී ලංකාවේ  ගුවන් සේවයක් පවත්වාගෙන යන්නේ රජය මගිනි. වත්මන් රජයද ඩොලර් මිලියන දෙසීයක් පමණ ගුවන් සමාගම සඳහා වෙන් කර තිබේ. 

විදුලිබල මණ්ඩලයද මේ වනවිට විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. ඒ බව විදුලිබල ඇමැති කංචන විජේසේකර ද ප්‍රකාශ කළ අතර විදුලිය බිල දෙවරක් විශාල වශයෙන් ඉහළ දැම්මේ එම අලාබය පියවා ගැනීම සඳහා බවද ඔහු සඳහන් කළේය. වාර්තා වන අන්දමට විදුලි බල මණ්ඩලයට තවමත් පාඩුය. මේ ආයතනය 1996 වනතුරුත් ලාබ ලැබූ බවද මණ්ඩලයට කණකොකා හඬන්නට පටන් ගත්තේ 1995න් පසුව බවද ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ හිටපු බලශක්ති උපදේශක ආචාර්ය නිශාන්ත නානායක්කාර අපගේ සහෝදර පුවත්පත වන ලංකාදීපයට ලබාදුන් සාකච්ඡාවකදී හෙළිකර තිබිණි. රටට අවාසිදායක ලෙස විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් එයට ප්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දී තිබූ ඔහු වියදමට සාපේක්ෂව විදුලිය ගාස්තුව තීරණය කිරීමට මණ්ඩලයට ඉඩ නොදී බලයේ සිටි ආණ්ඩු විසින් එය සිදුකිරීම එයට හේතුවක් වශයෙන් පෙන්වා දී තිබිණි. ලංවිම ඉංජිනේරුවන් සකස් කළ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නුදුන්නේද බලයේ සිටි ආණ්ඩු බවත් මේ නිසා පවතින අර්බුදයේ වගකීම ආණ්ඩු විසින් මෙන්ම ලංවිම ඉංජිනේරුවන් විසින්ද බාරගත යුතු බවත් ඔහු කියා තිබිණි.

පසුගිය කාලයේ කෝප් කමිටුව රාජ්‍ය ආයතන 420ක් පමණ විමර්ශනය කර තිබේ. එම ආයතනවලින් ඉතා දූෂිත හා අලාභ ලැබූ ආයතන 32ක් පවතින බවට හඳුනා ගැනුණේ එම විමර්ශන අනුවය. එම ආයතනයන්හි අලාභය රුපියල් බිලියන 465ක් පමණ වේ. මෙම ආයතන අතුරින්  ඇතැම් ආයතන පෞද්ගලික අංශයේ තරගකාරීත්වයක්ද පවතින ආයනයන්ය. රුකියා ලබාදීම හා ඇතැම්  මහජන සේවා වෙනුවෙන් පවත්වාගෙන යන මෙම ආයතන කිසිදු ලාබයක් උපදවන්නේ නැත. ඇතැම් ආයතන  පවත්වාගෙන යන්නේ කුමන අරමුණක් සඳහාද කියා හෝ නොදනී. එම ආයතන මගින් සිදුවන්නේ සේවකයන් නඩත්තු කිරීම පමණකි.  ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක 2006 වසරේ සිට 2020 වසර දක්වා සිදුව ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2ක් බව ප්‍රවීණ ආර්ථික උපදේශකවරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසා තිබුණි. මෙම රාජ්‍ය ආයතන 05 හි 2019 වසරේ දිනක පාඩුව රුපියල් කෝටි 38 කට (384,479,189) අධික වී තිබේ. 

රජයේ අමාත්‍යංශ 28ක්ද, රාජ්‍ය අමාත්‍යංශ 40ක් ද, දෙපාර්තමේන්තු 98ක්ද. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්ද  සංස්ථා 240ක් ද. රාජ්‍ය සමාගම් 125ක් ද රාජ්‍ය බැංකු 08ක්ද අරමුදල් 65ක්ද පවතින අතර  විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති 124ක් ද වේ. ඒ අතර පළාත් සභා නවයක්, පළාත් පාලන ආයතන 34ක් පළාත් සභා අමාත්‍යාංශ සහ  දෙපාර්තමේන්තු 241ක් පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන 64ක් ද සමග ඇති සමස්ත ආයතන සංඛ්‍යාව 2062කි. එමෙන්ම මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ අටක්ද, පළාත් සභාවල ලක්ෂ තුනක්ද, රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් හා විශ්‍රාමිකයන් ලක්ෂ හය හමාරක් පමණ සිටී. මේ සියල්ලන් නඩත්තු කළ යුත්තේ ආණ්ඩුව මගින් වන අතර ඒ සඳහා වැය වන්නේ මහජන මුදල්ය. 

ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9 අපේක්ෂාවෙන් සිටී. එම මුදල ලබා දීමට නම් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්න ඔවුන්ගේ එක් කොන්දේසියකි. ඒ අනුව රාජ්‍ය ආයතන 39 ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඔවුන් දන්වා තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික වැටුප් කොමිසම, සේවක නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, විදේශගත රාජ්‍ය දූත මණ්ඩල, කම්කරු දෙපාර්තමේන්තුව, සේවක අර්ථ සාධක අරමුදල, ජාතික වෘත්තීය සුරක්ෂිත හා සෞඛ්‍ය ආයතනය, මාර්ග නඩත්තු භාර අරමුදල, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, සතොස, ලංකා ධීවර සංස්ථාව, ලංකා තේ මණ්ඩලය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, සිමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්, තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒ අතර වෙයි.

එවැනි වාතාවරණයක් යටතේ තවදුරටත් සේවය අවශ්‍ය නොවන හා අදාළ ආයතනය මගින් කිසිදු සේවාවක් ඉටු නොවන බවට හෙළිදරව් වන මෙරට ක්‍රියාත්මක කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි අප සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා පසුගිය සතියේ වාර්තා කළේය. ඒ අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකු නඩත්තු කිරීම සඳහා පමණක් රජය මේ වන විට වැයකරන මුදල රුපියල් මිලියන 5.8ක් බවයි. 

එම කොමිෂන් සභාවේ පසුගිය මාසයේ කාර්ය මණ්ඩල වැටුප් සඳහා රුපියල් මිලියන 2.7ක් සහ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වාගෙන යන  කාර්යාලයේ කුලිය සඳහා රුපියල් මිලියන 1.4 ක් වැයකර ඇති බවද හෙළිවී තිබේ. එලෙස මුදල් නාස්තියක් සිදුකෙරෙන එම කොමිෂන් සභාවේ වැඩකටයුතු සඳහා 2023 වසර සඳහා සභාවට රුපියල් මිලියන 71ක් දැනටමත් වෙන්කර තිබේ. එම කොමිෂන් සභාවේ සභාවේ කටයුතු මින් ඉහත සිදුවූයේ මුදල් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගිනි. ඒ අනුව එම කොමිෂන් සභාව මාර්තු 31 වනදා සිට වසා දමා එහි කටයුතු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීමට නියමිතය.

2021 අගෝස්තු මාසයේදී එවක සිටි ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද උපදේශක මණ්ඩලයද වසා දැමීමට නියමිතය. එම කටයුතු දැනටමත් අධිකරණ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ. අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් වසා දැමීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිතය. එවැනි ආයතන 17ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඒවාද ඉක්මනින් වසා දමනු ඇති බවට උසස් නිලධාරියකු සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. මෙම ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී අධික වියදම්, රාජකාරී සහ ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන ඇති බවට වාර්තා වේ.

■ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා