2023 මාර්තු 05 වන ඉරිදා

උෟ එහෙමද.... බලමුකෝ ඌද මමද කියලා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 535

"ඒයි මෙහෙ වරෙන්" මෝටර් රථයේ සිටි පුද්ගලයා ගේට්ටුව අසල සිටි මුරකරුට කතා කළේය. මුරකරු දුවගෙන විත් රථය අසලින් හිටගත්තේය.

"ඇයි...." මුරකරු ඇසීය.

"මොකද උඹේ සද්දේ... මැරුම්කන්න එපා. මේ ඉඩම කාගෙද?" මෝටර් රථයේ සිටි පුද්ගලයා නැවත ඇසීය.

"මේක අර ඉස්කෝලේ ටීචර්ගේ ඉඩම..." මුරකරු බයාදු ලෙස කීවේය.

"ආහ් ඇත්තද.... එහෙනම් කියපන් මම තිලක් (මනඃකල්පිත නමකි) ඇවිල්ලා ඉන්නවා කියලා. ඉඩම මට ඕන කියපන්... මම එනවා කිව්වා කියපන්..." යැයි මෝටර් රථයේ සිටි පුද්ගලයා කියාගෙන කියාගෙන ගියේය.

මුරකරුගේ කකුල් වෙව්ලන්නට වුණේ නම ඇසීමෙන්ය. තිලක් යනු කොළඹ පාතාලයේ ලොක්කාය. තිලක්ට ඉහළින් කිසිවකු එකට එක කියන්නට ගියේ නැත. තිලක් අණක් ගුණක් නැති සතෙකි. මිනීමරණ එක කජු කනවා හා සමානය. බලෙන් ඉඩම් අල්ලන්නත් රුසියෙක්ය. ඒ නිසා මුරකරුට මුත්‍රා පිටවෙන තැනට පත්විය.

එසේ කියූ තිලක් එතැනින් පිටව ගියේය. වහාම මුරකරු දුවගොස් නිවසේ සිටි විශ්‍රාමික යුවළට දැනුම් දුන්නේය. ඔවුහුද බියවූහ. ඒ තිලක් ගැන දන්නා නිසාය. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන ගුරුතුමිය දහ අතේ සිතුවාය. ඒ මොහොතේම ඇයට තම ශිෂ්‍යයකු මතක් විය. පොලීසියේ ලොකු අංශයක ප්‍රධානියකු වූ එම ශිෂ්‍යයාට ගුරුතුමිය ඇමතුමක් ගත්තාය.

"පුතේ බලන්නකෝ අර මනුස්සයා ඇවිල්ලා තර්ජනය කරලා ගියා. අපි දෙන්නා විතරයිනේ ඉන්නේ. මේ මනුස්සයා නරක කෙනෙක් නිසා අපිට බයයි. පුළුවන්නම් මේකට උදව් කරන්න" ගුරුතුමිය කීවාය.

"හරි මැඩම් මම ප්‍රශ්නය විසඳලා දෙන්නම්" පොලිස් ලොක්කා කීවේය.

එසේ කියූ ලොක්කා තම අංශයේ තවත් ගෝලයකු වූ පොලිස් ස්ථානාධිපති කෙනකුට මේ සිදුවීම කීවේය.

"අබේ තමුසේ ගිහිල්ලා මූව අරන් එනවා. මම ඉතුරු ටික බලාගන්නම්..."

ඒ අනුව අබේ (මනඃකල්පිත නමකි) වහාම අදාළ පුද්ගලයා සොයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගියේය .එසේ යනවිට තිලක් හිටියේ නැත. ඒ නිසා තිලක්ගේ නිවැසියන්ට කීවේ වහාම තිලක්ට පොලීසියට පැමිණෙන ලෙස කියාය. පොලිසියට පැමිණි අබේට සවස් වනවිට තිලක්ගෙන් ඇමතුමක් ලැබිණි.

"සර් මොකක්ද රෝමේ... මාව හොයන් ආවා කිව්වා..."

"රෝමේ නෙමේ, අන්න ඉතාලියම කැරකිලා තියෙන්නේ... ඉක්මනින් තමුසේ එනවා" අබේ කීවේය.

ඒ අනුව තිලක් හවසම කඩිමුඩියේ පොලීසියට ආවේය. එසේ පැමිණ තිලක් කෙළින්ම නතර වුණේ පොලිස් ලොක්කා ළඟය.

"සර්... මට එන්න කිව්වේ" තිලක් ඇසීය.

"තමුසේ අර ඉස්කෝලේ ටීචර්ට සද්දේ දැම්මේ මොකද? ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙනවා." යැයි පොලිස් ලොක්කා හොඳින් කීවේය.

ඒත් තිලක්ගේ කොළඹ භාෂාව ලොක්කාට දිරෙව්වේ නැත.

"ආහ් උන්ද බොසාට කිව්වේ... සර්... උන්ට ඔය ඉඩම් ඕනේ නෑ. ඒ නිසා ඉඩම් කෑල්ල ගත්තට අවුලක් නෑනේ සර්..." කීවේය.

ලොක්කා අබේට ඇස්වලින් දොර වසන ලෙස නියෝග කළේය. අබේ දොර වසා එළියට ගියේය. ලොක්කා පොත් අල්මාරියක් අස්සේ තිබූ විකට් පොල්ලක් අතට ගත්තේය. තිලක්ට වැඩිය කතා කරන්නට වුණේ නැත. ලොක්කා දෑත බදා තිලක්ගේ පිටට පහරක් එල්ල කළේය. ඇද වැටුණු තිලක්ට එක දිගට පහර දුන්නේය. තිලක් කොතරම් පාතාල කෙරුමකු වුවත් එය දරාගන්න බැරුව කෑ ගැසුවේය. "සර් එපා" කීවේය. එහෙත් එය ඔහු ඇසුවේ නැත. විනාඩි 15ක පමණ කාලයක් පහර දුන් ලොක්කා කාමරයෙන් එළියට විත් "අබේ කාව හරි දාලා කාමරේ සුද්ද කරන්න" යැයි කියාගෙන ගියේය.

අබේ කාමරයට ඔලුව දමන විට අශූචි ගඳක් ආවේය. බිම පුරාම මුත්‍රාය. කෙළවරක තිලක් වැටී සිටියේය. තිලක් අබේව දැක "අනේ මාව බේරගන්න සර්" කීවේය. ඒ ඉල්ලීමට අබේට දුකක් දැනුණේය. අවසානයේ තිලක්ව රෝහල් ගත කෙරිණි. තිලක් නැවත ලැජ්ජාවක් තිබේ නම් ගරුතුමියට කරදර නොකර සිටිතැයි හැමෝම කතා වූහ. එහෙත් තිලක් නයා බව පිරිස දැන සිටියේ නැත. කාලය සති දෙකක් තුනක් ගතවිය.

"පුතේ... අන්න අර මිනිහා ආයේ ඇවිල්ලා අපිට පිස්තෝලේ දික්කරලා මරනවා කියලා යන්න ගියා. දැන්නම් පුතේ බේරෙන්න බෑ මුගෙන්. මූ හෙට එනවා කිව්වා ඉඩම ලියාගන්න" යැයි ගුරුතුමිය හැඬූ කඳුළෙන් කීවේය.

පොලිස් ලොක්කාටද වැඩේ බරපතළ බව තේරුම් ගියේය. වහාම අබේට ඇමතුමක් දී සිදුවීම කීවේය. එපමණක් නොව තිලක්ට ඇමතුමක් දෙන ලෙසද කීවේය. 

අබේ තිලක්ට ඇමතුමක් ගත්තේය. "මේ ඕයි තමුසේ...." කියන්නට වූවා පමණි. තිලක් අනෙක් පැත්තෙන් කතාව පටන් ගත්තේය.

"සර් හොඳින් කිව්වා නම් අපිත් හොඳින් වැඩ කරනවා. සර්ලා අතපය උස්සන් ආවොත් අපිත් අත පය. සර්ලා කටපුංචා ඉස්සරහට දැම්මොත් අපිත් කටපුංචලා දානවා. ඒ නිසා අපි බය නෑ සර්. අපි බය දන්නේ නෑ. මේ තිලක් කොහොමත් එහෙමයි. සර් ලොක්කට කියන්න ගහපු එක හිතේ තියෙනවා කියලා. මම නවත්තන්නේ නෑ. එයාට කැමති දෙයක් කරන්න කියන්න" යැයි කියා තිලක් ඇමතුම විසන්ධි කළේය.

අබේ වහාම මේ සම්බන්ධයෙන් ලොක්කාට දැනුම් දුන්නේය. ලොක්කාට මාරයාවේශ වුණේය. කොහෙවත් යන පාතාලයෙක් තමන්ට තර්ජනය කිරීම ගැන ලොක්කාට ඇල්ලුවේ නැත.

"ඌ එහෙමද? ආහ් බලමුකෝ ඌද, මමද කියලා" ලොක්කා හිතින් තමන්ට කියාගත්තේය.

තිලක් සුපුරුදු පාතාල පාට් දාගෙන කොළඹ මැරකම් කරගෙන සිටියේය. ගුරුතුමියට පවා නොයෙක් වද දෙන්න පටන් ගත්තේය. ඇමතුම් දී තර්ජනය පවා කළේය. ඒ ලොක්කා නිශ්ශබ්දව වූවා ඇයි තිලක් සිතුවේය.

දිනක් තිලක් සිය සමීපතමයන් සමඟ මාර්ගයේ යමින් සිටියේ සිය ජිප් රථයෙනි. එකවරම ජීප් රථය හරස් කරගත් කණ්ඩායමක් තිලක්ව පැහැර ගත්හ. ඒ තිලක්ගෙ අවසාන මොහොත විය. එතැන් පසු අද වෙනතෙක් තිලක්ට සිදුවූ දෙයක් නැත. පොලීසියෙන් කීවේ තිලක්ව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකින් පැහැරගත් බවය. ඒ අතර තවත් අය කීවේ ආරක්ෂක අංශයෙන් පැහැරගත් බවය. මේ අතර තවත් අය කීවේ තිලක් රට පැන්න බවය. ඒ කුමන කතා කීවත් තිලක්ට සිදුවූ දෙයක් අද වෙනතෙක් නැත.

එහෙත් කිවයුතු දෙයක් ඇත. එනම් තිලක්ගෙන් ආරම්භ වුණු අතුරුදන් වීම් කාලයක් යනතෙක් පාතාලයන් බොහොමයකට සිදුවුණේය. එහෙත් තිලක්ගෙ කතාව තවම අභිරහසකි. තිලක් යනු මෙරට පාතාලයේ උඩම සිටි කෙනෙකි. තිලක් තමා ළඟ කෙනා පවා සැක නම් ඝාතනය කළේය. තිලක්ගේ නිවෙසේ ගිනි අවි තබාගෙන මිනිස්සු සිටියහ. ඒ සියල්ල වුණේ තිලක්ට තිබූ දේශපාලන හයිය නිසාය. බලය නිසාය. එහෙව් තිලක්ට කුමක් වූයේද යන්න අදටත් පොලිස් පොතේ නැත.

I ගයාන් ගාල්ලගේ