2023 මාර්තු 05 වන ඉරිදා

මැතිවරණය කල්යාම: ඇප බැන්ඳ අයගේ මත

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 202

පළාත් පාලන මැතිවරණය කවදා කෙලෙස පැවැත්වේද? මේ පැනයට තවමත් ස්ථිරසාර පිළිතුරක් නොමැත. එනිසාම මැතිවරණයකට සූදානම් වූ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයෝ මංමුලා වී සිටිති. එවන් වටපිටාවක් තුළ, ඇප බැඳ කල්ගිය මැතිවරණය මේ පිළිබඳ අප මත විමසුමක් කළෙමු. පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනකු මේ සඳහා අප හා සම්බන්ධ විය.

මැතිවරණය හරහා පුංචි ආණ්ඩුවලට බලය ලැබිය යුතුයි


මේනක විමලරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපේක්ෂක - බේරුවල ප්‍රාදේශිය සභාව

මම පෞද්ගලිකව කැමති නැහැ මැතිවරණ කල්යෑමට. අපි ඉන්නෙ, මැතිවරණය පවත්වනවාද නැද්ද කියන අවිනිශ්චිතභාවය එක්ක. මහජන නියෝජිත ආයතන අතරින් පළාත් පාලන ආයතනය ජනතාවට සැබෑ සේවයක් කරනවා. ඒ සේවය ඉටු කරන්න නම්, පළාත් පාලන ආයතන පාලනය කරන්න ඕනෑ මහජන නියෝජිතයන් විසින්.

මහජන නියෝජිතයන්ගෙන් තොරව පළාත් පාලන ආයතන කටයුතු කළ අවස්ථා පිළිබඳ අපිට තියෙන්නෙ නරක අත්දැකීමක්. ඒ සඳහා හොඳ උදාහරණයක් තියෙනවා. 2015 මැයි මාසයේ විසුරුවා හැරපු පළාත් පාලන ආයතන, මැතිවරණයකින් නැවත පිහිටෙව්වේ 2018 පෙබරවාරි මාසයේදී. නිලධාරීන්ගේ අතට පාලනය ගියපු අවුරුදු තුනකට ආසන්න කාලය තුළ මේ රටේ පළාත් පාලන ආයතනවලින් නිසි මහජන සේවයක් ඉටුවුණේ නෑ. ඒක බොහොම පැහැදිලියි.

ලේකම්වරයා වෙත අධික බලතල ලැබුණු මේ කාලයේ සිදුවුණු වංචා දූෂණ සම්බන්ධව පළාත් පාලන ආයතන තුළ තවමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. ගමේ නගරයේ මිනිස්සුන්ට වැඩ කරන්න අවශ්‍ය නම්, පැහැදිලිවම මැතිවරණයක් හරහා මහජන නියෝජිතයන්ට පළාත් පාලන ආයතනවල බලය ලැබිය යුතුයි. මේවා පොදු මහජනතාවට වගකියන ආයතන.

මේක රටටම කරන මහා අසාධාරණයක්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික ජන බලවේගය
අපේක්ෂක - පානදුර නගර සභාව

මැතිවරණයක් කියන්නෙ ජනතාවගේ අයිතියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනතා පරමාධිපත්‍යය තහවුරු කරලා ති‍ෙයනවා. ඒ පරමාධිපත්‍යයේ කොටසක් තමා ඡන්ද අයිතිය. මේ වෙලාවේ අපේ රටේ කිසිදු මහජන නියෝජිත ආයතනයක් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නෙ නෑ.

ජනාධිපතිවරයා පත්වෙලා තියෙන්නෙ ජනතාවගේ ඡන්දයෙන් නෙමෙයි. පාර්ලිමේන්තුවට ජනතා පිළිගැනීමක් නෑ. අවුරුදු හතරකට බලය දීපු පළාත් පාලන ආයතනත් අවුරුදු 5ක් දක්වා දැන් ඇදගෙන ගිහිල්ලා.

මේ වෙලාවේ ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනෑ. නමුත් අපිට පේන්නේ ජාතික ජන බලවේගය හැර, අනෙකුත් සියලු කණ්ඩායම් සෘජුව හෝ වක්‍රව මේ මැතිවරණය නොපවත්වා ඉන්න තමා කැමති. ඒකට හේතුව රටේ මුදල් ප්‍රශ්නයක්වත්, ආරක්ෂක ප්‍රශ්නයක් වත් නෙවෙයි. මේ කණ්ඩායම් වලට තේරෙනවා රටේ ජනමතය හැසිරෙන්නේ කොතැනටද කියලා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පම්පෝරි ගසමින් ඡන්ද නොතියා ඉන්න තමා මේ අය වැඩ කරන්නෙ. මේක මැතිවරණ අපේක්ෂකයන්ට සිද්ධවුණු අසාධාරණයකට වඩා, රටට සිද්ධ වුණු අසාධාරණයක් විදියට තමා අපි දකින්නෙ. මේ රටට ඕන අලුත් ජනවරමක්. අලුත් ජනමතයකින් පත්වන පාලනයක්.

පරදින බව දැනගෙන ආණ්ඩුව කළ කුමන්ත්‍රණයක්
ඒ.එච්.එම් රාම්සාන්
සමගි ජන බලවේගය
අපේක්ෂක - මතුගම ප්‍රාදේශීය සභාව

ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් ඇතුළේ මැතිවරණය පවත්වනවා කියලයි දැනුවත් කළේ රජය. මැතිවරණ කොමිසමේ නියමයෙන් අපි ඇප බැඳලා අපේක්ෂකයෝ විදිහට වැඩ ආරම්භ කළා. කොමිසම මැතිවරණය කල්දාන මොහොත වෙනකොට අපි ගම් මට්ටමේ මහජන දැනුවත් කිරීම ඇතුළු සියයට 75ක් විතර වැඩකරලා තිබුණේ.

ආණ්ඩුව මැතිවරණය පරදින බව දැනගෙන හිතාමතාම මේ මැතිවරණය කල්දාන්න කුමන්ත්‍රණයක් දියත් කළා. මෙතැනදී අපේක්ෂකයන් විදියට අපි අසාධාරණයට ලක්වුණා වගේම, රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එල්ලවුණේ මරු පහරක්. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ ජනාධිපතිවරයා.

මේ වෙලාවේ රටේ ජනමතය ප්‍රකාශයට පත්කරන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. දේශපාලන, ආර්ථික ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් හොයද්දී, ජනමතයට ඉඩක් තියෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරලා ආර්ථිකය හදන්න පුළුවන් කියලා කවුරු හරි හිතනව නම් ඒක විහිළුවක්. මේ මැතිවරණය ලබාගැනීම වෙනු වෙන් අපි පෙනී සිටිනවා.

මේ වැඩේ ලොකුම හානිය රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි
නුවන් සංජීව රණසිංහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අපේක්ෂක - හොරණ ප්‍රාදේශීය සභාව

මැතිවරණය ජනතා අයිතියක්. මැතිවරණය කල්දැමීමෙන් සිද්ධ වුණේ ජනතාව අයිතිය හෑල්ලුවට ලක් කිරීම. ඡන්දදායකයන් වගේම, තරුණ නවක අපේක්ෂකයන් විදිහට මැතිවරණය කල් යාමෙන් අපිත් අසාධාරණයට ලක්වුණා.

මැතිවරණයට ඉදිරිපත් වීමේදී රාජ්‍ය සේවකයකු ලෙස නාමයෝජනා බාරදුන් අවස්ථාවේ සිට මැතිවරණය පවත්වන තෙක් වැටුප් රහිත නිවාඩු ලබාගෙන කැපකිරීම් කරලා සූදානම් වෙද්දී තමා අන්තිම මොහොතේ මැතිවරණය කල් ගියේ. තරුණයන් විදියට අපේ කාලය ශ්‍රමය අපතේ යෑමක් වෙනවා. ඇත්තටම රටේ මැතිවරණයක් නිවේදනය කරන්නට පෙර සොයාබැලිය යුතු දේවල් ගැසට් එකෙන් පස්සේ නාමයෝජනා අරගෙන දින නියම කිරීමෙන් පස්සෙ තමා මේ අය බලන්නේ. මුදල් තියෙනවාද කොහොමද කරන්නෙ කියලා බලන්න ඕනෑ, මැතිවරණය ප්‍රකාශ කිරීමට කලින්.

අපි වගේ තරුණයන් මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නෙ, ප්‍රජාතන්තවාදී ව්‍යුහය ඇතුළේ රටට ගමට දෙයක් කරන්න. මැතිවරණය කල්යාමෙන් රට සහ ගම ගොඩනගන්න තියෙන අවස්ථාවල තවදුරටත් ඇහිරෙනවා. අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් මැතිවරණය පවත්වන්න. මැතිවරණ කල්දැමීමෙන් සැබෑ හානිය සිද්ධවෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට.

ජනතා පරමාධිපත්‍යයට කරන තර්ජනයක්
පැතුම් ධනන්ජය
ස්වාධීන කණ්ඩායම
කණ්ඩායම් නායක - ගම්පහ මහනගර සභාව

ඡන්දය නොපැවැත්වීම කියන්නෙම ආණ්ඩුවේ තියෙන නොහැකියාව සහ ඒකාධිපතිත්වය. ආණ්ඩුව දන්නවා ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතිං ඒකට බයේ තමයි මේ කරන්නේ. හැබැයි මේ ඡන්දය අහිමි වුණොත් ආයේ අනාගතයේ සල්ලි නෑ කියලා ජනතාවට ඡන්ද අයිතිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තමට ජනතා ප‍රමාධිපත්‍යයට කරපු තර්ජනයක්.

කොහොම වුණත් අපි මේ වෙනුවෙන් සටන් කරනවා. ජනතාවට තියෙන තරහා වේදනාව පිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ ඡන්දය. ආණ්ඩුව කරන්නේ මිනිස්සු පීඩාවට ලක්කර ඡන්දයක් නොතියා හිරකරන එක. ඒකේ බරපතළකම ආණ්ඩුවට දැනෙන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවට කියන්නේ නැති විනාසයකට අත වනන්න එපා. ජනතාව පාරට ගෙන්න ගන්න එපා. අපි ස්වාධීන කණ්ඩායම් හැටියට කියන්නේ ඡන්දය තියන්න. සල්ලි නැත්තන් මොකටද ඡන්දයක් කැඳෙව්වේ? ඇයි මේ ආණ්ඩුව බොරු කියන්නේ ජනතාවට?

විශේෂයෙන් අපි මේ මොහොතේ ආණ්ඩුවේ මේ අසාධාරණ ක්‍රියාව වෙනුවෙන් සටන් කරනවා. මොකද අපි ඉල්ලන්නේ අපේ අයිතිය. එක එක දේවල්වලට සල්ලි විසි කරන්න තිබ්බා නම් අත්‍යවශ්‍ය දෙයක් වෙච්ච ඡන්දයට ඇයි මුදල් නැත්තේ? කෝ අයවැයෙන් වෙන්කරපු මුදල්? අයවැය එතකොට බොරුවක්ද?

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00