2023 පෙබරවාරි 26 වන ඉරිදා

වැඩි වූ විදුලි බිලට පස්සෙන් එන බඩු මිල

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 124

රජය දැඩි පරිශ්‍රමයකින් පසු පසුගිය සතියේ විදුලි ගාස්තු 66% කින් ඉහළ නැංවීය. එහෙත් මිල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩි කිරීම නිසා බොහෝ භාණ්ඩ හා සේවාවල මිල එයින් තුන් ගුණයකින් ඉහළ ගිය බවයි. එයට හේතුව 66% මිල වැඩිවීම තිදෙනකු අතරින් ගමන් කිරීමය. ඒ නිෂ්පාදකයා, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්ඳාය. මේ තිදෙනාටම විදුලි බිල වැඩිවීම එක හා සමානව දැනෙන නිසා ඒ අයට තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් විදුලි බිල වැඩිවීමට අනුරූපීව තම මිල ද වැඩි කරන්නට සිදුවීම අනිවාර්ය වෙයි.

මෙලෙස 198% කින් මිල වැඩිවීම ඍජුවම බලපාන්නේ දුප්පත් පාරිභෝගිකයාටය. ඔහු හැම පැත්තෙන්ම තැලෙයි. විදුලි බිල වැඩි වූ මොහොතේ සිටම බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමිණි. අපේ රටේ සිරිතක් වශයෙන් සැමවිටම සිදුවන්නේ මිල වැඩි කළ ඇසිල්ලේම භාණ්ඩ මිල වැඩිවන නමුත් මිල අඩු වූ විට විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් මිල පහත හෙළීම ප්‍රමාද වීමය. මෙවරද එම න්‍යාය අකුරටම ඉටු විය.

මේ වනවිට විවිධ අංශවල ව්‍යාපාරිකයන් තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇත. කහට තේ එකේ සිට සියලුම ආපනශාලා ආහාරවල සහ බේකරි නිෂ්පාදනවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. එසේම සෑම කාර්මික නිෂ්පාදනවල මෙන්ම නිමි ඇඳුම් ඇතුළු සියලුම ඇඳුම් ආයිත්තම්, පාවහන්, බෑග්, බෝතල්, ප්ලාස්ටික් උපකරණ, සබන්, දත් බෙහෙත් ඇතුළු විවිධ වර්ගවල නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති අතර එසේ මිල වැඩි නොකළ ද්‍රව්‍ය මිල ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යෙන්ම වැඩි වනවා ඇත. වෙළෙන්ඳන් තම මිල වැඩිවීම්වලට ඉදිරිපත් කරන ප්‍රධාන හේතුව වන්නේ විදුලි බිල ඉහළ යාමය. දරුවන්ගේ අභ්‍යාස පොත්, මුද්‍රිත පොත්, ලිපිද්‍රව්‍ය ඇතුළු බොහෝ දේවල්වල මිල ඉහළ යනවා ඇත.

බොහෝ කර්මාන්තශාලාවලට විදුලි බිල විශාල ලෙස බලපාන්නේ එම ස්ථානවලට නිරතුරුව විදුලි බලය අනිවාර්යයෙන් අවශ්‍ය වීම නිසාය. අද බොහෝ නිෂ්පාදන සිදුකෙරෙන්නේ විදුලි බලය උපයෝගී කරගෙනය. ඒ ගොඩනැගිලි සඳහා ද එදිනෙදා පවත්වාගෙන යාමටද විදුලිය අවශ්‍ය වේ. ඒ නිසා නිෂ්පාදනවලට ඍජුව මෙන්ම වක්‍රවද විදුලි මිල බලපායි. එවිට වැඩි කළා යැයි පවසන 66% තුන් ගුණයකින් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට විතැන් වෙයි.

මේ වනවිට මස්, මාළු, කරවල, සැමන් ආදී ආහාරවල මෙන්ම ඒවායින් නිපදවන සෑම ආහාර ද්‍රව්‍යයකම මිල වැඩි වී ඇත. ජල බෝතල්, සිසිල් බීම, පැණි බීම, මාගරින්, කිරි, බටර්, චීස්, කෝඩියල් වර්ග ආදී ශීතකරණවල ගබඩා කර තබාගත යුතු ආහාර ද්‍රව්‍යවල මිල වැඩිකර අලෙවි කරන්නට සිදුව ඇත. සුපිරි වෙළෙඳසල්වල අලෙවියට තබා තිබෙන සියලුම භාණ්ඩවල මිල ඉහළ යයි. කොටින්ම කිවහොත් විදුලි බිල ඉහළ යාම සෑම ආහාර ද්‍රව්‍යයකම පාහේ මිල වැඩිවීමට හේතු වේ. එසේම සිමෙන්ති, තීන්ත, ගල්, යකඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යවලටද මිල ඉහළ යාම බලපාන්නේ ඒවාටද කුමන ආකාරයකින් හෝ විදුලිය සම්බන්ධ වන නිසාය. මේ හැර කඩදාසි, මුද්‍රණ ගාස්තු, යතුරු ලියන ගාස්තු, ඡායා පිටපත්, පෑන්, පන්සල් පමණක් නොව අල්පෙනෙති, ක්ලිප් පවා මිල ඉහළ නංවා ඇත්තේ ඉතාම අසාධාරණ ලෙසය.

මේ අතර තවත් විශාල උවදුරකට ජනතාවට මුහුණ පාන්නට සිදුවන බවට අනතුරු ඇඟවීමක් පසුගියදා නිකුත් කෙරිණි. එනම් ජල ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවට බලධරයන් ප්‍රකාශ කිරීමය. මෙය වනාහි ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමටත් එහාට ගිය සිදුවීමකි. ජල කර්මාන්තයේ විවිධ අවස්ථාවලට ඍජුවම විදුලිය සම්බන්ධය. විදුලි ගාස්තු ඉහළ නංවන බොහෝ අවස්ථාවල ජල ගාස්තු ද ඒ සමඟ ඉහළ නැංවිය යුතු බවට කතිකාවක් නිර්මාණය වුවද ජනතාවගේ භාග්‍යයට මෙන් එම යෝජනා ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් මෙවර නම් ජල ගාස්තු ඉහළ යාමේ අවදානමෙන් පාරිභෝගිකයාට ගැලවීමට හැකියාවක් නොවන බව පෙනී යයි. ජල සම්පාදන මණ්ඩලය දැනටමත් පාඩු ලබමින් සිටින අතර මහා පරිමාණ විදුලි ගාස්තු සංශෝධනය නිසා එම පාඩුව විශාල ලෙස ඉහළ යාමෙන් ජල සම්පාදන කටයුතු කරගෙන යාමට කෙසේවත් නුපුළුවන් වී ඇති බවට මැසිවිලි නැගේ. ඇත්තවශයෙන්ම මෙම කතාවේ යම් සත්‍යතාවක් තිබේ. විදුලි බල හා බලශක්ති ඇමැති පැවසුවා මෙන් ජල ගාස්තු ඉහළ නංවා කනගාටුව ප්‍රකාශ කිරීමට ඉතා නුදුරු දිනකදී ජල සම්පාදන ඇමැතිටද සිදුවනවා ඇත.

යම් පමණකට හෝ විදුලි බලය සීමා කිරීමට ජනතාවට හැකිවන නමුදු ජලය භාවිතය එසේ අඩු කළ නොහැක්කේ ජලය ජනතාව ජීවත් කරවීමේ මූලික අවශ්‍යතාවක් නිසාය. මෙහිදී විශේෂයෙන් නාගරික ජනතාවට විශාල අසාධාරණයක් සිදුවේ. ලැබෙන සොච්චම් ආදායම විදුලියට සහ ජලයට ගෙවූ පසු ජීවත් වන්නට සිදුවන්නේ නිරාහාරවය. දැනට ආහාර නොමැතිව මිය යන ජනතාවගේ ගොඩට ජලය නොමැතිව මිය යන සංඛ්‍යාවද එකතුවීම නොවැළැක්විය හැකිය. ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවට උපදෙස් දිය හැකි නමුත් මෙම ප්‍රශ්නය විසඳීමට එය පිටිවහලක් නොවනවා ඇත.

භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර පවසන්නේ තම සාමාජික ව්‍යාපාරවල මිල ගණන් ඉහළ දැමුවහොත් පවතින වියදම් හමුවේ ඒවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවය.

''මීට පෙර විදුලි බිල ඉහළ දැම්මද කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදනවල මිල ඉහළ දැම්මේ නැහැ. ඒත් මෙවර නම් අනිවාර්යයෙන් ඉහළ නංවන්න වෙනවා. කර්මාන්තකරුවන්ට ඉහළ යන මිල දරාගන්න බැහැ. නිමිඇඳුම්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික්, ඇලුමිනියම්, ලන්ච් ෂීට්, සනීපාරක්ෂක උපකරණ, පිරිසුදුකාරක, තුනපහ, දුරු, මිරිස් කුඩු, ශීතකරණවල තබාගෙන අලෙවි කරන මස් මාළු, බේකරි නිෂ්පාදන හා භාණ්ඩ රුසක මිල 15% - 20% අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවෙලා තියෙනවා.

කොණ්ඩා සහ රුවුල් කැපීමට අය කරන මුදල්, කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතු ගාස්තු, වාහන සර්විස් කිරීම්, ටයර් සහ ටියුබ් අලුත්වැඩියා කිරීම්, වෑල්ඩිං වැඩ ඇතුළු සියලු සේවාවල ගාස්තුද 15% - 20% අතර ඉහළ දැමීමට සිදුවීම නොවැළැක්විය හැකියි. විදුලි මිල වැඩිවීම වගේම මේවාට පාවිච්චි කරන අමුද්‍රව්‍ය, රසායන ආදියේ මිලද ඉහළ ගිහින්. මේවායේ මිල ඉහළ නොදැම්මොත් පවත්වාගෙන යාමට බැරි වෙනවා.''

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා

''විදුලි බිල, කඩදාසි සහ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීමේ මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ඡායා පිටපත්, මුද්‍රිත පිටපත්, ටයිප් සෙටින් ගාස්තු ආදිය වියදමට අනුරූපීව ඉහළ නැංවීමට සිදුවීම නොවැළැක්විය හැකියි.

හැදුනුම්පත් ඡායා පිටපත් රුපියල් 10 සිට 15 දක්වාද A4 ඡායා පිටපත් රුපියල් 15 සිට 20 දක්වාද මුද්‍රිත පිටපත් කළු සුදු ප්‍රින්ට් අවුට් රුපියල් 5 කින් සහ වර්ණ පිටපත් රුපියල් 10කින්ද ඉහළ නැංවීමට සිදුවෙලා තියෙනවා. විදුලි බිල වගේම කඩදාසි, ටෝනර් මිල, තීන්ත මිල සහ යන්ත්‍ර අලුත්වැඩියා කරන මිලද ඉහළ ගොස් තියෙනවා. මේ සියල්ල එකතු කළ විට වැඩි කළ මිල ගණන් ප්‍රමාණවත් වන්නේ නැති තරම්. එසේ වුවද පාසල් ශිෂ්‍යයන් ඇතුළු අධ්‍යාපන කටයුතුවල නිරත අයට සිදුවන අපහසුතාව ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙත් මෙම අවස්ථාවේදී වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැහැ.'' 

එසේ වුවද වෙළෙඳපොළේ මිල මෙම පවසන මිල ගණන්වලට වඩා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බව පෙනී යයි.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙසේ පවසයි. 

''මීට පෙරද විදුලි සහ ගෑස් මිල වැඩි වුවද තමන් ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කළේ නැහැ. එයට එක් හේතුවක් වූයේ එම අවස්ථාවල පාන් පිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල යම් පමණකට අඩුව පැවතීමයි. එසේම අපි ජනතාවට සිදුවන හිරිහැරය ගැන ද සලකා බැලුවා. එහෙත් තවදුරටත් එසේ කරන්න බැහැ. එහෙම කළොත් ආපනශාලා පවත්වාගෙන යන්න බැරි වෙනවා. ආපනශාලා හිමියන් පාරිභෝගිකයන් ගැන සිතුවත් ආණ්ඩුව එහෙම හිතන්නෙ නැහැ. ඒ නිසා බත් පැකට්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ආදී ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් ඉහළ නැංවීමට කටයුතු කළා. මේ මිල වැඩිවීම ප්‍රමාණවත් නොවුණත් ජනතාවගේ පැත්තෙන් බලලා මේ තත්ත්වයට පවත්වාගෙන යනවා.'' 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන විදුලි බිල වැඩි වූ මුල් දිනයේම පැවසුවේ බිල වැඩිවීම හේතුවෙන් කිසි විටෙක් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවය. ඔහු එසේ පැවසුවද ඒ පිළිබඳ සංගමයේ ශාඛා අතර එකඟතාවක් නැත. ප්‍රාදේශීය ශාඛාවලින් පවසන්නේ ඇතැම් අය මිල වැඩි කරන බවකි. දකුණු පළාත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා පුවත්පත්වලට පවසා තිබුණේ අකැමැත්තෙන් වුවද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවකි. එයට හේතුව වන්නේ නිෂ්පාදන ද්‍රව්‍ය සහ වැටුප් ආදිය ද විදුලි ගාස්තු සමඟම ඉහළ යාම බවය. ඒ නිසා මිල යම් පමණකට ඉහළ දමන බවද ඔහු කියයි. එම තත්ත්වය විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

මේ පිළිබඳ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධනගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා පොදුවේ මිල වැඩි කිරීමක් නොකරන බව පැවසුවද පවතින අධික පිරිවැය හමුවේ ඇතැම් බේකරි වැසී යාමට පටන්ගෙන ඇති බවය. එනිසා යම් ලෙසකින් සාධාරණ මිල වැඩි කිරීමක් කරන්නට සිදුවන අවස්ථා ඇති නිසා එයට තහංචි දැමිය නොහැකි යැයි ඔහු කියයි. කෙසේ නමුත් වෙළෙඳපොළේ තරගකාරීත්වය පවතින නිසා විශාල වශයෙන් මිල වැඩි කිරීමකට යාමට නොහැකි වන අතර රටේ තත්ත්වය ගැන සලකා බලා මිල වැඩි නොකර සිටිනවා නම් එය වඩාත් සුදුසු බව ඔහු කීවේය.

මිල වැඩි කිරීමක් සිදු නොකළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන බොහොමයක ප්‍රමිතිය මෙන්ම බරද අඩු වී තිබෙන බව ලේඛකයා විසින් කරන ලද වෙළෙඳපොළ ගවේෂණයකදී පැහැදිලි විය. පාන්, ස්පංචි, බනිස්, කිඹුල්ලු ඇතුළු ආහාර වර්ගවල ප්‍රමාණය අඩු වී ඇති අතර පාන් ගෙඩියක් දෙදෙනකුට හෝ ප්‍රමාණවත් නොවන බව පෙනී ගියේය. පසුගිය දිනවල පාරිභෝගික සේවා අධිකාරිය විශාල ප්‍රචාරයක් කරමින් අඩු බරුති පාන් අත්අඩංගුවට ගෙන නඩු පැවරුවද දැන් ඒ පිළිබඳව කිසිදු ශබ්දයක් නොමැති බව පෙනී යයි. ඒ නිසාවෙන් බේකරි හිමියන්ට සිතූ සේ පාරිභෝගිකයා ගසාගෙන කෑමට අවස්ථාව ලැබී තිබේ.

නම සඳහන් කිරීමට අකැමැති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවකු ලියුම්කරු සමඟ පැවසුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ දැමුවාට ඒවා මිලට ගැනීමට පාරිභෝගිකයාට මුදල් නොමැති බවය. ''ඒ නිසා තව මාස දෙක තුනක් යන විට එවා වසා දැමීමට සිදුවෙයි. දැනටමත් ඒවා කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්. තව ටික දිනකින් අලෙවිය අඩුවීමෙන් ඒවා වසා දැමීමට සිදු වුවහොත් ලක්ෂ 1 ½කට පමණ රුකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා. ඒ සම්බන්ධ පවුල්වල සාමාජිකයන් ලක්ෂ පහකට පමණ ජීවනෝපායක් නොමැති වෙනවා. මෙය විශාල ජාතික ඛේදවාචකයක් වෙනවා ඇති.''

එසේම විදුලිය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා වතු කම්කරුවන් විශාල අමාරුවක වැටී ඇති බව වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි. වතු කම්කරු වැටුප් වසර දෙකකදී ඉහළ දමා නැත. වසර දෙකකට වරක් වැටුප් වැඩි කළ යුතු බවට සාමූහික ගිවිසුමක් තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. 2021 වසරේදී ඉතාම අපහසුවෙන් දෛනික වැටුප රුපියල් 1000ක් කර ගත්තද එයද ඇතැම් හාම්පුතුන් නිසි පරිදි ගෙවන්නේ නැත. මෙම තත්ත්වය මත වතු සේවකයන්ට දිනකට එක වේලක් හෝ ආහාර ගන්නට හැකියාවක් ලැබී නැති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවද වැඩි කළ විදුලි මිල දඩමීමා කරගෙන අසරණ ජනතාව ගසාකෑමට දරන කුරිරු උත්සාහයන් නැවැත්වීමට ක්‍රියා කිරීම රජය සතු ඒකායන වගකීම බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

I යසවර්ධන රුද්රිගූ