2023 පෙබරවාරි 19 වන ඉරිදා

වාහන මාදිලි 47ක හැංගුණ එයාර් බෑග් මාරයා

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 84

රිය අනතුරක් යනු ඛේදවාචකයකි. රිය අනතුරකදී සිදුව හැකි භයානකම දෙය ජීවිත හානියයි. ඔබ මෝටර් රථයකට ගොඩවෙන ඔබේ ආරක්ෂාව පිළිබඳ නිසැක වශයෙන් වශයෙන්ම සැලකිලිමත් විය යුතුය. මෝටර් රථයක ආරක්ෂාව පිළිබඳ කතාබහ කරන විට කාටත් පළමුව සිහිපත් වන්නේ වායු බැලූන්ය. (Ari Bags) එයාර් බෑග් පිළිබඳ විශාල කතාබහක් ගෙවීගිය සති කිහිපයේදී නිර්මාණය වන අයුරු අපි දුටුවෙමු. මෙම ලිපියට පාදක වන්නේ එම සංවාදයයි.

වායු බැලූන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත මෝටර් රථ ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් මෙරට ධාවනයේ නිරත වන බව ඉකුත්දා හෙළිකරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාය. ඒ මහතා හෙළිදරව් කළ පරිදි ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරීත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් මේ අතර වේ.

මේ වනවිටත් අදාළ වාහන ආනයනික ඒජන්ත සමාගම්  අවදානම් කාණ්ඩවලට අයත් වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබේ. ඒ අනුව මෝටර් රථ ආනයන ඒජන්තවරු මාදිලි 47ක වාහන වායු බැලූන යළි ස්ථාපනය කිරීම පිණිස ආපසු කැඳවිය යුතුව තිබේ. හොණ්ඩා වාහන කාණ්ඩ 9ක් යටතේ මාදිලි 33ක්ද, මිට්සුබිෂි කාණ්ඩ 3ක් යටතේ මාදිලි 8ක්ද ටොයොටා මාදිලි 6ක් ඊට අන්තර්ගතය.

මෙම අනාරක්ෂිත වායු බැලූන පිළිබඳ කතිකාව නිර්මාණය වූයේ පසුගිය පෙබරවාරි තුන් වැනිදා රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙනි. විමුක්ති ජයවීර නම් තරුණ විද්‍යාඥයෙක් මෙම රිය අනතුරින් මියගියේය. ඔහුගේ මරණයට හේතු වී තිබුණේ අනාරක්ෂිත වායු බැලූන ක්‍රියාකාරීත්වයයි. මෙම රිය අනතුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී වායු බැලූනය සමඟ ආ යකඩ කැබැල්ලක් බෙල්ලේ ගැටී නහරයක් කැපීම හේතුවෙන් මරණය සිදුවූ බව හෙළිදරව් විය.

මෙම රිය අනතුර සම්බන්ධව සිදුකෙරුණු පර්යේෂණවලදී අනාරක්ෂිත වායු බැලූන සහිතව මෙරට තුළ ධාවනය වන වාහන පිළිබඳ තොරතුරු හෙළිදරව් විය. විමුක්තිගේ මරණය දැවැන්ත ඛේදවාචකයක් වුවත් ඔහුගේ මරණය නිසාවෙන් තවත් අනතුරු රුසක් වළකා ගැනීමට අවකාශය උදාවිය. එදා තරුණ විද්‍යාඥයා නොදැන සිටියද ඔහු පැදවූ හොණ්ඩා ඉන්සයිට් රථය නැවත කැඳවා තිබුණු මාදිලියකට අයත් වූ මෝටර් රථයකි.

සාමාන්‍යයෙන් වාහනයක නිෂ්පාදනයෙන් පසු යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවන් අවස්ථාවලදී එම වාහන ආපසු කැඳවීමක් (Re Call) කිරීම ලොවපුරා සිදු වේ. කෙසේ වෙතත් මෙරට මෝටර් රථ ආනයනයේදී අවිධිමත් භාවය හේතුවෙන්, මෙම මෝටර් රථ මාදිලි නැවත කැඳවීම පිළිබඳ පාරිභෝගිකයන් පමණක් නොව ඇතැම් ඒජන්තවරු පවා නොදනිති.

මේ වනවිට දෝෂ සහිත ක්‍රියාකාරීත්වය හේතුවෙන් ලොවපුරා ආපසු කැඳවා ඇති වාහන මාදිලි සංඛ්‍යාව 100කට අධිකය. මැස්ඩා කාණ්ඩ 7ක්, සුපිරි බෙන්ස් කාණ්ඩ 10ක්, මිට්සුබිෂි කාණ්ඩ 6ක්, සුබාරු කාණ්ඩ 5ක්, ටොයොටා කාණ්ඩ 13ක්, වොක්ස්වගන් කාණ්ඩ 7ක්, අවුඩි කාණ්ඩ 19ක්, ලෙක්සස් කාණ්ඩ 7ක්, හොණ්ඩා කාණ්ඩ 16ක් ඒ අතර වන බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. මේ අතරට අධි අවදානම් හොණ්ඩා වාහන කාණ්ඩ 7ක් ඇතුළත්ය.

මේ වාහන ආපසු කැඳවීම් ලෝකය පුරා සිදු කළද අප වෙත වාර්තා වන පරිදි මෙරට එක් සමාගමක් හැර වෙනත් කිසිදු සමාගමක් වාහන එසේ ආපසු කැඳවීමක් සිදුකර නොමැත. දැනුදු මේ පිළිබඳ අතීත විමසීම සිදුනොවන බව පෙනී යයි. වරද ඒජන්තවරුන්ගේද රථවාහන නියාමන කාර්යභාර රාජ්‍ය ආයතනයේද යන්න අපැහැදිලිය.

කෙසේවෙතත් වායු බැලූන යනු මෝටර් රථයක ගමන් කරන රියැදුරට සහ මගීන්ට අනතුරකදී ආරක්ෂාව සපයන ප්‍රධානතම අංගයි. තාක්ෂණික අවශ්‍යතාවය මත අනතුරකදී වායු බැලූනයක් ඉතාම අඩු කාලයකින් සම්පූර්ණව පිම්බෙන ලෙස සකසා තිබේ. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70ක පමණ  වේගයකින් ගමන් කරන වාහනයක් අනතුරට පත්වුවහොත්, රියදුරා සුක්කානමේ ගැටීමට තත්ත්පර 0.02ක පමණ විය හැකිය. එම නිසාම එම කාලය අතරතුර ක්ෂණිකව පිම්බෙන ලෙස වායු බැලූන සකසා තිබේ.

තරුණ විද්‍යාඥයාගේ මරණයට හේතු වූයේ මෙම ක්ෂණික වායු බැලුන පිම්බීමේදී ඉදිරියට විසිව ආ යකඩ කැබැල්ලකි. එමනිසාම අනාරක්ෂිත වායු බැලූන සහිත වාහනවල භයානකකම සියලුදෙනාම අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාව තුළ පවතින අවිධිමත් මෝටර් රථ නියාමන ක්‍රමවේදයන් තවත් මෙවන් ගැටලු සිය ගණනක් නිර්මාණය කර ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරමු. ඒවා හුදෙක් වායු බැලූන ගැටලු පමණක් නොවේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම වාහන මාදිලි නැවත කැඳවීම සම්බන්ධව ඒජන්තවරුන් දැන්වීම් පළකර තිබූ අයුරු අප වෙත නිරීක්ෂණය විය. මේ වනවිට නිල වශයෙන්ම වාහනවල අනතුරුදායක එයාර් බෑග් නැවත සවිකර දීමට ප්‍රධාන පෙළේ ආයතන 3ක් එම වාහන නැවත කැඳවා ඇති බව අප වෙත වාර්තා වේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව අනෙක් සියලු ආයතන සමඟත් මෙම ක්‍රියාවලිය සඳහා සාකච්ඡා කරමින් සිටී.

මෙම සියලු කරුණු සලකා අවසානයේ කිවයුත්තේ වරද කාගෙද යන්න විමසීම කෙසේ වෙතත්, තවත් අනතුරකට පෙර වරද කඩිනමින් නිවැරදි කර ගැනීම යහපත් බවයි. එසේම අනතුරක් වනතුරු සිට විසඳුම් සෙවීමේ යල් පැනගිය ක්‍රමවේදවලින් වගකිවයුත්තන් කඩිනමින් මිදිය යුතුමය.


I චමිඳු නිසල් ද සිල්වා