2023 පෙබරවාරි 19 වන ඉරිදා

සිත රිදවාගෙන ලංකාව හැර යන ජපන් ව්‍යපාරික මිතුරා

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 265

වසර හැටකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ මිට්ෂුබිෂි සමාගම එම කටයුතුවලින් ඉවත්වීමට පසුගිය සතියේ තීරණය කළ අතර එම සමාගමේ කොළඹ කාර්යාලය ලබන මාර්තු 31දා සිට වසා දැමීමට නියමිතය. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්ම මෙම තීරණයට බලපා ඇතැයි වාර්තා වේ. එමෙන්ම මාලඹේ සිට කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම, ද්‍රව වායු විදුලි බලාගාර ව්‍යාපෘතිය වැනි ජපන් ආධාර යටතේ ඉදි කිරීමට නියමිත වූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට පියවර ගැනීම හේතුවෙන් ජපානය සහ ශ්‍රී ලංකාවව අතර පැහැති සබඳතා යම් පමණකින් බිඳ වැටී තිබේ..
ලෝකයේ ප්‍රධාන පෙළේ සන්නාමයක් වන මිට්ෂුබිෂි සමාගම ශ්‍රී ලංකාවෙන් සමුගැනීම ශ්‍රී ලංකාවට විශාල පසුබෑමක් වන අතර එය දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විශාල කම්පනයක් ඇති කර තිබේ අතීතයේ සිට බොහෝ ශ්‍රී ලාංකික සමාගම් සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අතර ඔවුන්ගේ පළමු විදේශීය කාර්යාල කිහිපයෙන් එකක් ශ්‍රී ලංකාවේද පිහිටුවීමට එම සමාගම කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකළස් කිරීම මුලින්ම ආරම්භ කළ සමගම වනුයේද මිට්ෂුබිෂි සමාගමය එම සමාගම 4 DR 5 ජිප් රථ සහ මිට්ෂූබිෂී කෝල්ට් මෝටර් රථ ශ්‍රී ලංකාවේ එකලස් කරන ලදී.

එම සමාගම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ගොඩ නැංවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ සමාගමකි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනය අරමුදල් සපයමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘතිවල ප්‍රධාන හවුල්කරුවා වූයේ එම සමාගමය. මිට්ෂුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ සේවය කළේ විසි දෙනකුගෙන් සමන්විත පිරිසක් වුවද එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති ක්ෂේත්‍ර දහස් ගණනක් මගින් ශ්‍රී ලාංකිකයන්ට ජීවනෝපාය මාර්ග සලසා තිබේ.

ශ්‍රී ලංකාවට ණය සැපයූ දෙවැනි විශාලතම ණය හිමියා වන්නේ ජපානයයි. 2022 සැප්තැම්බර් වන විට ඔවුනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.46 ක් විය. කලින් කලට පත්වන ආණ්ඩු විසින් ගන්නා අදූරදර්ශී තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාව දිනෙන් දින අගාධයට ඇදී ගියේය. එවන් තීන්දු තීරණවල ප්‍රතිඵල අප දැන් අත්විඳිමින් සිටිමු. ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අදියර කිහිපයකින් ඉදිකිරීමට නියමිත වූ අතර වූ එහි පළමු අදියර කොළඹ කොටුව සිට මාලබේ දක්වා කිලෝමීටර් 15.3ක් දුරට ඉදි කිරීමට නියමිත විය. එයට දුම්රිය ස්ථාන 16ක් ඇතුළත් විය. ඊට අමතරව තවත් මාර්ග 6ක් යෝජනා වී තිබිණි. සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකළේ ඉතාම සහනදායක පොලී අනුපාතිකයක් යටතේය. එහෙත් දේශපාලන අරමුණු මත එම ව්‍යාපෘතිය නවතා දැමිණි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් පසුගියදා හෙළි කළේය.

එසේම ජපන් ආධාර යටතේ ඉදිකිරීමට යෝජනා වූ  ද්‍රව වායු ව්‍යාපෘතියද  ඉදිකෙරුණේ නැත. පසුගිය දිනවල එක්තරා ඇමැතිවරයෙක් ජපන් ඉදිකිරීම් සමාගමකින් කොමිස් ඉල්ලූ බව පවසමින් එම සමාගම එකී ව්‍යාපෘතියෙන් ඉවත් විය. ශ්‍රී ලංකාවේ පවතින දූෂිත දේශපාලන ක්‍රියාවලිය තුළ මෙරටට ආදරය කරන රටවල්ද අප අත්හැර යමින් සිටී. 

අප සහෝදර ඉංග්‍රීසි පුවත්පත වන ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජපන් සමාගම්වලට මෙරට ආර්ථික ක්‍රියාකාරකම් යළි පණ ගැන්වීම සඳහා ඇති ගැටලු නිරාකරණය කිරීමට ශ්‍රී ලංකාව පියවරගත යුතු යැයි නිදහස් දින උත්සවයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තකෙයි ෂුන්සුකේ අවධාරණය කළ බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසා තිබේ. ලංකාවේ ආර්ථිකය  ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපන් සමාගම්වලට දායක විය හැකි නමුදු ජපාන සමාගම්වල විශ්වාසය නැවත දිනා ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සාහ කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ. 

මිට්ෂුබිෂි සමාගම ස්වාධීන බහුජාතික ජපන් සමාගමකි. 1870 දී යතාඕ ඉවසාකි විසින් ආරම්භ කරන ලද එම සමාගම නැව් තැනීම, බැංකුකරණය, රක්ෂණය, ගබඩා කිරීම සහ වෙළඳාම යන අංශවලට ද ව්‍යාප්ත විය. පසුකාලීනව කඩදාසි, වානේ, වීදුරු, විදුලි උපකරණ, ගුවන් යානා, තෙල් සහ දේපළ වෙළඳාම් වැනි අංශ දක්වාද එය පැතිර ගියේය.. පුළුල් සමූහ ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට සමත්වූ මිට්ෂුබිෂි සමාගම ජපනයේ කාර්මිකකරණය නවීකරණය කිරීමේදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළේය. දෙවැනි ලෝක යුධ සමයේදී හමුදා ගුවන් යානා නිෂ්පාදනය කළේද මිට්ෂුබිෂි සමාගම විසිනි. Mitsubishi A6M Zero යනු ජපාන ගුවන් හමුදාවේ ප්‍රාථමික නාවික ප්‍රහාරක යානයකි. එය යුද්ධය පුරාවටම භාවිත කරන ලද අතර, පසු කාලීනව  කමිකාසේ ප්‍රහාර වලදීද  (පුපුරණ ද්‍රව්‍ය රුගෙන නැව් මතට වැදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ) භාවිත කරන ලදී.  1870 සිට 1946 දක්වා මිට්ෂුබිෂි සයිබට්සු සමාගම ලෙසින් ක්‍රියාත්මක වූ එම සමාගම. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය යටත්වීම හේතුවෙන් විසුරුවා හැරිණි. මිට්සුබිෂි නාමය සහ වෙළඳ ලකුණු භාවිත කිරීම තහනම් කරන ලදී. 1952 දී කොරියානු යුද්ධය හේතුවෙන් ජපානයේ කාර්මික ව්‍යාපෘතීන්හි අවශ්‍යතාව මතුවූ බැවින් මිට්ෂුබිෂි සමාගමට පනවා තිබූ තහනම ඉවත් කරන ලදී. 1950 සහ 1960 ගණන්වල ජපානයේ ආර්ථිකය යළි  වර්ධනය කිරීමට මිට්ෂුබිෂි සමාගම විශාල දායකත්වයක් සැපයීය. සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් මිදී  අභ්‍යවකාශ කටයුතු සංවර්ධනය, ගුවන් සේවා, සාගර සංවර්ධනය, දත්ත සන්නිවේදනය, පරිගණක සහ අර්ධ සන්නායක (semiconductors) වැනි නව ව්‍යාපාරවලට එම සමාගම පිවිසියේය.

මිට්ෂුබිෂි සමූහ ව්‍යාපාරය මව් සමාගමකින් පලනය වන්නක් නොවේ  එය තනි සමාගම් 40 ක පමණ එකතුවකි.. ඒ යටතේ . ස්වාභාවික වායු, කාර්මික අමුද්‍රව්‍ය, පෙට්‍රෝලියම් සහ රසායන ද්‍රව්‍ය, ඛනිජ සම්පත්, කාර්මික යටිතල පහසුකම්, මෝටර් රථ, ආහාර කර්මාන්ත, පාරිභෝගික කර්මාන්ත බලශක්ති, සහ නාගරික සංවර්ධනය වැනි සමූහයන් රුසක් පවතී.

1970 දී මිට්ෂුබිෂි සමාගම මිට්ෂුබිෂි පදනම පිහිටුවූයේ එහි පළමු සමාගම පිහිටුවා සියවසක් ගතවීම සැමරීම සඳහාය. ඔවුන් විසින් පවත්වාගෙන යන  පුණ්‍යායතන විශාල ප්‍රමාණයක් පවතී.

දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ ජපානයට වෛර නොකරන්නැයි එවක මුදල් ඇමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1952 සැන් ෆ්‍රුන්සිස්කෝ සාම සමුළුවේදී කළ ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු වූ ජපානය සැම විටම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ දෑත දිගු කළ රටකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මහරගම තරුණ සේවා සභාව මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලද ජපාන රජය ශ්‍රි ලාංකිකයන්ට ලබා පරිත්‍යාග කිහිපයකි. එහෙත් ඇතැම් දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම මිත්‍රත්වය යම් පමණකින් පලුදු වී ඇතැයි පෙනෙන්නට තිබේ.

මිට්ෂුබිෂි සමාගමද වසර හැටගණනකට පසු ශ්‍රී ලංකාව අත්හැර යන්නේ කිසියම් සිත් රිදීමක් නිසා නොවේයැයි කිව හැකිද? ඉදිරියටත් මෙවැනි සමාගම් ශ්‍රී ලංකාව හැරගියහොත් එහි අනිටු ප්‍රතිළුල විඳින්නට සිදුවන්නේ දේශපාලකයන්ට නොව මෙරට ජනතාවට බව අමුතුවෙන් කිවයුතු නැත.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05