2023 පෙබරවාරි 12 වන ඉරිදා

ජනක රත්නායකට චෝදනා පත්‍රයක්?

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 120

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක චරිතය ශ්‍රී ලංකික දේශපාලන රියැලිටියේ වෙනස්ම භූමිකාවකට පණ පොවමින් සිටී. දැන් ඔහු පිළිබඳ කතිකාව විදුලි අර්බුදය හරහා දේශපාලන වේදිකාවට ද දෝලනය වී අවසන්ය. නුදුරේදීම ජනක රත්නායක පිළිබඳ විනිශ්චය ව්‍යවස්ථාදායකය වෙත පැවරෙනු ඇත.

හෙට අනිද්දාට ඔහුට එරෙහිව කරුණු 14 කින් යුක්ත චෝදනා පත්‍රයක් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම චෝදනා පත්‍රයේ අන්තර්ගතය පිළිබඳ මේ වනතුරු නිල පැහැදිලි කිරීමක් නොමැති මුත් එහි අන්තර්ගතය පිළිබඳ යම් යම් කරුණු හෙළිදරව් වෙමින් පවතී. මෙම උණුසුම් මාතෘකාව පිළිබඳ අප මෙම සටහන තබන්නේ ඒ ඔස්සේය.

මෙම චෝදනා පත්‍රය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සාදන ලදුව පසුගිය පෙබරවාරි 03 වැනිදා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. අසන්නට ලැබෙන පරිදි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව චෝදනා පත්‍රය නීතියට අනුව සකස් කර ලබා දීමෙන් පසු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. අනතුරුව ඔහුගෙන් කරුණු විමසීමක් සිදු විය හැකිය. කෙසේ වෙතත් ඔහු සම්බන්ධ අවසාන තීරණය පාර්ලිමේන්තුව සතුවනු ඇත.

පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භයේදීම ජනක රත්නායකට එරෙහි  චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. එහෙත් ගෙවී ගිය සතියේ ඒ හා සම්බන්ධ යම් පමාවක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මේ අතර කාලයේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එල්ල වී ඇති චෝදනා පිළිබඳ අපි කරුණු විමසා බැලුවෙමු. එහිදී අනාවරණය වූ තොරතුරු සැකවින් හෝ ඔබ හමුවේ තැබීම වටී.

ඒ අනුව ඉදිරිපත්ව ඇති එක් චෝදනාවකට අනුව කියැවෙන්නේ, 2009 දී හෝ 2012 දී පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් ආණ්ඩුව විසින් කිසිදු තනතුරක් දැරීමට ජනක රත්නායක නුසුදුසු බවට තීරණය කර තිබෙන බවකි. තවදුරටත් නිශ්චිත තොරතුරු හෙළිදරව් වී නොමැත. එබැවින් මෙම චෝදනා පත්‍රයේ අන්තර්ග චෝදනා කවරේද යන්න කැට තබා කීමට අපට නොහැක.

එසේම තවත් චෝදනාවක් අනුව, 2019 ජනපති ගෝඨාභය පාලන සමයේ බැංකු සභාපති ධුරයක් සඳහා ජනක රත්නායක ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට ඇතැයි කියැවේ. මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකුවෙන් ජනක රත්නායක පිළිබඳ යෝග්‍යතා සහතිකයක් ඉල්ලා ඇත. එවන් සහතිකයක් ඔහු වෙනුවෙන් ලබා දිය නොහැකි බව එවක මහ බැංකුව සඳහන් කළේ යැයි කියැවේ.

ඒ මෙම සිදුවීම් ද්විත්වයම පදනම් කරගෙන ජනක රත්නායක යනු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය දැරීමට නුසුදුස්සකු බව ඔප්පු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවක් පෙනී යයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යවා තිබූ චෝදනා පත්‍රයේ මේ හා සමාන තවත් කරුණු රුසක් අන්තර්ගත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

තවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම කොමිසමේ සාමූහික තීන්දුවලට අනුගත නොවූ බවට ද චෝදනාවක් ඉදිරිපත් වී තිබේ. මීට සතියකට ඉහතදී මොහාන් සමරනායක කොමිසමෙන් ඉවත් වීමට ගනු ලැබූ තීරණය ඒ සඳහා නිදර්ශකයක් කොට දක්වා ඇත. ඒ අනුව ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ අනෙකුත් සාමාජිකයන්ට ඇහුම්කන් දී නොමැති බවට, ආණ්ඩුව පාර්ශ්වයෙන් චෝදනාවක් එල්ල වෙයි.

මේ අතර ජනක රත්නායක විදුලිය අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකුණන ආයතනයක් පවත්වාගෙන යන බවටද චෝදනාවක් එල්ල වේ. ඔහු ඒ සඳහා බලපත්‍රයක් ද ලබාගෙන ඇතැයි කියැවේ. ඔහු එවන් ආයතනයක් පවත්වාගෙන යන්නේ නම් එය නීතියට මෙන්ම සදාචාරයටද අනුකූල නොවන බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම සියලු කරුණු තවදුරටත් නිල වශයෙන් ඉදිරිපත් නොවූ චෝදනා බව කිව යුතුය. එසේම මේවා චෝදනා ලෙස ඉදිරිපත් වුවද එපමණින් ජනක රත්නායක වැරදිකරුවකු වන්නේ නැත. මෙම චෝදනා ඉදිරිපත් කරන පිරිස්වලට ඒවා ඔප්පු කිරීමට සිදුවනු ඇත. එම නිසාම මෙම නාටකීය ගැටුමේ අවසානය තව බොහෝ දුරය.

මෙම චෝදනා පත්‍රයේ අන්තර්ගතව ඇතැයි කියවෙන තවත් කරුණු රුසක් මේ වන විට දේශපාලන කරළියේ සංසරණය වේ. ඒවාට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන හෝටල් පරිශ්‍රයක රු. 14,76,651ක විදුලි බිල්පත් නොගෙවීමද එක් චෝදනාවකි. ඊට අනුව සභාපතිවරයා මෙම මුදලද නොගෙවමින් එම මුදල අඩුකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද කියැවේ.

මේ ආදී තවත් කරුණු සහිතව සම්පූර්ණ චෝදනා 14 කින් යුතු චෝදනා පත්‍රය ආසන්න දිනයක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත. කෙසේ වෙතත් ජනක රත්නායක මහතා කියා සිටින්නේ මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් වූ පසු ඊට පිළිතුරු ලබා දීමට තමා සූදානම් බවයි. දැනට ඉදිරිපත් කරන චෝදනා ඔහු නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටී. මේ දිනවල විදුලි කප්පාදුව සහ උසස් පෙළ විභාගය පිළිබඳ ඔහු විශේෂ අවධානයකින් පසුවේ.

කෙසේ වෙතත් ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයකු ඉවත් කිරීමේ  ක්‍රියාවලිය සංකීර්ණ බව කිව යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයේ කැමැත්ත අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් ආණ්ඩුව විශ්වාසය පළ කරන්නේ එම කැමැත්ත ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නොවන බවයි. ඒ අනුව ආණ්ඩුව ගැටලුවකින් තොරව චෝදනා ඔප්පු කොට ජනක රත්නායක සභාපති ධුරයෙන් නෙරපනු ලැබුවහොත් එය ඓතිහාසික දේශපාලන සිදුවීමක් වනු ඇත.

කෙසේ වෙතත් ඉදිරි සතියේ දී මෙම චෝදනා පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම සමඟ තත්ත්වය තවත් බරපතළ වනු ඇත. බලශක්තිය අමාත්‍යවරයා සේම සභාපතිවරයා ද සටන අත් නොහරින බව පෙනී යයි.

I චමිඳු නිසල් ද සිල්වා