2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඩොලර් මිලියන 28කින් ලංකාවට උපකාර කරන යුනිසෙෆ්!

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 222

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය 2023 වසර පුරාවටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මගින් 2023 වසර සඳහා නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. දරුවන් මිලියන 2.9ක් ඇතුළුව සමස්ථ ජනගහනයෙන් මිලියන 6.2ක් සඳහා 2023 වසර තුළ මානුෂීය ආධාර අවශ්‍යවනු ඇතැයි එම වාර්තාව සඳහන් කරයි. 2022 වසර පුරා පැවැති උද්ධමනය, ආදායම පහත වැටීම සහ ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය මෙම තත්ත්වයට බලපා ඇති අතර එය මෙම වසර තුළද පවතිනු ඇතැයි එහි සඳහන්ය. 2022 වසර තුළ කෘෂිකර්මාන්තයට ස්වභාවික සහ වෙනත් උපද්‍රව මගින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් පෙර වසරයන් හා සැඳීමේදී 2023 වසරේ ආහාර නිෂ්පාදනය 40% පමණ පහත වැටෙනු ඇතැයි ද 2022 ඔක්තෝබරයේ සිට 2023 පෙබරවාරි දක්වා එම ආහාර අනාරක්ෂිතතාව පවතිනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. මේ වනවිට මිලියන 5.3ක් පමණ තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති අතර ඉදිරියේ ඇතිවිය හැකි දේශගුණික බලපෑම් සහ දේශපාලන අර්බුද හමුවේ මෙම තතත්වය තවදුරටත් වර්ධනය විය හැකිය.

රටේ පෝෂණ මට්ටම පවතින්නේ අනතුරුදායක තත්ත්වයකය. එහෙයින් ළමා මන්දපෝෂණය තවදුරටත් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇතැයි එම වාර්තාව සඳහන් කරයි. ඉදිරි මාස කිහිපයේ එම අර්බුදය උග්‍ර වනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ.

අරමුදල් හිඟය සහ නිසි නඩත්තු කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් ග්‍රාමීය ප්‍රදේශයන්හි හා වතුකරයේ ජනතාවට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීමට බාධා පැමිණ තිබේ. කඩිනමින් ජලය පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය නොකරන්නේ නම් දරුවන්ට ජලයෙන් බෝවන රෝග වැළඳීමේ අවදානමක් පවතී.

ඖෂධ හිඟය සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ල කර තිබේ. විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා තිබේ.

උග්‍රව පැවැති ඉන්ධන හිඟය හේතුවෙන් 2022 වසරේ මාස ගණනාවක් පාසල් වසා තිබිණි. ඒ හේතුවෙන්  මිලියන 4.8ක දරුවන්ගේ ඉගෙනීම් කටයුතු  අඩපණ  වූ අතර මානසික සෞඛ්‍යය ගැටලු හා සාමාජීය ගැටලු වර්ධනය විය. ප්‍රවාහන ගැටලු, ආර්ථික අර්බුද සහ පාසල් ආහාර වේල සීමාවීම වැනි කරුණු මත ග්‍රාමීය ප්‍රදේශයන්හි දරුවන්ගේ පාසල් ගමන අඩාල විය. විශේෂයෙන්ම 2022දී ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ගැටලු සැලකිය යුතු ලෙස වර්ධනය විය. දිළිඳුකම හා  ආහාර හිඟය හේතුවෙන් දරුවන් රුකවරණ අභියෝගවලට මුහුණ දෙන අතර, බොහෝ මව්පියන් ඔවුන්ව ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට උත්සාහ දරා තිබේ.

එම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් මිලියන 2.8කට පෝෂණ සේවා අවශ්‍යය. දරුවන් මිලියන 2ක් සඳහා මානසික අවපීඩනය, කාංසාව සහ පශ්චාත් කම්පන ආබාධ වැනි මානසික ආබාධ සඳහා සහය ලබාදිය යුතුය. මිලියන 1.1ක් වන දරුවන් සඳහා අධ්‍යාපන පහසුකම් අවශ්‍යය. මිලියන 2.3ක ජනතාවට පිරිසුදු පානීය ජලය නොමැත. කිරි දෙන මව්වරුන් 480187ක් සඳහා මුල්‍ය ආධාර ලබාදිය යුතුය.

ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික අර්බුදය, පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ළමා ආරක්ෂණය වැනි කටයුතු හා ළමුන් මිලියන 2.4ක් ඇතුළු මිලියන 3.5ක ප්‍රජාවකගේ සෞඛ්‍ය, පෝෂණය, ළමා ආරක්ෂණය, අධ්‍යාපනය, පානීය ජලය සහ සනීපාරක්ෂාව සහ වෙනත් අත්‍යවශ්‍යතා සඳහා උපකාර කිරීමට 2023 වසර සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට ඇමෙරිකානු ඩොලර් මිලියන 28.3ක් අවශ්‍ය වේ. 2023 දී සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍ය සහ ළමා ආරක්ෂණ වැනි අංශවල වඩාත් අවදානමට ලක්විය හැකි අයට ප්‍රමාණවත් මානුෂීය සහයෝගයක් ලබා නොදෙන්නේ නම් වත්මන් අර්බුදය තුළින් දිගුකාලීන ප්‍රතිවිපාක නිර්මාණය කරනු ඇතැයි එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ දා සිට යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වා තිබේ. අවදානමට ලක් වූවන්ගේ අවශ්‍යතා තහවුරු කිරීමට හා දරුවන් සහ පවුල් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබා දෙන අතර 2023 වසරේද ආර්ථික අර්බුදයෙන් අහිතර බලපෑමට ලක්වන දරුවන් සඳහා උපකාර කිරීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරමින් සිටී. රජය මගින් ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය හා පෝෂණ සේවාවන්හි ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ අරමුදල් නොමැතිකම මත අත්හිටුවා ඇති ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල පානීය ජලය සැපයීම සඳහා වන ජල ව්‍යාපෘති අවසන් කිරීමටද දරුවන් සහ කාන්තාවන් 1,236,480 දෙනකු සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රාථමික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට හා පෙර පාසල් දරුවන් 100,000 ක් සඳහා පාසල කේන්ද්‍ර කරගත්  පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද  මේ වසර තුළ යුනිසෙෆ් සංවිධානය කටයුතු කරනු ඇත.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා