2023 පෙබරවාරි 05 වන ඉරිදා

කටේ අත දමා ඇම ගැලෙව්වත් කිඹුලා මැරිලා!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 128

අලි - මිනිස් ගැටුම තරමටම කිඹුල් - මිනිස් ගැටුමත් ඇතැම් ප්‍රදේශවල වර්ධනය වෙමින් ඇත්තේ මිනිස් ජීවිතවලට දැඩි අවදානමක් එක් කරමිනි. මිනිස් ජීවිතවලට එල්ල වන තර්ජනය හමුවේ වන අලින් සේම කිඹුලන්ද අකාලේ මියැදෙන සිදුවීම් වාර්තා වේ. එවැනි පසුබිමක කිසිවකු අටවන ලද ඇමක් ගිල දමා දැඩි අපහසුතාවකින් පෙළුණු කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කළ පුද්ගලයකු පිළිබඳව අසන්නට ලැබිණ.

කළුතර, මොරොන්තුඩුව, ගෝනදූව, කවටයාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ඇමක් ගිල දැමූ අඩි 13ක් පමණ දිග කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කොට තිබිණ. මෙම ප්‍රදේශයේ ඇමක් ගිල දැමූ කිඹුලකු අපහසුවෙන් සිටින බව ප්‍රදේශවාසියකු විසින් පළමුව දැක ඇතැයි කියති. පසුව කටින් කට ප්‍රචාරය වූ කතාව ආසන්නයේ පදිංචිව සිටි උදාර සංජීව (40) නැමැති පුද්ගලයකුට ආරංචි වී තිබිණ. ඔහු එම ස්ථානයට පැමිණ තිබුණේ කිඹුලා දැක ගැනීමටය.

රැස්වූ පිරිස සමඟ එක්වූ උදාර ඇම සිරවී අපහසුතාවෙන් සිටි කිඹුලා වතුරෙන් ගොඩට ගැනීමට උත්සාහ කළේය. ලී සහ පරාල රැගෙන කඹ යොදා කිඹුලාගේ කට තදින් ගැටගසන්නට කටයුතු කිරීමෙන් පසුව නොබියව ඉදිරිපත් වූ උදාර කිඹුලාගේ කටට අත දමා අසීරැවෙන් නමුත් සිරවී තිබූ ඇම ඉවත් කිරීමට කටයුතු කළේය. එසේ ටික වෙලාවක් ගතවීමෙන් පසුව කිඹුලා එම දිය කඩිත්තට මුදාහැර තිබිණ. එම ස්ථානය බොල්ගොඩ ගඟට සම්බන්ධ වන අතු ගංගාවක් බවට ප්‍රදේශවාසීහු කියති.

මුදාහල කිඹුලා නිසොල්මනේ සිටින අතරතුර ගම්වාසීහු මැදිහත් වී මේ බව මොරොන්තුඩුව පොලිසියට හා අනතුරුව අත්තිඩිය වනජීවී කාර්යාලයට දැනුම් දුන්හ. එම නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ තිබුණේ එදින රාත්‍රිය ආසන්න වූ විටය. එහිදී කිඹුලා රැගෙන ගොස් ප්‍රතිකාර කර මුදාහැරීමට සිතා කිඹුලා ගොඩට ගැනීමට උත්සාහ කිරීමේදී දැක ඇත්තේ කිඹුලා මරණයට පත්ව සිටින බවකි. මේ පිළිබඳව අදහස් දක්වන වනජීවී නිලධාරීන් පවසන්නේ අක්‍රමවත් ලෙස කිඹුලාගේ උගුරේ සිරවූ ඇම ඉවත් කිරීම නිසා සිදුව ඇති අභ්‍යන්තර ඉන්ද්‍රිය හානි නිසා කිඹුලා මරණයට පත්වන්නට ඇති බවකි.

කවටයාගොඩ ප්‍රදේශවාසීන් පවසන්නේ කිඹුලන් බෝවීම ප්‍රදේශය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් සිදුවන බවය. පසුගිය දිනවලදී ගවයන් කිහිප දෙනකු කිඹුලන්ගේ ගොදුරැ බවට පත්වූ බවද එම තත්ත්වය ප්‍රදේශවාසී ජනතාවට දැඩි හිරිහැරයක් බවද ඔවුහු කීය. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කුකුළු ගොවිපළ පවතින බවත් ඒවායෙන් ඉවත් කරන කුකුළු බොකු ඇතුළු අපද්‍රව්‍ය යොදා ඇතැම් පිරිස් ඇම සාදා කිඹුලන් මැරීමේ ජාවාරමක් සිදු කරන බවත් වාර්තා වේ. පසුව කිඹුල් මස් ආහාරය සඳහා අලෙවි කිරීමේ කූඨ ව්‍යාපාරයක් සිදු කරන බව දැගන්නට තිබේ. මේ සඳහා ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙන බවද කියති.

විදෙස් රටවල හා මෙරට ඇතැම් පිරිස්ද කිඹුල් මස් භුක්ති විඳීම සිදු කරති. කිඹුල් මස හරක් මසට සමාන බව ඒවා ආහාරයට ගන්නා පිරිස් කියන අතර එහි රස කුකුළු මස් හා මාළුවලට සමාන බවද කියති.

මේ හේතු නිසා සමහර පිරිස් කිඹුලන් දඩයම් කිරීමට පෙළඹී සිටිති. කිඹුල් වදයෙන් පීඩා විඳින ජනතාව මේ සඳහා කැමැත්තෙන් පසුවන නමුත් සිදුවන ජාවාරම සම්බන්ධව පොලිසිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවිය යුතුය.

I සමන්ත විල්තෙර
පසුබිම් වාර්තා - සුමිත් රණවක