2023 පෙබරවාරි 05 වන ඉරිදා

ලෝකාවසානයට තව තත්ත්පර 90යි!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 68

අයින්ස්ටයින් යුගයෙන් ආ ඔර්ලෝසුව අනතුරු අඟවයි

ලෝකාවසාන දිනයට මුලපුරන මධ්‍යම රාත්‍රිය උදාවීමට තව ඇත්තේ තත්ත්පර 90 කි. දැන් අප ඒ තරමටම විනාශයේ මුව විට කරා ළඟා වී හමාරය. මේ විනාශය මඟහරවා ගන්නවාද නැද්ද යන වගකීමද දැන් ඇත්තේ ලෝකවාසී සකල මිනිස් වර්ගයාගේ ආකල්ප හැසිරීම් රටා සහ චිත්තවේග පාලන හැකියාව මතය. මේ අනතුර ගැන ලෝකය දැනුම්වත් කරන්නට ඉදිරිපත්ව ඇත්තේ ඉහළ පෙළේ සුපිරි විද්වතුන් කණ්ඩායමකි.  

ලෝකාවසානය පිළිබඳ අනතුරු ඇඟවීම වරින් වර ප්‍රකාශනයට පත් කරන මේ පිරිස එමගින් සමස්ත ලෝකයම අනතුරින් මුදාගැනීම සඳහා මිනිසාගේ ආකල්ප චර්යා රටා  ධනාත්මක ආකාරයෙන් උත්තේජනයට උත්සාහ දරති.

න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ තර්ජන, අබිරහස් රෝග වසංගත  සහ දේශගුණික විපර්යාසය  විසින් ලෝකය අන් කවරදාටත් වඩා විනාශයේ අද්දරට තල්ලු කර දමා ඇති බව, මේ ලෝ ප්‍රකට ප්‍රවීණ විශේෂඥයන් පිරිස මෑතකදී නැවත හෙළිදරව් කළෝය.

ලෝකයේ වරින්වර සිදුවන අලකලංචි අනුව දිගු අධ්‍යයනයකින් පසුව මේ පිරිස මේ අන්දමේ අනතුරු ඇඟවීම් නිකුත් කරති. ඒ ලෝකාවසානයට මිනිසා කෙතරම් සමීප කිරීමට ඔවුන්ගේ ක්‍රියා නොනිසි ලෙස බලපා ඇත්දැයි දැනුම් දීමටය.

ඒ අනුව සෑම වසරකදීම, මෙම විශේෂඥයන් කණ්ඩායම මනුෂ්‍යත්වය ලෝකාවසානයට කෙතරම් සමීප වී ඇත්දැයි නිදර්ශනයක් ලබා දීම සඳහා සංකේතාත්මක "ලෝකාවසාන ඔරලෝසුව" නැවත සකසයි. ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුව එහි මැදියම් රැයට ආසන්න වීම යනු ලෝකයේ අවසානය කරා ළඟා වීමකි. ඔවුන් දැන් පවසන්නේ, මේ වනවිට ලෝකාවසානය වෙන කවරදාටත් වඩා අප ආසන්නයට පැමිණ ඇති බවයි.

ඔවුන්ගේ මේ භීතිය දනවන අනතුරු ඇඟවීම ගෙන එන '‘ද බුලටින් ඔෆ් ඇටොමික් සයන්ටිස්ට්ස්’ (පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටිනය) නමැති ප්‍රකාශනය පවසන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් දැනට පවතින තර්ජන වඩාත් අයහපත් අතට හැරී ඇති අතර, ලෝකය "පෙර නොවූ විරූ අනතුරකට" පත්කර ඇති බවයි. මේ හේතුව නිසා සංකේතාත්මකව ලෝකාවසානය සිදුවිය හැකි අන්තිම පුපුරා යාම සඳහා තව ඇත්තේ තත්ත්පර 90ක් තරම් වූ කෙටි කාලයකි. 

ඩූම්ස්ඩේ ඔරලෝසුව බහුවිධ අර්ථ දැක්විම් සහිතව මිනිස් වර්ගයාට සහ මහ පොළොවට සිදුවිය හැකි මහා අනතුර ගැන ප්‍රචාරණයක් ලබා දෙන සංකේතාත්මක ප්‍රකාශනයකි. එනම් එය ලෝකාවසානය ගැන සංකේතාත්මක රූපකයකි. එමෙන්ම  අනතුරු ඇඟවීමේ නිල ලාංජනයකි. එසේම එක්තරා අන්දමකට ලොවම පිළිගත් වෙළෙඳ නාමයකි. මාධ්‍ය ක්ෂේත්‍රය මෙන්ම ජනප්‍රිය සංස්කෘතිය තුළද බහුලව භාවිත වන්නකි. “ඩූම්ස්ඩේ ඔරලෝසුව” ස්ටීවන් කිං සහ පියර්ස් ඇන්තනිගේ නවකතාවල, ද හූ ඇන්ඩ් ද ක්ලැෂ්ගේ ගීතවල සහ වොච්මන් සහ ස්ටෝම්වොච් වැනි විකට චිත්‍ර කතාවලද දක්නට ලැබේ. ඒ අනුව එය පසුගිය වසර 100 තුළ වඩාත්ම පිළිගැනීමට ලක්වූ මිනිසා තැතිගැන්වීමට සමත් ලෝක සංකේතවලින් ප්‍රධාන එකකි.

මෙ වන විට 75 වැනි සංවත්සරයත් සමරා අවසන්ව ඇති මේ කෝපි මේස පොතක පන්නයේ ප්‍රකාශනය, ලෝක සංස්කෘතිය, දේශපාලනය සහ ගෝලීය ප්‍රතිපත්ති කෙරෙහි බලපා ඇති අතරම න්‍යෂ්ටික අවදානම, දේශගුණික විපර්යාස සහ කඩාකප්පල්කාරී තාක්‍ෂණයන් පිළිබඳ සාකච්ඡා සහ උපාය මාර්ග සැකසීමට ප්‍රබල උත්තේජකයක් ලෙස  උපකාරී වේ.

පරමාණුක විද්‍යාඥයන්ගේ බුලටිනය, නමැති මේ ප්‍රකාශනය ඇරඹෙන්නේ 2 වැනි  ලෝක යුද්ධයේ අවසන් වසර කිහිපයක කාලයේදීය. ඒ 1945 දී ඇල්බට් අයින්ස්ටයින් සහ චිකාගෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සමූහනයක් වෙතිනි.  ඔවුන් පළමු පරමාණුක ආයුධ නිපදවීමට උදව් කළ මෑන්හැටන් ව්‍යාපෘතියේ විද්‍යාඥයන්ය. "ලෝකාවසාන ඔරලෝසුව නැතිනම් Doomsday Clock සංකල්පය ඔවුන් නිර්මාණය කර හඳුන්වා දෙන්නේ ඉන් වසර 2කට පසුවය. න්‍යෂ්ටික පිපිරීමකට හෝ ප්‍රහාරයකට පෙර, සූදානම් වීමේදී සිදු කරන ශුන්‍යයට ගණන් කිරීම සංකේතවත් කරමින් මානව වර්ගයාට සහ අපේ ග්‍රහලෝකයට සිදුවන තර්ජන ගැන අනතුරු ඇඟවීමට ලෝක විනාශ ඔරලෝසුව ඔවුහු නිර්මාණය කළහ. 

නොබෙල් ත්‍යාගලාභීන් 10 දෙනකු ඇතුළත් එහි අනුග්‍රාහක මණ්ඩලය සමඟ සාකච්ඡා කර බුලටිනයේ විද්‍යා සහ ආරක්ෂක මණ්ඩලය විසින් සෑම වසරකම ඩූම්ස්ඩේ ඔරලෝසුව සකසනු ලැබේ. මේ ඔරලෝසුව මිනිසා විසින් සාදන ලද තාක්‍ෂණයන් නිසා ඇතිවන ගෝලීය ව්‍යසනයට ලෝකය ගොදුරුවීමේ අවදානම පිළිබඳ විශ්වීය පිළිගත් දර්ශකයක් බවට පත්ව ඇත.

මුලදී මෙය පුවත් ලිපියක් පමණක් විය. පසුව කෝපි මේස සැරසුම් පොතක හැඩරුව ගත් වාර්ෂික සඟරාවක රුව ලැබිණි. දැන් මේ සඳහා වීඩියෝ ප්‍රකාශන වැනි ඩිජිටල් උපක්‍රම යොදා ගනියි.

"ලෝකාවසාන ඔරලෝසුව නැතිනම් Doomsday Clock සඳහා දැනටත් යොදාගන්නා ඇඟ කිලිපොලා යන සංකේත සිතුවම මුල්බුලටිනයේ සම සංස්කාරකවරයා වූ හයිමන් ගොල්ඩ්ස්මිත් - Hyman Goldsmith ගේ ඉල්ලීම පරිදි ප්‍රකාශනයේ සැලසුම් චිත්‍ර ශිල්පිනිය   Martyl Langsdorf විසින් අඳින ලද්දකි. ඇගේ සැමියා මැන්හැටන් න්‍යෂ්ටික බෝම්බ විද්වත් මණ්ඩලයේම සිටි භෞතික විද්‍යාඥයකු වන අතරම න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සහ ඒවායේ විනාශය සැලසෙන කතාබහ අසා සිටි ඇය මුලින් සිතුවමට යුරේනියම් න්‍යෂ්ටික ද්‍රව්‍යයේ සංකේතය යොදාගන්නට සිතුවද පසුව ලෝක විනාශය පවා ගෙන එන්නට හැකි න්‍යෂ්ටික බෝම්බයක පුපුරා යාම ඇරඹෙන්නට පෙර සිදුවන ශුන්‍යයට ගණන් කිරීම ගැන ඇසූ කල මේ අවසාන මිනිත්තුව සංකේත කරන ලෝකාවසාන ඔරලෝසුව නැතිනම් Doomsday Clock නිර්මාණය කළාය.

මුල් දිනවල ඔරලෝසු කටුව චලනය කළ යුතු අවස්ථාව සහ ප්‍රමාණය තීරණය කළේ බුලටිනයේ සංස්කාරක ඉයුජින් රබිනොවිච්ය.

ඔහු රුසියානු භාෂාව චතුර ලෙස දන්නා විද්‍යාඥයෙක් සහ ජාත්‍යන්තර නිරායුධකරණ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් ද විය. ඔහු ලෝකයේ බොහෝ ප්‍රදේශවල රජයන් තුළ සහ ඉන් පිටත විද්‍යාඥයන් සහ විශේෂඥයන් සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටි අයෙකි. මෙම සාකච්ඡා මත පදනම්ව, ඔහු ඔරලෝසු කටුව සැකසිය යුතු ස්ථානය තීරණය කළ අතර බුලටිනයේ සෙසු පිටුවල ඒ සඳහා හේතු පාදක වූ ඔහුගේ චින්තනය පැහැදිලි කළේය.

1973 දී රබිනොවිච් මිය ගිය විට, විද්‍යා සහ ආරක්ෂක මණ්ඩලය බුලටිනයේ වගකීම භාර ගත්හ. එතැන් සිට වසරකට දෙවරක් ලෝක සිදුවීම් සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය පරිදි ඔරලෝසුව නැවත සකසන්නට පියවර ගන්නේ ඔවුන්ය. මේ මණ්ඩලය න්‍යෂ්ටික තාක්‍ෂණය සහ දේශගුණ විද්‍යාව පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති විද්‍යාඥයන් සහ අනෙකුත් විශේෂඥයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් බොහෝ විට රජයන්ට සහ ජාත්‍යන්තර ආයතනවලට විශේෂඥ උපදෙස් ලබා දෙන උදවියය. ඔවුහු නොබෙල් ත්‍යාගලාභීන් 10 දෙනකු ඇතුළත් වන බුලටිනයේ අනුග්‍රාහක මණ්ඩලයේ අදහස් ද ලබා ගනිති.

කාලීනව නියෝජනය වෙනස් වන මේ කණ්ඩායම 1947 දී ප්‍රථම වරට සිදු කළායින් පසු  ලෝකාවසානය ගැන වූ ඔරලෝසුවේ මිනිත්තු කටුව 25 වතාවක් නැවත සකසා ඇත,  2022 දී එය තත්ත්පර 100 විය. දැන් 2023 දී එය තත්පර 100 සිට මධ්‍යම රාත්‍රිය දක්වා තත්ත්පර 90ක් වන තුරු ළඟා කර නැවත සකසා තිබේ. 

දැන් ඉතින් එයින් බලාපොරොත්තු වුවා සේම මේ ජාත්‍යන්තරව පිළිගත් සංකේතය හා එයින් සිදුකෙරෙන අනතුරු ඇඟවීම ගැන දැඩි කතාබහක් ඇරැඹී තිබේ.    

I සුගත් පී. කුලතුංගආරච්චි