2023 ජනවාරි 29 වන ඉරිදා

රතනහිමි ගැන වෙල්ගමගෙන් ජනපතිට අවවාදයක්

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 510

පළාත් පාලන මැතිවරණය තියෙනවද නැද්ද? සතිය පුරා දස අතින් ඇසුණු එකම පැණය එයයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව පක්ෂ මෙන්ම අපේක්ෂකයෝද යම් දෙගිඩියාවකින් සිටියහ. කෙසේ වෙතත් දේශපාලන කරළියේ මත ගැටුම් බැණ අඬගසා ගැනීම්වල හිඟයක් නොවුණි. ඒ අතරේ රහස් කතා සහ කුමන්ත්‍රණ ගැනද කනින් කොනින් අසන්නට ලැබුණි.

පසුගිය බ්‍රහස්පතින්දා හදිසියේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුවක් පැවැතිණි. එහිදී අවධානය යොමුව තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවය. කෙසේ වෙතත් මෙම සභාවේ අලකලංචි රැසක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබුණි. ලද තොරතුරු අනුව එම කතාව අපි ඔබ හමුවේ තබමු.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙම සර්ව පාක්ෂික සමුළුවවට නොපැමිණීම කැපී පෙනුණි. සමගි ජන බලවේගයේ සහභාගිත්වයක් නොවුණමුත්,  රාජිත සේනාරත්න මහතා මෙහි පැමිණ සිටියේය. එසේම දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතා අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් එම්.ඒ. සුමන්තිරන් මහතා මීට සහභාගි විය. ඊට අමතරව කුමාර වෙල්ගම ඇතුළු තවත් පක්ෂ කිහිපයක පිරිස් මෙහි පැමිණ සිටියහ.

සාකච්ඡාවේ ප්‍රධාන මේසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන අය අසුන්ගෙන සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු කිහිප දෙනෙක්ම මෙහි පැමිණ සිටියහ. සාකච්ඡාව ඇරඹුණි.

“අපි ඉක්මනට උතුරු නැඟෙනහිර ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඕනෑ. සංහිඳියාව ඇති කරන්න ඕනෑ" 

මේ ආදී වශයෙන් අරමුණ පැහැදිලි කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කතාව ඇරඹීය. අනතුරුව උතුරේ ගැටලු විසඳීමට සිදු කළ යුතු දෑ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.

ඔහුගේ මූලික අවධානය යොමුවූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳවයි. මෙලෙස විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙවැන්නකි.

 “අපි හැමදාම මේ ව්‍යවස්ථා සංශෝධන ගැන, බලය බෙදීම ගැන කතා කරනවා. කොහොම නමුත් මේ පෙබරවාරි 4 වැනිදා 75 වැනි නිදහස් දින සමුළුවට කලින්ම අපි තීරණයක් ගන්න ඕන. මම ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරනකොට, මම මේ ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නත් ඕනෑ."

අනතුරුව විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා ඇතිවිය. උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට පනතක් ඉදිරිපත් කිරීම,  ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීම, උතුරු නැඟෙනහිර ඉඩම් නිදහස් කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම ආදී කරුණු රුසක් ගැන සාකච්ඡා ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොහොට්ටුව වෙනුවෙන් පළමුව සර්ව පාක්ෂික සමුළුව ඇමතුවේ එහි ලේකම් සාගර කාරියවසම් මහතාය.

“උතුරු නැඟෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධවත්, සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධවත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර සියුම් අධ්‍යයනයක් කරන්න වෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරුත් මේක නොකළේ යම් ‍ හේතුමතයි. ඒ නිසා මේකෙ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. අධ්‍යයනයක් කරන්නේ නැතිව අපිට මුකුත් කියන්න බෑ."

මේ අතර මෙහි සිටි අතුරලියේ රතන හිමි, සරත් වීරසේකර, ඒ.එල්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරණතුංග යන පිරිස විරෝධාකල්පයෙන් කතා කළහ. 

“13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපි විරුද්ධයි. අපි මේකට සහයෝගය ලබා දෙන්නේ නෑ. මේක රට පාවා දෙන වැඩක්."

මෙහි පැමිණ සිටි එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන්, පිල්ලෙයාන්, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න යන අය 13 ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාධනීය ප්‍රවේශයකින් අදහස් දක්වන්නට වූහ. ඒ අනුව 13 ට පක්ෂ විපක්ෂ බව පිළිබඳ වාදයක් සමගින් සර්ව පාක්ෂික සමුළුව නිර්මාණය විය.

“13 වැනි සංශෝධනය කියල කියන්නේ අපි කාගෙවත් පෞද්ගලික දෙයක් නෙවෙයි. එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන දෙයක්. ඒ නිසා මේ ගැන කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කිරීම සහ ක්‍රියාත්මක හෝ නොකිරීම පාර්ලිමේන්තුවේ වැඩක්. පාර්ලිමේන්තුව මේ ගැන තීරණයක් ගන්න ඕනෑ. මම කියන්නේ ඒක කරන්න කියල. කරන්න බැරි නම් නීතිය වෙනස් කරන්න."  

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසද්දී ජනාධිපතිවරයා සමඟ වාදයකට පැටලුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංගය.

“ඔබතුමාට කිසි ජනවරමක් නෑ 13 ක්‍රියාත්මක කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69  ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ත්‍රස්තවාදය නැති කරන්න, බෙදුම්වාදය පිටු දකින්න. ඔබතුමා කොහොමද 13 වැනි සංශෝධනය  සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නෙ. ඔබතුමාට ජනවරමක් නෑ.”

“මට ජනාධිපති වෙන්න පොදුජන පෙරමුණ ඡන්දෙ දුන්නා, ඒ අය විතරක් නෙවෙයි දෙමළ සන්ධානය ඇතුළු තවත් අය ඡන්දෙ දුන්නා. සමහරක් විට ජේවීපී එකත් දුන්නද දන්නෙ නෑ. පොදුජන පෙරමුණටත් වඩා වැඩිපුර ඡන්ද සංඛ්‍යාවක් මට ලැබුණා. ඒ නිසා ඔයාට කියන්න බෑ මට ජනවරමක් නෑ කියලා. ඔබතුමා කොහොමද කියන්නේ ඔබට ජනවරමක් තියෙනවයි කියලා. ඔබත් ජාතික ලැයිස්තුවෙ. මාත් ජාතික ලැයිස්තුවෙ. ඉතින් මට කියන ටිකම තමයි ඔයාටත් කියන්න වෙන්නේ."
ගෙවිඳුට ජනපතිගෙන් ලැබුණේ සැර පිළිතුරකි. මේ අතර රතන හිමි පිළිබඳව කුමාර වෙල්ගම මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ද ගැටුමක් ඇතිවිණි.

“ජනාධිපතිතුමා මේ රතන හාමුදුරුවෝ කියන ඒවා පිළිගන්න එපා, ඇහුම්කන් දෙන්නත් එපා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට රතන හාමුදුරුවොයි, පාදෙණියයි උපදෙස් දීලා තමා කෘෂිකර්මය විනාශ වුණේ. කෘෂිකර්මය විනාශ වුණා. ආණ්ඩුවත් විනාශ වුණා. ඒ නිසා ඔබතුමා මේ හාමුදුරුවෝ කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා."

මෙම ප්‍රකාශයත් සමඟ රතන හිමි ද තරමක් ආවේගයෙන් කතා කරන්නට වූහ.

“මම ඔය කමිටුවල හිටියෙත් නෑ. මම උපදෙස් දුන්නෙත් නෑ. මම රසායනික පොහොරවලට කොහොමත් විරුද්ධයි. ගෝඨාභය රාජපක්ෂ කරපු පිළිවෙළයි වැරදුණේ. ඒ පිළිවෙළට මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි."

අවසානයේ ජනපති මෙම කතාව නවතා දැම්මේය. අතාවුල්ලා 13 ට විරුද්ධ වූ අතර පිල්ලෙයාන් 13 ට පක්ෂව කතා කළේය. මෙම සාකච්ඡාව පිළිබඳව දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළේ මෙවන් අදහසකි.

“මේ ප්‍රශ්නෙ කතා කරන්න ආරම්භ කරපු එක ගැන සතුටුයි. ඒත් කවදාවත් මේකට විසඳුමක් නෑ. ඒ ගැන කනගාටුයි."

ගෙවී ගිය සතියේ කාගේත් අවධානය යොමු වී තිබුණේ මැතිවරණ කොමිසම දෙසටයි. බදාදා මැතිවරණ කොමිසම රුස්වූ අවස්ථාවේදී එහි පැමිණ සිටියේ සාමාජිකයන් දෙදෙනකු පමණි. තවත් සාමාජිකයන් දෙදෙනකු ඊට සම්බන්ධ වී සිටියේ ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමිනි. එක් සාමාජිකයෙක් මෙම රුස්වීමට සහභාගී නොවීය.

ඒ වනවිටත් කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වන බවට ආරංචි රටපුරා පැතිර යමින් තිබුණි. ඒ අනුව දේශය මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතා සම්බන්ධ කර ගතිමු.
''මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අස්වෙනවා කියලා කතාවක් යනවා ඔබතුමා ඉල්ලා අස්වෙනවාද?''

''නැහැ. මම ඉල්ලා අස්වෙන්නේ නෑ. අපි දිගටම කොමිසමේ කටයුතු කරගෙන යනවා. එහෙම ඉල්ලා අස්වන බලාපොරොත්තුවක් නෑ.''

එහෙත් බ්‍රහස්පතින්දා (26) වනවිට මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වූ පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කළේය. බදාදා දිනයේ මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයකට ඇය අත්සන් තබා ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් අවසානයේ පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වූ බවට වන ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ පැතිර යමින් තිබූ ආරංචි තහවුරු කරමිනි. කෙසේ හෝ ඇගේ ඉල්ලා අස්වීමට හේතු වූ කරුණ පැහැදිලි නොවීය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද ඉල්ලා අස්වීමට යන බවට කතාවක් දේශපාලන කරළියේ පැතිර ගියේය. එහෙත් සභාපතිවරයා කීවේ එම තොරතුරු සත්‍යයෙන් තොර බවකි. එසේම මෙම ආරංචිය පිළිබඳව ප්‍රතිචාර දැක්වීම පවා අවශ්‍ය නොවන බව සභාපතිවරයා සඳහන් කළේය.

''මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වුණොත් මොකද වෙන්නේ...?''

බොහෝ දෙනෙක් තුළ ඇති වූ මෙම පැනය, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙතද ඉදිරිපත් විය. මෙම පැනයට පිළිතුරු දීමෙන් හෙම්බත්ව සිටි ඔහු මුහුණු පොතට මෙවන් සටහනක් එක්කර තිබුණි.

''ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපණ වේවිද? මෙයට පිළිතුර නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි. නැවත නැවත බොහෝ දෙනකු  විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පළ කළෙමි.''

දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමට අදාළ ව්‍යවස්ථා වගන්ති මෙහි වැඩිදුරටත් උපුටා දක්වා තිබුණි.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වූ චාල්ස් මහත්මියගේ ඉවත් වීමෙන් කෝප ගත්තෝද සිටියහ. ප්‍රකට මැතිවරණ නිරීක්ෂකයකු වන මංජුල ගජනායක මහතා මෙවන් සටහනක් තැබුවේය.

''ඇය ජීවත්වුවද මින්පසු දරා සිටිනු ඇත්තේ ප්‍රාණය නිරුද්ධ නොවූ අශුද්ධ ආත්මයකි. මෙවැනි පවක් සමා කරගත හැකි ආගමක් මෙතෙක් ලොව පහළව නැත. ආමේන්!''

මැතිවරණ කොමිසමේ කතාව එකම සංදර්ශනයක් බවට පත්වන අතරේ දේශපාලන කරළියේද බොහෝ දෑ සිදුවුණි. කැබිනට් අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා ඉහළ නංවන ආරංචියක් ලැබුණි. ඒ අනුව කියැවුණේ පෙබරවාරි පළමු සතියේ නව කැබිනට් දිවුරුම් දීම සිදුවනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතාට මෙවර කැබිනට් තනතුරු ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අතර කැබිනට් අමාත්‍ය ධූර ලැබෙන පොහොට්ටුවේ පිරිසගේ නම් ඇතුළත් ලැයිස්තුවක් වෙබ් මාධ්‍යයේ හුවමාරුවන්නට විය.

එම ලැයිස්තුවේ එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක යන පිරිසේ නම් ඇතුළත්ව තිබුණි.

මේ අතර සමගි ජනබලවේගයේ නාමයෝජනා සැකසීමේදී ඇති වූ ගැටලු කිහිපයක් පිළිබඳව තොරතුරු කරළියට පැමිණ තිබුණි. දේශපාලන ආරංචි අනුව සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හේතුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ නාමයෝජනා සම්බන්ධව ගැටලුවක් මතුවූ බව සජබ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව කැලණියේ හිටපු විපක්ෂනායකවරයාට නාමයෝජනා ලබාදීම සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි කියවේ. ඔවුන් දෙදෙනා අතර පවතින දේශපාලන ගැටුමක් හේතුවෙන් මෙම නාමයෝජනා කපා හැරීම සරත් ෆොන්සේකා මහතා කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔහුට  නාමයෝජනා ලබාදෙන ලෙසට විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ලැබී තිබුණු බව කියැවේ. මෙම ගැටලුව විසඳීමට පක්ෂයේ ඉහළ තනතුරු දරන්නන් කිහිප දෙනෙක් උත්සාහ කර ඇතැයිද දැනගන්නට ලැබේ.

එම අවස්ථාවේ තමන්ට අවශ්‍ය දේ කරන්නට නොලැබුණහොත් පක්ෂයෙන් ඉවත් වන බවට සරත් ෆොන්සේකා මහතා වෙතින් තර්ජනාත්මක ප්‍රකාශ සිදු වූ බව සමගි ජනබලවේගය ආරංචි මාර්ග පවසයි. සරත් ෆොන්සේකා මහතා මේ දිනවල සමගි ජන ජනබලවේගයේ ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග අනුමත නොකරන බවද වැඩිදුරටත් අසන්නට ලැබේ.

මේ අතර බේරුවල නගර සභාවේ නගරාධිපතිව සිටි මසාහිම් මොහොමඩ් හට සමගි ජනබලවේගය නාමයෝජනා නොලැබීම සම්බන්ධ තොරතුරු වාර්තා වේ. එක්සත් ජාතික පාක්ෂිකයකු වන ඔහු පසුගියවර පොහොට්ටුවට සම්බන්ධ ස්වාධීන කණ්ඩායමකින් තරග කර ජය ලබා ඇති අතර, මෙවර සජබ නගරාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිට ඇත. නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේ ඔහුගේ නම කපා හැර ඇත.

''අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් මට කළා.'' 

ගෙවී ගිය සතියේ ජාතික ජන බලවේගය රට පුරා විවිධ ප්‍රදේශවල රුලි සහ සමුළු පවත්වන්නට විය. බොහෝ පක්ෂ මැතිවරණය කල් යනු ඇතැයි අපේක්ෂාවෙන් යුතුව සිය අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විය පැහැදම් නොකරන ලෙස පවසා තිබුණි. ඇතැම් ආසන සංවිධායකයන් සිය අපේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම මැතිවරණය කල් යනු ඇතැයි කියූ බව අසන්නට ලැබේ.

ජාතික ජන බලවේගයේ තත්ත්වය ඊට වෙනස් විය. මැතිවරණය පැවැත්වීම පිළිබඳ විශ්වාසයකින් යුතුව ඔවුන් විශාල ප්‍රචාරණ කටයුතු සිදු කරන බව පෙනී ගියේය. සමාජ මාධ්‍යයේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විශාල ගැටුමක් නිර්මාණය වී තිබුණි.

මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් ගොනු කළේය. අනුර කුමාර දිසානායක මහතා ජනපතිට තර්ජනය කරන බව ඔවුන් මාධ්‍ය හමුවේ ද පවසා තිබුණි.
“ගෝඨාභය ජනාධිපතිතුමාට මාලදිවයිනටවත් පැනලා යන්න පුළුවන් වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒකවත් කරන්න බැරි වෙයි. එහෙම කියලා අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියලද?”
මෙම පැමිණිල්ල ගොනු කරමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවා පතිරණ බරපතළ චෝදනාවක් අනුර කුමාර දිසානායක මහතා වෙතට යොමු කළේය.

I චමිඳු නිසල්