2023 ජනවාරි 29 වන ඉරිදා

මානව හිමිකම් කොමිසමටත් උඩින් ගිය විදුලිබල මණ්ඩලය

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 95

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මුලසිටම පාර්ශ්ව ගණනාවක් රජයට ඉල්ලීම් සිදු කළේය. එම සමය තුළදී දරුවන්ට රාත්‍රියේ පාඩම් කිරීමට ඇති නිසාත් එය මානුෂීය කාරණාවක් නිසාත් මෙම විදුලි කප්පාදුව අසාධාරණ ක්‍රියාවක් බව බොහෝ දෙනාගේ මතය විය. මීට පාලකයන් වශයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියෝය.

ඊට සැනසිලිදායක පිළිතුරක් ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වෙන නිසා ඒ කාලය තුළදී විදුලි කප්පාදුවක් නොකරන ලෙසට විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ බවත් එසේ නොකරන බවට මණ්ඩලය පොරොන්දු වූ බවත් ය. සැබවින්ම එය දරුවන්ට ලැබුණු ඉතා යහපත් ප්‍රතිචාරයක් විය.

කෙසේ වෙතත් මෙම එකඟතාවය මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් එක්ව ගත් තීරණයක් විය. එහෙත් පුදුමය නම් මහජන උපයෝගිතා කොමිසම වෙත පසුව විදුලි බල මණ්ඩලය දන්වා සිටින්නේ උසස් පෙළ සමයෙත් විදුලි කප්පාදුව සිදුකරන්නට වන බව කියාය. එය පුදුමයට කරුණක් වූ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වෙත විදුලි කප්පාදු කාල සීමාවද මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබුණේය. එහෙත් මහජන උපයෝගිතා කොමිසම ඊට අවසර නොදෙන බවත් විදුලි කප්පාදුව නොකරන ලෙසට ඉල්ලීමක් කරන බවත් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය අමතමින් කීවේය. කොමිසමේ අවසරයකින් තොරව විදුලි කප්පාදුව සිදුකළ නොහැකි නිසා ඊට අවසරයක් ලබා නොදෙන්නේ නම් විදුලිය අඛණ්ඩව හිමිවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියෝය.

එහෙත් පුදුමය නම් එම තීරණයට තඹයකට මායිම් නොකර විදුලි කප්පාදුව උසස් පෙළ ආරම්භක දිනයේම සිදුකිරීමය. මෙම සිදුවීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙන්නක් විය. රටේ දරුවන් වෙනුවෙන් හෝ මෙවැනි සහනයක් ආණ්ඩුවට දීමට නොහැකි නම් ඇති ඵලය කුමක්දැයි බොහෝ දෙනා කීවෝය. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය එය සතයකට මායිම් කළේ නැත.

මේ තත්ත්වය හමුවේ මහජන විරෝධය දිගින් දිගටම එල්ලවන නිසාත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ලවන නිසාත් මානව හිමිකම් කොමිසම විසින් මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලයට දන්වා සිටියේ විදුලි කප්පාදුව අදාළ කාලසීමාවේ සිදුනොකරන ලෙසටය. කෙසේ වෙතත් පසුගිය 23 සහ 24 දිනයන් වලට විදුලි කප්පාදුව පැය 2කට සීමා වුණත් 25 සහ 26 යන දිනයන්වල විදුලිය කප්පාදුව පැය 2යි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබුණේය.

ඇත්තටම එය හතරබීරි කතාවකි. එක පැත්තකින් කොමිසම විදුලිය නොකපන ලෙසට ඉල්ලීමත් තවත් පැත්තකින් විදුලිය කප්පාදුව සඳහා ඉඩදීමත් ඔලුව විකාර වෙන කතාවක් විය. කෙසේ වෙතත් තවත් කතාවක් මේ අතර සමාජයට ආවේ විදුලි බල බණ්ඩලයේ ඉංජිනේරුවන් හරහාය. එනම් අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා පූර්ණ සහායක් ලබාදෙන කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන විශාල ගණනකින් ඉහළ දැමීම ගැනය. එනම් ඔවුන් පැවසුවේ නැප්තා ලීටරයක් පසුගිය කාලයේ 164 ට ලබාදුන්නත් හදිසියේම එය 220 දක්වා ඉහළ දමා ඇති බවය. ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ නොගොස් ඇති මොහොතක මේ ආකාරයෙන් නැප්තා මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීම නිසා උසස් පෙළ සමයේ අඛණ්ඩ විදුලිය ලබාදීමට බාධාවක් ඇතිව බව කියාය. ඇත්තටම එය පුදුමසහගත කරුණකි. එනම් බලධාරීන් මේ සිදුකරන්නේ දරුවන්ගේ පළිගැනීමට බව බැලූ බැල්මට පෙනෙනා දෙයකි. හැම අවස්ථාවේම මාධ්‍ය ඉදිරියේ විවිධ කතා කියන විදුලි බල ඇමැති කාංචන මේ සිදුවීමේදී හතර මායිමේ ආවේ නැත. ඔහු බලාපොරොත්තු වූ විදුලි මිල සංශෝධනය නොවුණ නිසා මෙලෙස පළි ගැනීමක් සිදුකරනවාද යන්න බොහෝ දෙනාගේ මතය විය. එහෙත් එය අප දන්නේ නැත. දන්නේ අමාත්‍යවරයාමය.

වහාම මේ තත්ත්වය හමුවේ ඊට මැදිහත් වූ මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් 25දා සවස මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණේය. ඊට අමතරව තවත් අනුබද්ධ පාර්ශ්ව ගණනාවක්ද කැඳවා තිබුණේය.

ඒ අනුව 25 දා සවස මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව නොකරන බවට අදාළ පාර්ශ්ව විසින් එකඟත්වයකට පැමිණි බවටය. ඒ අනුව අවශ්‍ය ඉන්ධන නිසිලෙස මණ්ඩලයට ලබාදෙන්නත්, ඒ හරහා ඇතිවන අමතර පිරිවැය ඉදිරියේ අයකර ගැනීමට අවසර ලබාදීමටත් ඇතුළු කොන්දේසි කීපයක් හමුවේ එකඟ වූ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය. ඒ අනුව එදින සිට විදුලි කප්පාදුව නතර කර දැමූ බවට එම නිවේදනය හරහා හැඟී ගියේය.

එහෙත් පුදුමය නම් එකී නිවේදන කුඩු පට්ටම් කරමින් විදුලි බල මණ්ඩලය එදින සවසද විදුලිය කැපීමය. එම සාකච්ඡාව සිදුවූ දින නිසා එදින යම් සමාවක් දිය හැකි වුවත් ඊට පසුදින එවන් දෙයක් වේ නම් ඊට සමාවක් නැත. එහෙත් පුදුමය නම් ඊට පසුදිනද විදුලි කප්පාදුව මණ්ඩලය විසින් සිදුකළේය. මහජන උපයෝගිතා කොමිසම පමණක් නොව මානව හිමිකම් කොමිසමේ තීන්දුවලට පවා පයින් ගස විදුලි බල මණ්ඩලය තමන් කැමති දේ සිදුකළේ මේ රටේ මානව අයිතිය වෙනුවෙන් කිසිදු ආයතනයකට කිසිදු දෙයක් කළ නොහැකි බව අඟවමිනි. ඊටත් වඩා මේ රටේ ජනතාවගෙන් තමන්ට ඕනෑම විටක ''ඇරියස් කවර් කරගත හැකි'' බව පෙන්වමිනි. මෙය සිනහ යන කරුණක් වුවත් මේ හරහා මේ රටේ මානව අයිතියට, ළමා අයිතියට ඇති තත්ත්වය ගැන සිතන විට සැබවින්ම කනගාටුවිය යුතු කරුණකි. ඒ සියල්ල සිදුවී ඇතත් විදුලි බල ඇමතිවරයා එක වචනයක් ඒ ගැන කතා කළේ නැත.

විදුලි බිල වැඩිකිරීමේදී ටයිකෝට් දාමාගෙන පාලකයන් මාධ්‍ය ඉදිරියේ රටේ නැති කතා කීවත් මෙවන් ප්‍රශ්න හමුවේ ඔවුන් හතර මායිමේ පෙනෙන්නට නැත. එපමණක් නොව ඔවුන්ට ඒවා දැනෙන්නේද නැත.

කෙසේ වෙතත් 26 වැනිදා රාත්‍රියේ ප්‍රශ්නය උඩට ආවේය. එනම් මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සඳහා කිසිදු අවසරයක් ලබා නොදෙන බව කියාය. ඒ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුවය. එසේ එම නියෝග කඩ කරන්නේ නම් අංක EL/T/09-002 දරන සම්ප්‍රේෂණ බලපත්‍රයේ 30(10)කොන්දේසි උල්ලඝනය කිරීමක් ලෙස සලකා ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ (සංශෝධිත) 48 වැනි වගන්තිය මගින් ප්‍රතිපාදනය කර ඇති නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. පුදුමය නම් එදින රාත්‍රියේද විදුලිය විසන්ධි කළේය. එදින කොමිසම වෙත පැමිණිලි ගලාගෙන ආ බව දැනගන්නට ඇත. එසේ නම් දැන් වැඩේ ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම හමුවේය. ඔවුන් ජනතාව වෙනුවෙන් කුමක්ද කරන්නේ යන්න බැලිය හැක. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා උදෑසන වනවිට මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර සිටියේ විදුලි කප්පාදුව සිදුකරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බවයි. විශේෂයෙන් ස්වාධීන කොමිසම්හි නියෝග පිළිනොපදින ඕනෑම අයකුට අධිකරණයෙන් දඬුවම් දීමේ හැකියාවක් ඇත. ඒ නිසා නියත වශයෙන්ම මේ අවස්ථාවේද ඊට ඉඩක් ඇත. එහෙත් එය කියන තරම් සිදුකරයිද? එතරම් හැකියාවක් තිබේද යන්න අපට තවමත් ගැටලුවකි. අද වනවිට විදුලි බිල ඉහළ නැංවීමේ අමානුෂික ක්‍රියාවට පවා බලපෑම් එල්ල වෙන මොහොතක මෙවැනි දේකට බලපෑම් එල්ල නොවෙතැයි අපට සිතා ගැනීමට ඉඩ කඩක් නැත. කෙසේ වෙතත් රටේ දරුවන් සම්බන්ධයෙන් පවා පාලකයන් මෙවැනි උඩඟු තීරණ ගැනීමේ තත්ත්වය රට තුළ ඇත්නම් ඔවුන්ට විරුද්ධව ජනතාව ඡන්දයෙදී පාඩම කියාදිය යුතුමය.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00