2023 ජනවාරි 29 වන ඉරිදා

විදෙස් අධ්‍යාපනයට දරුවන් යන්නේ ඇයි?

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 254

ශ්‍රී ලාංකික දරුවන් විදෙස්ගත උසස් අධ්‍යාපනයට නැඹුරු වීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. උසස් අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලංකාව තුළ ඇති සීමිත ඉඩකඩ, වර්තමාන ආර්ථික වටපිටාවත් මෙම නැඹුරුව කෙරෙහි බලපා ඇත. එමනිසාම ගුණාත්මක විදෙස්ගත උසස් අධ්‍යාපනයක් ලැබීමේ හැකියාවන් පිළිබඳ වඩාත් සාධනීය ලෙස සොයා බැලීමට අපි තීරණය කළෙමු.

ශ්‍රී ලාංකික දරුවන් විදෙස් අධ්‍යාපනයට යොමුකරන ප්‍රධාන පෙළේ ආයතන ද්විත්වයක ප්‍රධානීන් අප සම්බන්ධ කරගතිමු. ඔවුන්ගේ ආයතනික ක්‍රියාවලිය සහ මෙම ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින ගැටලු පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. මෙරට දරුවන් විදෙස් අධ්‍යාපනයට විශාල වශයෙන් යොමුවීමට හේතුව පිළිබඳවද සංවාදයක් ඇති කර ගත්තෙමු.

මෙම සංවාදයට අප හා පළමු සම්බන්ධ වූයේ චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ සභාපති ඩබ්ලිව්.ඩී. සමන්ත මහතාය. මෙරට දරුවන් උසස් අධ්‍යාපනය සඳහා චීනය වෙත යොමුකරන ප්‍රධානතම ආයතනය එම ආයතනයයි. ඩබ්ලිව්.ඩී. සමන්ත මහතා සඳහන් කරන පරිදි ශ්‍රී ලාංකික දරුවන් විදෙස් අධ්‍යාපනය සඳහා වඩාත් වැඩි වශයෙන් යොමු වීමට හේතුව මෙරට උසස් අධ්‍යාපනය තුළ අවස්ථා හිමිවීමයි.

''ලංකාවේ අපේ දරුවන්ට ඒකක දශමයක අඩුවක් නිසා උසස් අධ්‍යාපනය හොඳ අවස්ථා මග හැරෙනවා. ඒක ඒ දරුවන්ගේ වරදක් නෙවෙයි. මේ රටේ සමාජ ක්‍රමයේ වරදකට තමා දරුවන් වන්දි ගෙවන්නෙ. මේ රටේ අධ්‍යාපන සුදුසුකම් සපුරා තියෙන දරුවෙක්, ලෝකෙ ඕනෑම තැනකට ගිහිල්ලා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලැබීමේ වරදක් නෑ.''

වෙනත් රටවල දරුවන් විදේශ විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් අධ්‍යාපනය ලබයි. මෙරට බොහෝ දෙනාට විදේශීය උසස් අධ්‍යාපනය මැජික් එකක් බවට පත්ව ඇත්තේ, මෙරට විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් රුගෙන ඒමට රජය අසමත්වීම හේතුවෙන් බව ඒ මහතා සඳහන් කරයි.

''අවුරුදු විස්සකට වැඩි කාලයක් වෙනවා අපි උසස් අධ්‍යාපනය සඳහා දරුවන් චීනයට යවන්නට පටන්ගෙන. මේ කාලය තුළ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ උපාධි සඳහා දරුවන් දෙදහසක් පමණ අපි යොමුකරලා තියෙනවා. ඒ අතරින් දහසකට පමණ ශිෂ්‍යත්ව ලබාදීමටත් හැකිවුණා. මියං ජිං විශ්වවිද්‍යාලයට තමයි වෛද්‍ය විද්‍යාව හදාරන්න දරුවන්ව අපි යොමු කරන්නෙ. මේ විශ්වවිද්‍යාලයි 1972දී ශ්‍රී ලංකාව වෛද්‍ය සභාව අනුමත කරපු විශ්වවිද්‍යාලයක්.''

චයින ලංකා එඩියුකේෂන් ආයතනයේ ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ විවිධාකාර ශිෂ්‍යත්ව වැඩසටහන් රුසක් දරුවන් වෙනුවෙන් ලබාදීමට තම ආයතනය සමත්ව සිටින බවයි.

''කොහොම වුණත් චීනයේ පමණක් නෙවෙයි ඕනෑම රටක උසස් අධ්‍යාපනයට යොමු වනවිට එම විශ්ව විද්‍යාලයට ඇති පිළිගැනීම පිළිබඳ දරුවන් දෙමාපියන් සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා විදෙස් ගත වන්නේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අදාළ විශ්වවිද්‍යාලයට තිබේද යන්න පිළිබඳ සොයා බැලීම අනිවාර්යයි.''

මේ අතර ඩබ්ලිව්.ඩී. සමන්ත මහතා අවධාරණය කරන්නේ, උඹලට දරුවන් විදෙස් අධ්‍යාපනයට යොමුවීම රටක් ලෙස සාධනීය ලෙස දැකිය යුතු බවයි. අපි උත්සාහ කළ යුත්තේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට විදෙස් දරුවන් ආකර්ශනය කර ගැනීමට බව ඔහු පවසයි.

''අපි අද පිටරට අධ්‍යාපනය සඳහා දරුවෝ යොමු කළා වගේ අපේ බලාපොරොත්තුව පිටරටින් ලංකාවේ විශ්වවිද්‍යාලවලට දරුවන් දහස් ගණනක් ගෙනඒම. චයින ලංකා එඩියුකේෂන් ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වී එම කටයුත්තට මේ වනවිටත් මුලපුරල තිබෙනවා.''

චීන දරුවන් 26 දෙනෙකු කොළඹ විශ්වවිද්‍යාලයේ මුදල් ගෙවා ඉංග්‍රීසි අධ්‍යයනය සඳහා සිය ආයතනය විසින් යොමුකරනු ලැබූ බව ඒ මහතා සඳහන් කරයි. මෙරට ප්‍රධාන වෛද්‍ය විද්‍යාල හතරට විදෙස් සිසුන් 50ක් ආකර්ෂණය කර ගැනීමට හැකි වුවහොත් මෙරට විශ්ව විද්‍යාල නඩත්තු කිරීමට රාජ්‍ය ප්‍රතිපාදන වැය නොවනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අප මීළඟට සංවාදයට එක් කර ගත්තේ  කිව්.අයි.බී. කැම්පස් ආයතනයේ සභාපති ආචාර්ය අසේල පණ්ඩිත මහතා එක් විය.

''අපි ශ්‍රී ලංකාවේ විදෙස්ගත උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙන දරුවන්ට ශිෂ්‍යත්වයක් මාර්ගයෙන් එම අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අවකාශය උදාකර දෙන ආයතනයක්. අපි දැනට ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ආර්මේනියාව වගේ රටවල අධ්‍යාපනයට දරුවන් යොමුකරනවා, ඉන්ටර්නැෂනල් හයර් එඩියුකේෂන් ස්කෝල් සෙන්ටර් ශිෂ්‍යත්ව සහයෝගීතාවයෙන් මාර්ගයෙන්.''

ආචාර්ය අසේල පණ්ඩිත මහතා පෙන්වා දෙන්නේ දරුවන් විදේශ අධ්‍යාපන සඳහා යොමුකිරීම මනා අවබෝධයකින් සිදුකළ යුත්තක් බවයි. උපදේශන සේවා සපයන ආයතයන තෝරාගැනීමේදී දෙමාපියන් පුළුල්ව සොයා බැලීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.

''උදාහරණයක් විදිහට, අපි 2009, 2012, 2014 වර්ෂවල ජාතික සහ අන්තර්ජාතික වශයෙන් විවිධ ඇගයීම්වලට ලක්වුණු ආයතනයක්. 2017 මුළු යුරෝපයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධ හොඳ උපදේශන ආයතනයක් විදිහට අපි ඇගයීමට ලක්වුණා. ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපන ලැබූ දරුවන්ව වෛද්‍ය උපාධිය සඳහා යොමුකිරීම තමා අපේ ප්‍රමුඛතාව. අපි අවුරුදු 19 පැරණි ආයතයක්.''

වෛද්‍ය උපාධිය උදාහරණ කොට දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, දරුවන් තෝරා ගන්නා සරසවිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. ඇතැම් රටවල විශ්ව විශ්ව විද්‍යාලවලින් උපාධි ලබා දුන්නද, අවම වශයෙන් ඒ රටවල වත් එම උපාධි සඳහා වෘත්තිය පිළිගැනීමක් නොලැබෙන බව අසේල පණ්ඩිත මහතා පෙන්වා දෙයි.

''වෛද්‍යවරයෙක් කියන්නේ මුදල්ම නෙවෙයි. එතැන වෙනම ප්‍රමිතියක් තියෙනවා. අවුරුදු ගණනකට ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් වෙන්න යන්න තිබ්බේ ඔස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල්වලට. ඉන් රටවල් සඳහා ලොකු මුදලක් වියදම් වෙන නිසා තමයි රුසියාව, බෙලරුසියාව වගේ තැන්වලට දරුවන් යොමුවුණේ. ඒ කොහොම වුණත් මෙතැනදී විශ්වවිද්‍යාලය පිළිබඳව දැනගන්න ඕනෑ. එම විශ්වවිද්‍යාලයේ ලබාගන්නා උපාධිය ශ්‍රී ලංකාව ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරනවද, ඒ විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගෙන අපේ රටේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පුළුවන්ද වගේ කාරණා අපි දැන ගන්න ඕනෑ.''

තම ආයතනය විසින් දරුවන් යොමුකරනු ලබන්නේ ආර්මේනියාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයට බව ආචාර්ය අසේල පණ්ඩිත මහතා කියා සිටියි. එම විශ්වවිද්‍යාලය යුරෝපයේ ප්‍රධානම විශ්වවිද්‍යාල සියය අතර ඇතැයි ඔහු පවසයි.
අප අවසාන වශයෙන්  සඳහන් කළ යුත්තේ විදෙස් අධ්‍යාපනය සඳහා රුල්ලට යොමුවීම පළමුව දෙමව්පියන් දරුවන් පුළුල්ව කල්පනා කර බැලිය යුතු බවයි. ප්‍රමිතිය ගුණාත්මක භාවය සියල්ල සලකා අවසන් තීරණයක් ගැනීම යහපත්ය.

I නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00