2023 ජනවාරි 29 වන ඉරිදා

සරසවි ඇඳුරන්ගෙන් අඩක් රට යන සූදානමෙන්

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 105

රටම අවුලකට වැටී ඉන් ගොඩ එන්නට නොහැකිව දඟලන සමයක මෙරට උසස් අධ්‍යපනයේ කේන්ද්‍රස්ථාන වන විශ්වවිද්‍යාලවලින් අසන්නට ලැබෙන්නේ ඉතා අසතුටුදායක පුවතකි. නිදහස් අධ්‍යාපනය ලබා වැඩි දස්කම් දක්වා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට එක්වන පිරිස් අතරින් විශාල සංඛ්‍යාවක් රටේ පවතින අවිනිශ්චිත වාතාවරණය සහ ජිවත්වීමේදී මතුවන බාධක නිසා රටහැර යාමට සූදානමින් සිටීමයි ඒ. දැනටත් බොහෝ දෙනෙක් සංවර්ධිත විදෙස් රටවල පදිංචියට ගොස් ඇත. විශ්වවිද්‍යාල පරිපාලකයන් කිහිප දෙනකු සමඟ කළ කතාබහකදී පෙනී ගියේ රට හැර යාමට සූදානම් වන වැඩිදෙනෙක් තුළ නැවත මෙරටටට පැමිණීමට අදහසක් නැති බවයි. පසුගිය දිනවල සමාජ මාධ්‍යවල මේ බුද්ධි ගලනය ගැන අපූරු කාටුන් සහ අදහස්ද දකින්න ලැබුණි.

මෙරට සරසවිවල ආචාර්යවරුන්ගෙන් සියයට පනහක් පමණ විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවත් ඉන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවදානමකට වැටී ඇති බවත් පසුගිය සති දෙකක කාලයක් තුළ ලංකාවේ විශ්වවිද්‍යාල 17ක් ආශ්‍රය කරගෙන කළ සමීක්ෂණයකින්   හෙළි වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමා බන්නැහැ සඳහන් කරයි. මෙසේ පශ්චාද් උපාධි පවා සම්පූර්ණ කළ සරසවි ආචාර්යවරු   සරසවිවලින් ඉවත්වී යාමේ අවදානම නිසා සරසවි අධ්‍යාපන කටයුතුවලට සැලකිය යුතු බාධා එල්ල විය හැකි බව හෙළිව තිබේ.

ආචාර්යවරු රට හැරයාමට හේතු ලෙස එහිදී සඳහන් කර ඇත්තේ  රටේ ආර්ථික අර්බුදය මෙන්ම වැටුපෙන් අයකරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ජීවන ගැටලු ගණනාවක් නිසා හටගත් කලකිරීම් මත මෙසේ විදේශ ගතවීමට සූදානමින් මේ වනවිටත් අවස්ථා සොයමින් සිටින බවයි. මෙරට බදු ගෙවීමේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බව තම සංගමය ප්‍රකාශ නොකරන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. කෙසේ වුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ  දැඩි අසාධාරණ ආකාරයකින් වැටුපෙන් බදු අය කිරීම ක්‍රියාවට නැංවීම හේතුවෙන් එහි බලපෑම සරසවි ඇදුරන්ට මෙන්ම ඔවුන්ගේ  පවුල්වලට මෙන්ම දූ දරුවන්ටද බලපාන බවයි.

එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අප සමඟ පැවසුවේ බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමාජයේ කැපී පෙනීමට ඔවුන්ට දරන්න බැරිතරම් ණයවී ඇති බවයි. විශාල නිවාස සහ සුපිරි වාහන ලබාගැනීමට මෙසේ ණය වී සිටිති. මේ නිසා වැටුප රු. ලක්ෂ ගණනක් හිමිවුවත් ඉන් අතේ ඉතිරි වන්නේ සුළු ප්‍රමාණයකි. සමහරු මේ නිසා එදාවේල ගතකරන්නේ පවා අමාරුවෙනි. වර්තමාන සමාජ අර්බුදය නිසා ජීවිත තවත් පහළට වැටී තිබේ. ඒ අතරට අලුත් බදුත් පැමිණිවිට ඔවුන්ට ජීවිත්වීම ගැටලුවක් වී ඇති බව සැබෑවකි. නමුත් සරලව ජීවත්වන වැඩිදෙනකුට මේ අර්බුදය විශාල වශයෙන් බලපා නැත.

ලංකාවේ පවතින පහසුකම් යටතේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැක්කේ 40,000ක් පමණි. එනම්, උසස් පෙළ සමත් සිසුන්ගෙන් 4න් 3කට විශ්වවිද්‍යාලයේ දොර වැසේ. මෙසේ තරගකාරී විභාගයකින් විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන්ට ඉගැන්වීමට 5400කට අධික ආචාර්ය මණ්ඩලයක් සිටිති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් අවුරුදු 30-40 තරුණ වයසේ පසුවෙති. විදෙස් ගතවීමේ අවදානම ඉහළ තත්ත්වයක පවතින්නේද මේ පිරිසයි. 

මේ ගැන දැනගැනීමට අප මුලින්ම කතා කළේ රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පර්සි විජේවර්ධනටය:

''අපේ විශ්වවිද්‍යාලයේ පීඨ හයක් තිබෙනවා. වෛද්‍ය, විද්‍යා, කළමනාකරණ අධ්‍යයන, කෘෂි විද්‍යා, සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, තාක්ෂණ පීඨය විදිහට. මේ පීඨවල 260ක පමණ ආචාර්ය මණ්ඩලයක් සේවය කරනවා. මේ අතරින් විදෙස් ගතවීමේ අවදානම ඉහළ තත්ත්වයක පවතින්නේ වෛද්‍ය පීඨයෙයි. පශ්චාද් උපාධිවලට දැනටත් කිහිප දෙනෙක් විදෙස් ගතවෙලා ඉන්නවා. ඔවුන් නැවත ලංකාවට ඒවිදැයි අවිනිශ්චිතයි. අධ්‍යයන නිවාඩු ලබාගෙන රට ගිහින් ඉන්න ආචාර්යවරුන්ගෙන් සමහරු ඒවා දික්කර ගනිමින්  එම රටවලම ඉන්නවා. තවත් සමහරු විශ්වවිද්‍යාලයේ ගිවිසුම්ගත මුදල ගෙවා නිදහස් වී ඒ රටවලම නවතිනවා. දැනට අපේ පීඨයේ ඉන්න ආචාර්යවරු පවා පිටරටවලට යාමට ඇති අවස්ථා හොයමින් ඉන්නේ. ඔවුන් අවස්ථාවක් පැමිණි විට යාමට සූදානම්. වැඩිදෙනෙක් කරන්නේ ඊමේල් යවමින් පිටරට විශ්වවිද්‍යාලවල තමන්ට අවස්ථා හොයන එකයි. එම රටවල පදිංචිවීමේ විශාල නැමියාවක් තමයි පවතින්නේ.'' 

අප රටේ ජනතා බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාවල ආචාර්ය මණ්ඩලයට එක්ව තමන්ගේ දූ පුතුන් වැනි දරුවන් හැරදමා පිටරටවල පර් යේෂණ සහ අධ්‍යයනවලට යාමට කටයුතු කිරීම රටේ ඛේදවාචකයකි. එක් අතකින් උගතුන් රටේ අඩු වූ විට මෝඩයන්ට පාලනය කිරීමට පහසු වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිපදෙනෙක් සමඟ කතාබහ කිරීමේදී අප සමඟ පැවසුවේ වර්තමාන පාලකයන් වෙනම ෆැන්ටසි ලෝකයක ජීවත්වෙමින් ජනතාවට වැදි බණ කියන බවයි. එවන් රටක ජීවත්වෙමින් කාලය නාස්ති කිරීම තමන් දුෂ්කරතා විඳ ලබාගත් උගත්කම අපතේ යැවීමක් බව සමහර ආචාර්යවරු පැවසුවෝය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු තම අදහස් අප සමඟ කීවේ මෙලෙසිනි:

''මේක ලොකු අර්බුදයක් වෙලා තිබෙන්නේ. අපේ කැම්පස් එකේ විශ්‍රාම යාමට තව අවුරුදු 4-5ක් තිබෙන අයත් පසුගිය කාලයේ කැම්පස් එක හැරදමා රට ගියා. කළමනාකරණ පීඨයේ පමණක් පසුගිය කාලයේ 10ක් පමණ රට ගොස් තිබෙනවා. ඉල්ලා අස්වෙලා ගිය පිරිසට අමතරව පශ්චාද් උපාධිවලට ගිය අය ආපසු නොඒමේ අවදානම ඉහළයි. දැනටත් සමහර ආචාර්යවරු ඉන්නවා ආචාර්ය උපාධි අධ්‍යයනය අවසන් කර ලංකාවට නොපැමිණ ඒ රටේම ජීවත්වන. ඔවුන් මේ රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද නිසා විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් තමන් පශ්චාද් උපාධියට ගිය ඕස්ට්‍රේලියාව වැනි රටවලම රැඳී සිටිනවා. නවක ආචාර්යවරු නම් අවස්ථා හොයමින් ඉන්නේ. ලැබුණු ගමන් රට පනින්න.''

''මේකට ප්‍රධාන හේතුව දේශපාලන අස්ථාවරභාවය නිසා රටේ හටගෙන තිබෙන අවුල බව අපි දන්නවා. මොවුන් රට යන්නේ හිතේ තිබුණු පිටරට හීන සැබෑකර ගන්න නොවෙයි. මේ ආචාර්යවරු මෙයට පෙර සැප පහසු ජීවිත ගතකළ අය. නමුත් ජීවන වියදම වැඩිවෙලා නිසා වාහනයට පෙට්‍රල් ගසා ගැනීමට පවා සමහරුන්ට අපහසු වෙලා. ලොකු ණය අරගත් අයට ඒවා ගෙවාගන්න බැරිවෙලා. මිලදී ගැනීමේ ශක්තිය අඩුවෙලා. ඒ මතට ආදායම් බදුත් පැමිණි විට ආදායම තවත් අඩුවෙනවා. එකවර මෙසේ විශාල පිරිසක් රට හැරයාම විශ්වවිද්‍යාල පද්ධතියට ලොකු ගැටලුවක්. ඊටපසු විශ්වවිද්‍යාල කොහොම හරි පවත්වාගෙන යාමට අඩු සුදුසුකම් ඇති අය පවා ගන්න වෙනවා. ඉන් දීර්ඝකාලීනව අධ්‍යාපනය බිඳ වැටෙනවා. 

ආචාර්යවරු රට හැරයාම වයඹ විශ්වවිද්‍යාලයටත් ලොකු ගැටලුවක් වී තිබේ. එහි ව්‍යාපාර අධ්‍යයන සහ මූල්‍ය පිඨාධිපති මහාචාර්ය කුමාර ගමගේ අප සමඟ පැවසුවේ මේ නිසා අධ්‍යයන කාර්යමණ්ඩල රුස්වීම්වලදී පවා හදිසියේ පිටරට යාමෙන් වැළකී රට යන  අදහස තරමක් කල්දාන ලෙස ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවයි. 

''තරුණ ආචාර්යවරු මගෙන් ඇවිත් අහනවා ඔවුන්ගේ පිටරට යාමේ අදහස් ගැන. කළමනාකරණ වගේ ක්ෂේත්‍රවල විදෙස් රටවල අවස්ථා ලබාගැනීම තරමක් පහසුයි. වැඩිදෙනෙක් කියන්නේ ආපසු නොඒමට එම රටවලට යන බවයි. දැනටත් ආචාර්ය උපාධිවලට ගිය කිහිප දෙනෙක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ආපසු පැමිණේවි කියලා. අපේ උපකුලපතිවරයාත් කිහිප අවස්ථාවකදී පීඨ මණ්ඩල රුස්වීම්වලදී ඉල්ලා සිටියා විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමේ ගැටලු ඇතිකරවන සේ පිටරට යාමෙන් වළකින්න කියලා.''

I කුසුම්සිරි විජයවර්ධන