2023 ජනවාරි 29 වන ඉරිදා

පාරට එන බදු සටන

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 95

ගත වූ සතියේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වරාය සේවකයෝ, බැංකු සේවකයෝ ඇතුළු වෘත්තිකයෝ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූහ. ඒ ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පාමිනි. කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබීය. බෙහෙත් හිඟයට විසඳුම් ඉල්ලමින් සහ බදු සංශෝධනයට විරෝධය පෑමක් ලෙස කළු සතියක් වෛද්‍යවරු ද ප්‍රකාශයට පත් කළහ. මීට අමතරව රජයේ පරිපාලන ශ්‍රේණියේ නිලධාරීහු ද නව බදු පනත සම්බන්ධයෙන් විරෝධය පාමින් නිවේදනයක් නිකුත් කළහ.

බදු පනතට එරෙහිව ප්‍රථමයෙන් වැඩවර්ජනයකට අවතීර්ණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. ජනවාරි 20 වැනි සිකුරාදා සිට අඛණ්ඩව සියලු දේශන කටයුතුවලින් ඉවත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු නෙළුම් පොකුණ අසල විරෝධතාවක් ද සිදු කළහ. නමුත් සිසුන්ගේ අධ්‍යාපනයට සිදුවන බාධාව සැලකිල්ලට ගනිමින් අඛණ්ඩ දේශන වර්ජනය අත්හරිමින්, 23 වැනි සඳුදා සිට දේශන කටයුතු නැවත ආරම්භ කළත් අසාධාරණ බදු අය කිරීමට විසඳුම් ලැබෙන තුරු නිල සහ නිල නොවන රැස්වීම් සියල්ල වර්ජනය කිරීමට ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. 

නව බදු පනතට විරෝධය පෑමක් වශයෙන් 23 වැනි දින සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර ඇති වෛද්‍යවරුන්ගේ සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු කළු පටි පැළඳ සේවයට වාර්තා කළහ. එමෙන්ම දිවයින පුරා රෝහල් ආශ්‍රිතව කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය පානු මාධ්‍ය වාර්තා පළ වී ඇත. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රටේ ආර්ථික අර්බුදය නිසා වෛද්‍යවරුන්ගෙන් 25% ක් පමණ විදෙස්ගත වී ඇති බවත් නව බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් 50% ක ප්‍රමාණයක් රට හැර දා යාමේ තර්ජනයක් මතුව ඇති බවත්ය. එමෙන්ම රෝහල්වල පවතින දැඩි බෙහෙත් හිඟයට ද කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස  වෛද්‍යවරු චෝදනා කරති.

23 වැනි සඳුදා දින 5000කට ආසන්න වරාය සේවකයෝ පිරිසක් ද දහවල් කෑම පැයේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවක නිරත වූයේ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඛාන් ඔරලෝසු කණු ඉදිරිපිට කැඳවා තිබූ විරෝධතා ව්‍යාපාරයේදීය. එහිදී වරාය වෘත්තීය සේවක නායකයන් අවධාරණය කළේ මේ ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් ජූලි 09 විරෝධතාව මෙන් තවත් විරෝධතාවයකට තමන් නායකත්වය දෙන බවයි. විරෝධතාව පාලනය කිරීමට පොලිසියට අමතරව හමුදා සාමාජිකයන් ද එම ස්ථානයේ ස්ථානගත කිරීමට ආණ්ඩුවට සිදු විය.

වරාය සේවක විරෝධතාවයෙන් අනතුරුව වරාය අධිකාරියේ පාලනාධිකාරිය සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් කියා සිටියේ මෙවන් අදහසකි, 

“දැන් අපිට තියෙන්නේ ඊළඟ ක්‍රියාමාර්ගවලට යන එක. පාලනාධිකාරියට විසඳුමක් දෙන්න බැරි නම් අකැමැත්තෙන් වුණත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා ආණ්ඩුවේ මේ හිතුවක්කාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරාම විවිධ වෘත්තිකයන් පාරට ඇවිත් ඉන්න බව. අපි පිළිබඳව විශ්වාසය තබන වරාය සේවකයන් සමඟ එකට එකතුවෙලා ආණ්ඩුවේ මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය අපි ආපසු හරවනවා. ඉදිරි සතිය ඒ අර්ථයෙන් තීරණාත්මක සතියක් වේවි.”

බැංකු සේවකයන් නියෝජනය කරමින් ලංකා බැංකු සේවක සංගමය ද නව බදු පනතට විරෝධය පාමින් අත්සන් කළ පෙත්සමක් ඉකුත් 23 වැනි දින ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කළේය. ඉකුත් 10 වැනි දින සිට සියලුම ලංකා බැංකු ශාඛා ඉදිරිපිට විරෝධතා පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කෙරුණි. පෙත්සමට අමතරව සියලුම ලංකා බැංකු සේවකයෝ කළු ඇඳුමින් සැරසී නිහඬ විරෝධතාවක් ද 23 වැනි දින පවත්වා විරෝධය පෑහ. 

ලංකා බැංකු සේවක සංගමයේ, ලංකා බැංකු ලේකම් ධනංජය සිරිවර්ධන මහතා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගැන සඳහන් කරමින් කළ සාකච්ඡාවේ දී කියා සිටියේ මෙවැන්නකි.

“අපි බදු ගෙවීම සම්බන්ධව විරුද්ධ නෑ. බදු සම්බන්ධයෙන් සාධාරණ පදනමක් තිබිය යුතුයි. ආණ්ඩුව බදු ප්‍රතිශතය ඉතාම ඉහළ අගයකට ගෙනත් දාලා. වෘත්තියන්ගේ ආදායම් බරපතළ අර්බුදයට ලක් කරලා, වෘත්තිකයෝ මහ පාරට ඇදල දාන තත්ත්වයකට ඇවිත් තියෙනවා. අපිට විශ්වාසයක් නෑ තාම, අය කරන බදු මොන ආකාරයෙන් ආණ්ඩුව පාවිච්චි කරනවාද කියන එක සම්බන්ධයෙන්. ලංකා බැංකු සේවකයෝ අත්සන් කළ සාමූහික ගිවිසුමත් කඩ කරල, සේවා ගිවිසුමත් කඩ කරලා නීත්‍යානුකූල නොවන අන්දමින් ආණ්ඩුව වෘත්තිකයන්ගේ ශ්‍රමය සූර කන්න කටයුතු කරනවා නම් ඒවාට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නත් ලංකා බැංකු සේවක සංගමය කටයුතු කරගෙන යනවා.'' 

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ද නව බදු ප්‍රතිපත්තිය සමාලෝචනය නොකළහොත් සෙසු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව, වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවට රජයට අනතුරු ඇඟවීය. 

“අලුත් ආදායම් බදු සංශෝධන පනත වැඩ කරන පන්තිය දැඩි අර්බුදයකට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම බැංකු, විදුලි, වරාය, වෛද්‍ය, සෞඛ්‍ය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සේවා මෙමගින් දැඩි අර්බුදයකට පත්වෙලා තිබෙනවා. මේ වන විටත් වරාය සේවා මීට එරෙහිව ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අනෙක් අයත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. මෙම බදු අයකර ගැනීම ඉතාම අසාධාරණයි. රටක් විදිහට මෙමගින් දැඩි අර්බුදයකට යාම වළක්වන්න බැහැ. වහාම ආණ්ඩුව මෙම බදු පනත නැවත සමාලෝචනයක් සිදු කළ යුතුයි. කිසිදු වග විභාගයකින් තොරව කරන මෙම බදු පැනවීම්වලට තවදුරටත් ජනතාව ඉඩ දෙන එකක් නැහැ. වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට වුවත් යාමට සියලු දෙනා සූදානම්.'' යනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍යයට අදහස් දැක්වීය.

මහ බැංකුවේ විධායක නිලධාරින්ගේ සංගමය ද බදු සංශෝධනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබුණි. ඒ මහා භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති වෙත ලිපියක් යොමු කරමිනි. එමෙන්ම රජයේ පරිපාලන නිලධාරින් ද බදු පනත පිළිබඳව කනස්සල්ල පා තිබුණි. රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය අනුව ජනවාරි 01 දින සිට මසකට ලක්ෂයකට අධික වැටුපක් උපයන සියලු දෙනාගෙන් ආදායමෙන් ආදායම උපයන විට 6% සිට 36% දක්වා බදු අයකර ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මකය. මෙම නව බදු ප්‍රතිපත්තියට පාර්ශ්ව ගණනාවකින් විරෝධතා එල්ල වී ඇතත් ආණ්ඩුව සිය ස්ථාවරය තවමත් වෙනස් කරගෙන නැත.

I සකීෆ් සාම්