2023 ජනවාරි 29 වන ඉරිදා

ඡන්දෙට කෝටි ගණන් වියදම් කිරීම පාලනයට ගෙන ආ පනත

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 99

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය 19දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි. අදාළ පනත් කෙටුම්පතින් සෑම ඡන්ද විමසීමකදී හා මැතිවරණයකදී අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම, ඊට සම්බන්ධ හා අනුෂංගික කරුණු  සම්බන්ධයෙන් විධිවිධාන සලසා තිබේ. පනත සම්මත වීමෙන් පසු රෙගුලාසි සෑදීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාව සතු බවද ඒ සඳහා මාසයක හෝ දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහෙත් විපක්ෂයේ මතය වූයේ මෙම නීතිය මගින් මැතිවරණය කල් දැමීමේ ඉඩකඩ නිර්මාණය වන බවයි. මෙම නව නීතිය අනුව මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව අපොහොසත් බැව් පවසමින් කිසියම් පුරවැසියකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ විටකදී අධිකරණය විසින් අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමෙන් පසු මැතිවරණය පැවැත්විය යුතු බවට නියෝග කළහොත් එවිට පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම පනත මගින් මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. ''මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත ගෙන ආවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නොව ජනාධිපතිවරයාගේ සිට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරයා දක්වා සියලුම අපේක්ෂකයන්ගේ වියදම් පාලනය කිරීමටයි. ඔවුන් දරන වියදම්වල විනිවිදභාවය රටේ ජනතාවට දැනගැනීමට අවශ්‍ය බැවින් ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එම පනතේ සඳහන්. වැරදි ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කළොත්, අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් නීති විරෝධීව මැතිවරණ කටයුතුවල යෙදුණු බවට චෝදනා කරමින් දඬුවම් කිරීමට ඒ ඒ මැතිවරණ පනත අනුව බලය ලැබෙනවා. සියලු දෙනාම නැතත් බොහෝ පුද්ගලයන් ජාවාරම්කරුවන්ගේ, කළු සල්ලිකාරයන්ගේ මුදල් වියදම් කරල තමයි මන්ත්‍රීකම් ලබා ගන්නේ. මේ ක්‍රමය නවත්තන්න නීති හදන්න අවුරුදු විස්සක් තිස්සේ සාකච්ඡා කළා මිසක් කවුරුත් ඒක කළේ නැහැ. මේ පනත සම්මත කිරීමෙන් මැතිවරණය කල් යන්නේ නැහැ.''

පාර්ලිමේන්තුව මගින් සංශෝධන සහිතව සම්මත කරගත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් නිසි ආකාරයට සකස් කොට කතානායකවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර ඔහු එහි අත්සන තැබීමෙන් පසු එම පනත ක්‍රියාත්මක වේ. ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව මෙම පනතට අදාළ කටයුතු සම්බන්ධයෙක් ක්‍රියා කරනු ඇත. මෙම කෙටුම්පත මින් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට මතය විමසූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද යම් සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කර තිබිණි. එම සංශෝධන සියල්ලත්, කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ පිළිගත් සියලු යෝජනා හා සංශෝධනත් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් විය. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා මෙම පනත බලනොපාන බවට වන වගන්තියක් ඇතුළත් විය යුතු බවට විපක්ෂය යෝජනා කළද එම යෝජනාව සම්මත වූයේ නැත.

මැතිවරණ වියදම් නියාමන පනත යනු මැතිවරණ වියදම් නැවැත්වීමක් නොව ඒවා නියාමනය කිරීමකි. කිසියම් පුද්ගලයකු මැතිවරණයක් සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය හෙවත් අවසර ලත් මුදල් ප්‍රමාණය නිශ්චය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව වෙතය. ඒ අනුව නාමයෝජනා ලබා දීම අවසන් වී දින පහක කාලයක් තුළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කොමිෂන් සභාව අවසර ලත් මුදල තීරණය කළ යුතු වේ.  

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගනු ලබන උත්සාහයන්හි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් යැයි මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි. ''නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන බව අප තරයේ විශ්වාස කරනවා. එමගින් ධනයට හෝ බලපෑම්වලට යටත් නොවී මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව සැලසෙන බව පනත අධ්‍යයනය කරන විට පැහැදිලි වනවා. මේ පනත පවතින දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි හොඳම පියවරක්.'' යනුවෙන් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණ වියදම් පාලනය කළ යුතු බවට මෙරට විවිධ සංවිධාන හඬ නැගුවේ බොහෝ කාලයක සිටය. මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් පසුගියදා නීතියක් සම්මත කර ගන්නා තෙක් එවැනි නීතියක් රටේ පැවතියේ නැත. 1977ට පෙර පැවැති කේවල ආසන ක්‍රමය සහිත මැතිවරණවලදී ඒ ඒ අපේක්ෂකයන් තම වියදම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා වෙත හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිරවද්‍යව ලබා දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. 1946 ලංකා පාර්ලිමේන්තු ආඥා පනත මගින් අදාළ නීති එවක හඳුන්වා දී තිබිණි. 1978 සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් වූ විට එම නීතිය අහෝසි වී ගියේය. 2005 ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට මුලින්ම අනුමැතිය ප්‍රකාශ කළ රටක් වන්නේ ශ්‍රී ලංකාවයි. මැතිවරණයකදී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, අපේක්ෂකයන් මැතිවරණයට දරන ලද වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීමට හා වියදම් සීමා කිරීමට අදාළව 2016 වසරේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, 1982 අංක 02 දරණ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමේ ආඥා පනත යන පනත් සංශෝධනය සඳහා මැතිවරණ කොමිසම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක්ද සකස් කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය පිළිගැනුණද ක්‍රියාවට නැංවුණේ නැත. 

සමානුපාතික මැතිවරණ ක්‍රමයත් සමඟ නිර්මාණය වූ මනාප පොරයත් සමඟ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ අත්‍යවශ්‍යතාව දැනෙන්නට විය.. තමන්ගේ මනාප වැඩිකර ගැනීම සඳහා අපේක්ෂකයෝ හා දේශපාලන පක්ෂ අනවශ්‍ය ලෙස විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට පියවර ගත්හ. උදාහරණයක් ලෙස 2018 පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ එක්තරා අපේක්ෂකයෙක් මැතිවරණය සඳහා කෝටි 4ක් වැය කර තිබිණි එලෙස වැය කිරීම සඳහා ඔවුහු විවිධ ක්‍රමවලින් මුදල් ලබා ගත්හ. ඔවුනට විවිධ අනුග්‍රහකයන්ගෙන් මුදල් ලැබුණු අතර ඔවුන් බලයට පත්වීමෙන් පසු එම අනුග්‍රාහකයන්ගෙන් බලපෑම් කෙරුණු බව පෙනෙන්නට තිබිණි.. පළාත් පාලන ආයතනවල විවිධ කොන්ත්‍රත් ලබා දීමේදී හා වෙනත් කටයුතුවලදී තමන් සඳහා මුදල් වැය කළ අනුග්‍රහකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සුලබ සිද්ධියක් විය. බොහෝ විට එකී අනුග්‍රහකයන් කටයුතු කළේ ජනතා සුබසිද්ධිය සඳහා නොව තමන් වැය කළ මුදල් යළි උපයා ගැනීමේ අරමුණින් බැවින් ඉන් රටට සහ ජනතාවට යහපතක් වූයේ නැත. ජනතාවට මැතිවරණ ක්‍රමය පිළිබඳවද දේශපාලකයන් සම්බන්ධයෙන්ද ඇතිවූයේ බලවත්  කලකිරීමකි. තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් නරක අතට හැරෙද්දී මැතිවරණ කොමිසම, මැතිවරණ දෙපාර්තමේන්තුව, සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ආදි සියල්ලන්ගේම මතය වූයේ මෙම තත්ත්වය කඩිනමින් කළමනාකරණය කරගත යුතු බවටය.

මැතිවරණ වියදම් නියාමන පනත හේතුවෙන් මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කල්මුණේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා 2023 මාර්තු 9දා මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ සදහා දේශපාලන පක්ෂ 50කට අධික සංඛ්‍යාවක් සහ ස්වාධීන කණ්ඩායම් දහසකට අධික ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ආණ්ඩුව රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණය ව්‍යවස්ථානුකූලව නියමිත පරිදි පැවැත්විය යුතු බවටය. ''2023 වසර සඳහා වන අයවැයෙන් මැතිවරණය සඳහා වෙන් කරල තියෙන්නේ 0.25ක් පමණයි. එක් ඡන්දදායකයකු වෙනුවෙන් වෙන්වන්නේ රුපියල් 594ක් වැනි සුළු මුදලක්. මැතිවරණය පැවැත්වීමට මුදල් වෙන් කළ නොහැකි නම් එය ආණ්ඩුවේ අසමත්කමක්. ඒ නිසා ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දී ආණ්ඩුවට මේ රට පාලනය කිරීමට ඇති සුදුසුකම තහවුරු කළ යුතුයි යනුවෙනි. 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00