2023 ජනවාරි 29 වන ඉරිදා

හදිසියේ සමුගත් ලාබාලම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 185

''එය සිදුවනු ඇතැයි මම අපේක්ෂා නොකළෙමි. මන්ද දේශපාලනඥයන් එතරම් උපායශීලී සහ පරාර්ථකාමී අය වන්නේ කලාතුරකිනි.'' ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහකාර මහාචාර්ය ජෙනිෆර් ලීස්-මාෂ්මන්ට් එසේ පැවසුවේ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පෙබරවාරි මාසය වනවිට රටේ නායකත්වයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශයට සිය විමතිය පළකරමිනි.

ඇය පමණක් නොව ජසින්ඩාගේ රටේ ජනතාව මෙන්ම ලෝකයේ වෙනත් රටවල ජනතාව සහ නායකයන්ද නැවත තේරී පත්වීමට ඉඩක් ඇති තවමත් ගෝලීය වශයෙන් ගරු කරනු ලබන චරිතයක් වූ නවසීලන්ත අගමැතිනියගේ හදිසි ඉවත්වීම සම්බන්ධව සිටින්නේ විමතියට පත්වය. ආර්ඩර්න් මහත්මිය සිය දෙවැනි ධූර කාලය අවසන් වීමට පෙර හදිසියේ ඉවත්වීම රටත් ලෝකයත් මවිතයට පත්කළේ වසර 150කට පසු නවසීලන්තයේ ලාබාලතම අගමැතිනිය වූ ඇය පොප් තරුවකගේ වේගයෙන්    කීර්තිමත් තත්ත්වයට පත් වූ නායිකාවක් නිසාය.

තවදුරටත් වයසට යනතුරු බලයේ සිටිනවාට වඩා වඩාත් හොඳම තරුණ විකල්පයක් රට වෙනුවෙන් තෝරා ගැනීමට ජනතාවට ඉඩ සලසමින් තමන් ඉවත්වීමට සිතූ බව ඇය කියා තිබුණි. මේ ප්‍රකාශය නම් මේ කාලයේ බලය සහ ජනකාන්ත බව තවමත් සිය අත රුඳී ඇති දේශපාලනඥයකුගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ රුඩිකල් ප්‍රකාශයකි.

80 පැන්නත් ජනතා සේවයට යැයි කියමින් බලයේ සිටින්නට දඟලන ලොකු ලොක්කන් සිටින සමයක තවමත් 42 වැනි වියේ පසුවන ඇය සිය දේශපාලනයට සමුදෙන්නේ  ඉතා අඩු කාලයකිනි. ඒ රට කම්කරු පක්ෂයේ නායිකා ධුරය හොබවමින් සිටි ජසින්ඩා, නවසීලන්ත අගමැතිනිය, ලෙස වැඩබාර ගත්තේ 2017 ඔක්තෝබර් 26 දිනය. එතැන් සිට සිය තරුණ චමත්කාරය සහ අවංක, දයානුකම්පිත නායකත්ව විලාසය සමඟින් ඇය ගෝලීය කීර්තිය දිනාගත්තතාය. දළදඬු පිරිමි නායකයන්ට වඩා ඇගේ යෞවන, ස්ත්‍රීවාදී සහ “කරුණාවේ දේශපාලනය” “ජසින්දා-මේනියා” නමින් හැඳින්වෙන නව සංසිද්ධියක් ලෝකයේ දේශපාලනය තුළ නිර්මාණය කිරීමට සමත්  විය. ඇය ට්‍රම්ප් විරෝධී ලිබරල්වාදයේ ගෝලීය ලාංඡනයක් බවට පත් වූ අතර ඇගේ ජනකාන්ත බව නැංවූ එම දැඩි රුඩිකල් ගුණාංගයන්ම, පසුව විස සහිත බෙදීම්වල ඉලක්කයක් විය.   

ඇයගේ නිල කාලය බොහෝ දුරට ගෙවී ගියේ, 2019 ක්‍රයිස්ට්චර්ච්හි ත්‍රස්ත ප්‍රහාරය, ඉන් මාස කිහිපයකට පසු සිදුවූ මාරාන්තික වයිට් අයිලන්ඩ් ගිනිකඳු පිපිරීම සහ ඉන් ඉක්බිති කොවිඩ්-19 වසංගතය ඇතුළු අර්බුද කළමනාකරණය මැදය.

වෛරසය පැතිරීමත් සමඟ නවසීලන්තය සිය දේශසීමා වසා දැඩි සීමා පැනවීය. විශේෂයෙන් මුල්කාලයේ  වසංගතය සම්බන්ධයෙන් ඇගේ මේ දැඩි ක්‍රියාකාරීත්වය  ජන ප්‍රසාදය ලැබූවත්, පසුව  දිගුකාලීන අගුලු දැමීම් සහ එන්නත් විධි විධාන එරට ආර්ථිකයට හානියක් වන සහ පසුබෑමක් ඇති කරන මට්ටමකට පැමිණියේ, ආර්ඩර්න්ට එරෙහි  කුමන්ත්‍රණ පවා පැතිර යමිනි. ඇයට සිය ප්‍රතිපත්ති පවත්වා ගැනීම සඳහා තනිව අරගල කරන්නට සිදුවිය. රටේ ආරම්භක ඉලක්කය නිර්භීත විය. ආර්ඩර්න් මහත්මිය සහ රජයට උපදෙස් දෙන ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයින් අතලොස්සක් වෛරසය තුරන් කිරීමට සහ එය සම්පූර්ණයෙන්ම නවසීලන්තයෙන් බැහැරව තබා ගැනීමට උත්සාහ ගත්හ. රට අගුලු දැමීමක් වෙත යාමට ඇය කටයුතු කළේ අසල්වැසියෙකුගේ මිදුලට වැටුණු ක්‍රිකට් පන්දුවක් ලබා ගැනීම පවා තහනම් කරන තරම් වූ දැඩිබවක් පාමිනි. පසුව වඩා සම්ප්‍රේෂණය විය හැකි ප්‍රභේදයන් පැතිර යාමත් සමඟ ඇය ඉදිරිපත් කළ දැඩි එන්නත් කිරීමේ නියෝගයන් පසුව මිනිසුන් වැඩ කිරීම, ආහාර ගැනීම සහ හිසකෙස් කැපීම වැනි ක්‍රියාකාරකම්වලින් පවා වළක්වන තරම් දැඩි විය. මේ දැඩි එන්නත් මෙහෙයුම පුද්ගල අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස දුටු අභ්‍යන්තර සහ බාහිර බලවේග ඇයට එරෙහිව පුළුල් විවේචනාත්මක විරෝධයක් ඇරුඹූහ. 

පසුගිය පෙබරවාරි මාසයේ මේ ආතතිය උත්සන්න විය. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විරෝධතාවලින් ආශ්වාදයක් ලද විරෝධතාකරුවන් පිරිසක් සති තුනකට වැඩි කාලයක් වෙලින්ටන්හි පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ කඳවුරු බැඳ, කූඩාරම් ගසමින් සහ වාහන ගමනාගමනය අවහිර කරමින් ක්‍රියාන්විතයක යෙදුණහ. පොලීසිය   පෙළපාළිකරුවන් බලහත්කාරයෙන් පලවා හරින ලද අතර, 120කට වඩා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. එවැනි ප්‍රචණ්ඩත්වයට හුරු නොවූ ජාතියක් වන නවසීලන්තවාසීහු එම සිදුවීමෙන් කම්පනයට පත්වූහ. සමහරු පෙළපාලිකරුවන්ටද, තවත් සමහරු පොලීසියට සහ ආණ්ඩුවට දොස් පවරන්නට වූහ.

තමන් නායකත්වය අත්හරින බව කියූ කතාවේදී ඇය කිසිවෙකු විවේචනයට ලක් නොකළ අතර තමන්ට එරෙහි කිසිදු කණ්ඩායමක් නම් නොකළේය. එසේ වුවද තමන්ගේ පාලන කාලය තුළ පීඩනයක් පැවැති බව පිළිගත්තාය. ඇගේ කාලය තුළ වූ ඒ පීඩාකාරී මෙහෙයුම හේතුවෙන් රටේ බහුතරයකගේ දිවි රුකුණ බව පිළිගන්නා බොහෝ පිරිස තවමත් ඇගේ නායකත්වය ගරුකරන අතර ඇය “මිනිසුන්ගේ අතරින් ආ මිනිසෙක්'' ලෙස ඇගැයුමට ලක්කරයි.

නවසීලන්තයේ හැමිල්ටන්හි 1980 ජූලි 26 උපත ලබා 2017 ඔක්තෝබර් මාසයේදී සිය වයස අවුරුදු 37දී, වසර 150කට වැඩි කාලයක් තුළ රටේ ලාබාලතම අගමැති බවට පත්වූ ජසින්ඩා කේට් ලොරෙල් ආර්ඩන්, නවසීලන්ත මෝමන් ආගමික පවුලක දෙවැනි   දියණිය විය. සිය මුල් කාලය කුඩා නගරයක් වන මුරුපාරාහි ගත කළ ඇය පසුව නවසීලන්තයේ උතුරු දූපතේ ඕක්ලන්ඩ් සිට ගිනිකොන දෙසින් පිහිටි මොරින්ස්විල් වෙත ගිය අතර එහිදී ප්‍රාථමික හා ද්විතීයික පාසල් අධ්‍යාපනය ලැබීය. ඇය 1999දී වයිකාටෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගැනීමට පෙර (2001දී), ආර්ඩර්න් කම්කරු පක්ෂය සමඟ ඇගේ සම්බන්ධය ආරම්භ කළාය. 1999දී, වයස අවුරුදු 17දී, ඇය පක්ෂයට සම්බන්ධ වූ අතර, නැන්දා කෙනෙකුගේ සහාය ඇතිව, නිව් ප්ලයිමවුත් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හැරී ඩුයින්හවාන්ගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයට සම්බන්ධ වූවාය. උපාධිය ලැබීමෙන් පසු, ආර්ඩර්න් තවත් කම්කරු මන්ත්‍රීවරයෙකු වන ෆිල් ගොෆ්ගේ පර්යේෂකයෙකු බවට පත්විය. එම අත්දැකීම නවසීලන්තයේ ඉහළම නිලය දැරූ දෙවැනි කාන්තාව සහ ආර්ඩර්න්ගේ දේශපාලන වීරයා සහ උපදේශකයා වන අගමැති හෙලන් ක්ලාක්ගේ කාර්ය මණ්ඩලයේ තනතුරකට පත්වීමට හේතු විය.

2005දී ආර්ඩ්න් නවසීලන්තයේ මධ්‍යම සහ ඉහළ පන්තියේ ළමුන් සඳහා සම්ප්‍රදායික චාරිත්‍රයක් වන ''විදේශීය අත්දැකීමක්'', ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට දිගු -  සංචාරයක් ආරම්භ කළේය. කෙසේ වෙතත්, ලන්ඩන් පබ් එකක හෝ ගබඩාවක වැඩකර පසුව මහාද්වීපයේ සංචාරය කරනවා වෙනුවට, ආර්ඩර්න් බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ කැබිනට් කාර්යාලයේ වසර දෙකහමාරක් සේවය කළේ, වඩා හොඳ රෙගුලාසි විධායකයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළේය. කුඩා ව්‍යාපාර සමඟ පළාත් පාලන ආයතන අන්තර් ක්‍රියාකරන ආකාරය වැඩිදියුණු කිරීම. 2007දී ඇය ඇල්ජීරියාව, චීනය, ඉන්දියාව, ඊශ්‍රායලය, ජෝර්දානය සහ ලෙබනනය වැනි රටවල්  වෙත සංචාරයට ඉඩ සැලසු තනතුරක් වන ජාත්‍යන්තර සමාජවාදී තරුණ සංගමයේ (IUSY) සභාපතිනිය ලෙස තේරී පත්විය.

2008දී වයිකාටෝ දිස්ත්‍රික්කයේ ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියාය. එලෙස වයස අවුරුදු 28දී ආර්ඩර්න් එහි ලාබාලතම සාමාජිකයා ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඇතුළු විය. මේ ආරම්භය ඇය නවසීලන්තයේ 40 වැනි තරුණ අගමැතිවරයා වීම දක්වා වූ වසර 9ක් ගත වූ මේ පෙරළිකාර දේශපාලන ගමනට යොමු කළේය.

I සුගත් පී. කුලතුංගආරච්චි