2023 ජනවාරි 22 වන ඉරිදා

රාජ්‍ය සේවකයන්ගේ ලබන මස වැටුප ලැබේද? නොලැබේද?

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 102

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම පිළිබඳ මේ වනවිට ගැටලුවක් නිර්මාණය වී ඇත. එයට හේතුව ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැතිවීම බව රජය ප්‍රකාශ කරයි. පසුගිය දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවනු ලැබුවේ ඉන්දියාවෙන් ලැබුණු පොහොර තොග ගොවියන්ට අලෙවි කිරීමෙන් ලැබුණු මුදලෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප්‍රකාශ කළේය. 2023 ජනවාරි මස වනවිට මෙම ගැටලුව තවදුරටත් උග්‍ර බවට පත්ව තිබෙන්නේ තවත් අලෙවි කිරීමට දෙයක් නොමැති වීම නිසාය.

2000 වසරේදී රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැයවූයේ රුපියල් බිලියන 78ක් නමුදු, එය ක්‍රමයෙන් වැඩිවෙමින් පැමිණ 2021 වසරේදී රුපියල් බිලියන 1115ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ සංඛ්‍යාලේඛන කියයි. මෙම කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 633කි. 2022 වසරේදී මෙම වියදම තවදුරටත් ඉහළ ගොස් ඇත. දෙසැම්බර්වල සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 141ක් නමුදු මුළු වියදම බිලියන 154ක් වී ඇත. මෙයින් ඍජුවම රාජ්‍ය වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනාව සඳහා රුපියල් බිලියන 118ක් අවශ්‍ය වූ බව සඳහන්ය. අනිවාර්යයෙන් ගෙවිය යුතු දේශීය හා විදේශීය ණය සහ පොලී ගෙවීමට රුපියල් බිලියන 182ක් වැයව ඇති අතර එම මුදල් ගෙවා ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් බව රජය කියයි. ඒ අනුව දෙසැම්බර්වල මුළු වැය බිලියන 336ක් වී ඇත. ආදායමට වඩා බිලියන 195ක් ගෙවීමට සිදුව තිබේ. මේ වනවිට මුදල් මුද්‍රණය කිරීමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තහනම් කර ඇත.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස රජයේ සේවක වැටුප වාර දෙකකින් ගෙවීමට කටයුතු කරන බව රජය කියයි. ඒ අනුව සාමාන්‍ය නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දින හෙවත් මාසයේ 25 වැනිදා ගෙවා මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප සතියක පමණ ප්‍රමාදයකින් ගෙවීමට රජය තීරණය කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නිවේදනය කර තිබේ. මේ පිළිබඳවද රජයේ සේවක සංගම් අතර විවිධ මත පළවෙමින් පවතී.

කෙසේ වුවද ජනාධිපති සහ රජය පසුගිය සමයේ විටින් විට පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන් අකාර්යක්ෂම බවය. එසේම ඇතැමුන් වංචා දූෂණ සහ විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවටද චෝදනා එල්ල විය. තවද රජය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවක සංඛ්‍යාව අධික වන අතර ඔවුන් තමන්ට හිමි පැය 8 සේවය හෝ නිසි පරිදි නොකරන අය බවය. එසේම විශාල ලෙස නිවාඩු ලබාගන්නා අතර ආසියාකරයේ රටවල්වලින් රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම නිවාඩු දෙන රට ශ්‍රී ලංකාව බවටද මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. මේ උත්සාහ කරන්නේ රාජ්‍ය සේවකයන් නොවැදගත් අය බව කියන්නට විය හැකි යැයි සැකයක් පවතී.

මෙම තත්ත්වය තිබියදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය 17දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ සිටින බහුකාර්ය සහායකයන් 35,000ක් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථීර කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. සාමාන්‍ය පෙළ සමත් නැති තරුණ තරුණියන් 35,000 දෙනකු පසුගිය ගෝඨාභය රාජපක්ෂ සමයේ බඳවා ගෙන ඇත්තේ දේශපාලකයන්ගේ ලේඛන අනුව වන අතර සුදුසුකම් නැති ඔවුන් ස්ථීර කිරීමට යාමෙන් රාජ්‍ය සේවක වියදම තවත් වැඩිවන බවට චෝදනා එල්ල වෙයි. මෙලෙස දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරති.

අද උද්ගතව ඇති තත්ත්වය හා රජය යෙදීමට අපේක්ෂා කරන ප්‍රතිකර්ම පිළිබඳ විවිධ සේවක කණ්ඩායම් දක්වන අදහස් මෙසේ දක්වමු.

රාජ්‍ය සේවකයෝ හැම පැත්තෙන්ම තැලෙනවා

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති, රෝහණ ද සිල්වා:

සමස්තයක් ලෙස සැලකූ කල පසුගිය අප්‍රේල් මස සිට අද දක්වා අපි ඉතාම දුෂ්කර කාලයක් තමා ගෙවමින් සිටින්නේ, බරපතල ගැටලු රාශියකට මුහුණු දීමට, රජයටත් වැඩකරන ජනතාවටත් සමස්ත රටටත් සිදුවෙලා තිබෙනවා. ණය ගෙවීමට ඇති හැකියාව අපට අවම වෙලා. අලුතින් ණය ආධාර ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. රට තුළ මුදල් උපයන ආර්ථික යාන්ත්‍රණය දියුණු කිරීමෙන් පසු අපේ ප්‍රතිලාභ ලබාගැනීමට තවත් කල්ගත වෙනවා. මේ අවස්ථාවෙන් ගොඩ ඒම සඳහා රජයට සහය දීම වැඩකරන ජනතාවගේ යුතුකමක් සහ වගකීමක්.

රාජ්‍ය සේවකයන් අන් කවරදාකටත් වඩා මේ වනවිට දුෂ්තරතාවකට පත්වෙලා. දැනටමත් තමන් ලබන සීමිත ආදායමෙන් ජීවත්වෙන්න අපහසුයි. ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. මේ වනවිට පවතින තත්ත්වය ගැන බොහෝදෙනා දැඩි අවධානයෙන් ඉන්නවා. අනාගතයේදී තමන්ගේ වැටුප නැතිවේ යැයි රජයේ සේවකයන් බියෙන් පසුවෙනවා. එසේ සිටින අයගෙන් කාර්යක්ෂම සේවයක් ලබාගැනීම දුෂ්කරයි.

පවතින තත්ත්වයේදී අපේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සීමාවෙලා තියෙනවා. රටේ ආර්ථිකයට ඉතාම සම්බන්ධ මුදල් උපයන අංශවල, ආයතනවල අපේ නිලධාරීන් නැහැ. උදාහරණ ලෙස පැවසුවොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු සහ සුරාබදු ආදී දෙපාර්තමේන්තුවල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් නැහැ. ඒවායේ පරිපාලනය බාරවෙලා තිබෙන්නේ වෙනත් ආයතනගත නිලධාරීන් කණ්ඩායමකටයි. ඒ නිසා අපට ආර්ථිකය මෙහෙයවන්න මැදිහත් වෙන්න අපහසුයි. දුම්රිය, හමුදා, අධ්‍යාපන, විභාග ආදී වැදගත් දෙපාර්තමේන්තුවලද අපේ අය නැහැ. ඒ නිසා අපගේ මැදිහත්වීම් සීමිතයි.

වැඩි ආදායම් උපයන ස්ථානවල අපි නැහැ. නිසි පරිදි ආදායම එකතු නොවේ නම් වැටුප් ගෙවන්න අපහසුයි. ජනතාව නිතරම පුරුදුවෙලා ඉන්නේ රජයට ගෙවිය යුතු බදු සහ ගාස්තු ආදිය ගෙවීම පැහැර හැරීමටයි. මෙය දේශපාලකයන්ටම බාර දිය යුතු නැහැ. ජනතාව ස්වකීය යුතුකම් ඉටුකළ යුතුයි. එසේම රාජ්‍ය සේවයද නිවැරදිව ස්වකීය වගකීම ඉටුකළ යුතුවෙනවා. රජයේ සේවකයන් ස්වකීය වගකීම් නිසිපරිදි ඉටු නොකර සියල්ලම ආණ්ඩුවට බාරදී ඇඟ ගලවා ගැනීම වැරදියි.

එසේම මේ වනවිට ගෙවන්නට සිදුව ඇති අලුත් බදු සහ ගාස්තු නිසා රාජ්‍ය සේවකයන් හිරිහැරයට පාත්‍රවෙලා. ඔවුන්ගේ ජීවන රටාව පෙර පරිදි පවත්වා ගැනීමට බැරිවෙලා. මධ්‍යම සහ පහළ පංතියේ රාජ්‍ය සේවකයන්ට වඩා අප වැනි ශ්‍රේණිවල අයට ගැටලු ඇතිවෙලා. අපි මේ ගැන රජය සමඟ සාකච්ඡා කරනවා. අද පවතින තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ රජය සේවකයන් හා ජනතාව සමඟ සාකච්ඡා නොකර ඔවුන් දැනුවත් නොකර හදිසි තීරණ ගැනීමයි. වැටුප් අඩු කිරීම හෝ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම ගැන හෝ අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමට පෙර රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීම කළ යුතුව තිබුණා. එසේ නොකර හදිසියේ තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම නිසා රාජ්‍ය සේවකයන් කලබලයට පත් වෙනවා. එවිට වෙනත් පාර්ශ්වවලට ඔවුන් තම අපේක්ෂා ඉටුකර ගැනීමට ලෙහෙසියෙන් පාවිච්චි කළ හැකි වෙනවා.

අවිධිමත් බඳවාගැනීම් බරපතළ ගැටලුවක්

හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න පවසන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් උද්ගතව ඇත්තේ රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම උසස් කිරීම ආදිය පිළිබඳ රජයට ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති බව නිසාය. අවිධිමත් බඳවා ගැනීම් පිළිබඳ මෙම රජය පමණක් නොව පෙර පැවැති ආණ්ඩුද වගකිවයුතු බව ඔහු කියයි.

"පසුගිය සමයේ රජය ගත් විවිධ ප්‍රතිපත්ති තීරණ මත බොහෝ දෙනෙක් බඳවා ගත්තා. ඉදිරියට ඇතිවිය හැකි ගැටලු ගැන අවධානය යොමු කළේ නැහැ. විවිධ සේවාවල ආදේශක සහ ස්වේච්ඡා සේවකයන්ට වැන්දඹු සහ අනත්දරු අයිතිය ලබා දුන්නා. පොලිස් උප සේවයේ 20,000කට විශ්‍රාම වැටුප් දී විශ්‍රාම ගැන්වූවා. සිවිල් ආරක්ෂක බලකායේ 40,000කට විශ්‍රාම වැටුප දුන්නා. 28,000ක පමණ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට විශ්‍රාම වැටුප් වරප්‍රසාදය දුන්නා. උපාධිධාරීන් 50,000ක් අදියර 4ක් යටතේ බඳවාගෙන ස්ථීර සේවයට අනුයුක්ත කර විශ්‍රාම වැටුප් අයිතිවාසිකම දුන්නා. අධ්‍යාපන සුදුසුකම් නැති 40,000ක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ බඳවාගෙන වැටුප් ගෙවන්න පටන් ගත්තා. ඕනෑම පත්වීමක් දෙනවිට ඒ අයට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරය සමග එකඟවෙලා තියෙන්න ඕනෑ. මුදල් ප්‍රතිපාදන වෙන්කරන්න ඕනෑ. මේ තැන්වලදී එහෙම කළාද කියලා දන්නේ නැහැ. මෙම බඳවා ගැනීම් රැසක් කළේ දේශපාලන අවශ්‍යතා මතයි. සුදුසුකම් නැති අයද තෝරාගෙන තිබුණා.
ඉතිහාසය පුරාවටම රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙව්වා. 1950 වසරේ සිට 2020 දක්වාම රාජ්‍ය ආදායමෙන් සියයට 10ක් පමණයි විශ්‍රාම වැටුප්වලට වියදම් කළේ. රජයේ වැටුප් සඳහාද සියයට 20-25ක් පමණ වැයවුණා. මේ තත්ත්වය වෙනස් වුණේ කිසිදු ප්‍රතිපත්තියක් නැතිව කරන ලද බඳවා ගැනීම් සහ විශ්‍රාම ගැන්වීම් නිසයි. රාජ්‍ය ආදායම අඩුවීමට රාජ්‍ය සේවකයන් වගකිවයුතු නැහැ. සුදු ලූනු වංචාව, සීනි බදු වංචාව, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණ වංචා නිසයි ආදායම අඩු වුණේ. එම මුදල් ලැබුණා නම් ගැටලු සියල්ල නිරාකරණය වෙනවා. මෙම වංචාවලට ඇතැම් දේශපාලනඥයන් මෙන්ම සේවකයන්ද සම්බන්ධයි. ඒවා ගැන සොයාබලන පාටක් නැහැ.

මේ වනවිට විශ්‍රාම වැටුප් අයැදුම්පත් 25,000ක් නොගෙවා ගොඩගැසී තිබෙනවා. පාරිතෝෂික මුදල් ගෙවීමට නොහැකිව රුපියල් කෝටි 2000ක වවුචර් ගොඩගැහිලා. වසර 2ක සිට විශ්‍රාම පාරිතෝෂික ගෙවීමට බැරිවෙලා. 2016 සිට 2020 දක්වා 1,20,000කට විශ්‍රාම වැටුප් ගෙවන්න බැරිවෙලා. රාජ්‍ය සේවකයන්ට දුන් සියලුම දීමනා සහ පහසුකම නැවතිලා. වාහන ආනයනය කිරීමේ බලපත්‍ර දීමද නවතා ඇති අතර ඉන්ධන දීමනා ආදියද සීමා කරලා. රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් ගත් ණයවලට පොලිය වැඩිවෙලා. ගිවිසගත් පොලියට වඩා වැඩි පොලියක් දැන් අය කරනවා. එවිට ඒ අයට ජීවත් වෙන්න ආදායමක් නැතිවෙනවා.

ආණ්ඩුවේ වැරදි වහගන්න රාජ්‍ය සේවකයා බිල්ලෙක් කරලා

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික තැන්නේ ඤාණානන්ද හිමි:

"රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නැති යැයි පෙන්වන ගැටලුව පසුගිය සමයේ ඇතිවූ ස්වභාවික විපත්වල ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට බලධරයන් උත්සාහ ගන්නවා. එහෙත් එය රජයේ වැරදි මූල්‍ය කළමනාකරණය සහ වංචා දූෂණ නිසා ඇති වූවක්. අපේ රටේ පසුගිය කාලයේ ආර්ථික කොල්ලයක් ඇතිවුණා. තවමත් ඇතිවෙමින් තිබෙනවා. රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් 26 දෙනෙක් වසරකට රටෙන් එළියට යවන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් පමණ වෙනවා. මේ 26 දෙනාම ආණ්ඩුවේ ගජ මිතුරන්. එසේම ප්‍රබල ධන කුවේරයන් කණ්ඩායමක් පසුගිය දශකය තුළ රුපියල් බිලියන 585ක බදු මුදල් නොගෙවා පැහැර හැර තිබෙනවා. මෙම ප්‍රමාණය ආණ්ඩුවේ දත්තවලින් ප්‍රකාශ වෙලා තිබෙනවා. ඇතැම් අයගේ බදු මුදල් රජය විසින් කපාහරිනු ලැබ තිබෙනවා. මෙම ප්‍රධාන කරුණු දෙක පිළිබඳ රජය ගන්න පියවර කුමක්ද? මේවා නිසි පරිදි කළා නම් රට මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ.

අද රජය රාජ්‍ය සේවකයන් බිල්ලෙක් බවට මවා පානවා. එහෙම කරන්නේ ආණ්ඩුවේ ප්‍රබලයන් කළ වැරදි වසා ගන්නටයි. රාජ්‍ය සේවය නිසි පරිදි කළමනාකරණය කළ යුතුයි. එදා සිට අද දක්වාම එය සිදුවෙන්නේ නැහැ. විශාල හමුදා නිලධාරීන් කොටසක් යුද්ධයක් නැතුවත් නඩත්තු කරනවා. මේ අය ක්‍රමයෙන් අඩු කළ යුතුව තිබුණා. දැන් එකවර විශාල ප්‍රමාණයක් ඉවත් කරන්න යනවා. එයින් විශාල අර්බුදයක් පැන නැගිය හැකියි.

I යසවර්ධන රුද්රිගු