2023 ජනවාරි 22 වන ඉරිදා

පිහි පහරකින් නිමා වූ සරසවි ප්‍රේමය

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 321

සාහසික ඝාතන තුනක් එකම දවසේ ඇසීමෙන් අයාලේ යන සමාජයක තරම දැනෙන්නට විය. සරසවියක් පාසලක් හා නාගරික වතු නිවාසයක් ආශ්‍රිතව මේ ඝාතන ත්‍රිත්වය වාර්තා වූයේ ඉකුත් 17 වැනිදාය. කොළඹ සරසවියේ සිසුවියකට කුරුඳුවත්ත තුරඟ තරග පිටියේදී පිහියෙන් ඇන ඝාතනය කිරීමත්, මහනුවර සිල්වෙස්තර විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරක්ෂක නිලධාරියකු ඝාතනය කොට තිබීමත්, මිනීමැරුම් තුනකට හා මත්කුඩු ජාවාරමට එරෙහිව චෝදනා ලැබ ඇප මත සිටි අයකුට පෑලියගොඩදී වෙඩි තබා මැරීමත් මේ ඝාතන අතර වෙයි.

උගත් බුද්ධිමත් විද්වතුන් රැසක් බිහි කරන්නට තෝතැන්නක් වූ කොළඹ සරසවිය ඇසුරේ සිටි විද්‍යාර්ථීන් අතර තරුණ ආදරවන්තයන් දෙදෙනකු සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ සෙනෙහෙබර කතාවක් නොව, මහා නරුම කෙරුවාවකි. ප්‍රේමවන්තයකු සේ පෙනී සිට සිය පෙම්වතිය සාහසික ලෙස ඝාතනය කළ නරුමයා දැන් සියල්ල පාපොච්චාරණය කරමින් සිටියි. මේ සංවේදී සිදුවීමත් සමඟ මීට වසර 31කට පෙර කැලණිය සරසවිය තුළ එකල වඩාත් ආන්දෝලනයකට ලක්වූ ඝාතන සිදුවීම සිහිගැන්වේ.

වර්ෂ 1992 දී පමණ කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ තරුණියකි. ඇය 'මධුවන්ති' නම් විය. ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ ඇය එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලැබූ 'ප්‍රේමලාල්' නම් තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූවාය. වසර දෙකක් පමණ පැවති සබඳතාව අතර මධුවන්ති සිය මව්පිය ආශිර්වාදය මැද වෙනත් තරුණයකු හා විවාහ ගිවිස ගත්තාය. ඇය එසේ සිදු කර තිබුණේ දැඩි ලෙස ආදරයෙන් පසු වූ පෙම්වතාට හොර රහසේය. මේ බව දැනගත් ප්‍රේමලාල් මධුවන්ති විභාගයක් සඳහා පෙනී සිටීමට විශ්ව විද්‍යාලයට පැමිණි මොහොතේ පිහියකින් ඇන කැලණි සරසවි මාවතේදී ඝාතනය කොට තිබිණ. ප්‍රේමලාල්ට එරෙහි නඩු විභාගයේදී ඔහුට මරණීය දණ්ඩනය නියම විය.

මේ ආකාරයේ පිහි ඇනුමක් නිසා පසුගිය සතියේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුවියක වූ චතුරි හංසිකා මල්ලකාරච්චි (24) ඝාතනය ලක් විය. ඇය හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. 

මීට වසර තුනකට ඉහතදී සරසවි වරම් දිනාගත් චතුරි, කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වුවද ශිෂ්‍ය නේවාසිකාගාරයක හෝ නොරැඳී සිය නිවෙසේ සිටම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණියාය. චතුරි විශ්වවිද්‍යාලයට පැමිණි පසු බොහෝ මිතුරු මිතුරියන් ආශ්‍රය කළාය. පසිඳු මධුශංක ඒ අතර සිටි අයෙකි. දෙදෙනා අතර වූ මිතුදම වැඩි කල් නොයා ආදර සබඳතාවක් බවට පත්වූයේ දෙදෙනාටම නොදැනීය. එහෙත් දෙදෙනා අතර බොහෝ විට පෙම් බස් වෙනුවට වාද විවාද, ආරවුල් පැවති බව තතු දන්නෝ පවසති.

පසිඳු මධුශංක නැමැති පෙම්වතා සිය ආදරවන්තිය වූ චතුරි වෙනත් තරුණයන් හා සිනාසීම හෝ කතා කිරීම අනුමත කොට නැත. බොහෝ විට ඒ සඳහා තහංචි දැමීමට ඔහු ක්‍රියා කර තිබිණ. 

මේ අතර චතුරි දින කිහිපයකට ඉහතදී සිය ෆේස්බුක් හා වට්ස්ඇප් ගිණුම්වල ඇයට සිතැඟි පෝස්ටුවක් පළ කළාය. ඊට දැඩි ලෙස විරුද්ධව ඇතැයි කියන පෙම්වතා ඇයට වෙනත් සම්බන්ධතාවක් ඇතැයි කියමින් දොස් නගා ඇතැයි ද කියති.
මෙසේ වරින් වර අනවශ්‍ය ගැටලු මතු කරන පෙම්වතා හමුවේ චතුරි වරෙක පවසා තිබුණේ "ඔයයි මායි අතර හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. අමාරුයි මෙහෙම ඉන්න. අපි මේ සම්බන්ධය නවත්වමු.." කියාය. මේ වචන හමුවේ පසිඳු කල්පනා කරමින් සිට ඇත්තේ තමාට සිය පෙම්වතිය අහිමි වේදෝයි යන්න සිතමිනි. නමුත් තරුණිය එසේ පවසන්නට හේතුව පෙම්වතා දිගින් දිගටම ඇගේ නිදහසට බාධා කිරීම බව තේරුම් ගන්නට ඔහුට හැකි වී නැත.

මෙසේ තිබියදී පසුගිය 17 වැනිදා චතුරි සරසවියට පැමිණියාය. පසිඳු සමඟ එදින පෙරවරුවේ පැවති දේශනයකට සහභාගි වූ ඇය දවල් වන්නට පෙරාතුව ඔහු සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිණියාය. පාර දිගේ එහේ මෙහේ ඇවිද ගිය ඔවුන් ස්ථාන දෙකක මද වෙලාවක් නැවතුණද එතැනින් නැවතත් පිටත්ව තිබුණේ පසිඳුගේ වුවමනාවටය. ඒ අනුව දෙදෙනා යළිත් නැවතී තිබුණේ කොළඹ තුරඟ තරග පිටිය පසුපස පාපන්දු සම්මේලනයට ආසන්න පඩිපෙළක් අසලය. "තවත්නම් මට ඇවිදින්න බෑ.. හරිම මහන්සියි. අපි මෙතනින් නවතිමු.." යැයි යෝජනා කොට තිබුණේ චතුරි විසිනි.

දෙදෙනා ගල් පඩියක් මත ඉඳගෙන පෙම් බස් දොඩන්නට වූහ. වෙනදා විටින් විට කෝප ගන්නා පසිඳු ඒ මොහොතේ නියම ආදරවන්තයකු ලෙස හැසිරීම චතුරිට සැනසීමක් විය. ඒ අතර මොහොතක පසිඳු ආදරයෙන් කියා තිබුණේ "ආ.. ඇස් දෙක වහගන්නකෝ චතුරි.. මට ඔයා සප්‍රයිස් කරන්න තියෙනවා. ඔයා බැලුවොත් හරි නෑ.. අපි ලේන්සුවෙන් ඇස් ගැටගහමු.." කියාය.

එක පයින් කැමැති වූ චතුරි පසිඳු ලවාම සිය ඇස් දෙක ගැටගසාගෙන තිබුණේ ඔහු අත තිබූ ලේන්සුව රැගෙනය. එසැණින් සිය බෑගයේ තිබූ පිහියක් අතට ගත් පසිඳු දෙවතාවක්ම වැරෙන් චතුරිගේ බෙල්ලට අනිනවාත් සමඟම ඇය මර ළතෝනි නැගුවේ දෑස් බැඳි ලේන්සුවද ගලවා විසි කරමිනි. එසැණින් නැගිට දිවගිය පසිඳු ආ ගිය අතක් නොවුණද තරුණියගේ ළතෝනි හඬ ඇසී තිබුණේ අසල සිටි කෙනකුටය. ලේ පෙරමින් වැටී සිටි තරුණිය පිළිබඳව ඔහු කුරුඳුවත්ත පොලිසියට දන්වා තිබුණි. පොලිස් නිලධාරීන් පැමිණ ඇයව රෝහල්ගත කිරීමට උත්සාහ කළද ඒ වන විටත් චතුරි ජීවිතක්ෂයට පත්ව සිට ඇතැයි කියති.

ඝාතනය සිදු වූ ස්ථානයේදී සොයාගැනුණ ජංගම දුරකථනය පසිඳුට අයත් එකකි. ඊට අමතරව ඝාතනය වූ සිරුර දැකගන්නට පැමිණි සරසවි සිසු සිසුවියන්ගේ හා ආචාර්යවරුන්ගේ තොරතුරු අනුව ඝාතනය වූ තරුණිය මෙන්ම සැකකාර ඝාතකයා ද හඳුනා ගන්නට හැකි විය. පසුව සිදු කළ සී.සී.ටී.වී පරීක්ෂාවකදී ඝාතකයා දිව යන අයුරු නිරීක්ෂණය කරන්නට පොලිසිය සමත් විය.

මේ ආකාරයට සැකකරු හඳුනාගත් පොලිසිය ඔහුව සොයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසට ගොස් අත්අඩංගුවට ගනු ලැබීය. ඊට පෙර එම සැකකරු තරුණිය ඝාතනය කොට පලා ගොස් දුම්රියට පැන දිවිනසා ගන්නට සිතා ඇතත් එම අදහස වෙනස් කොට නිවෙසට ගොස් බෑගය, මුදල් පසුම්බිය හා අත වූ දෑ එහි දමා නැවත කොහිලවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට පැන දිවිනසා ගන්නට උත්සාහ කර ඇතැයි පැවසේ. එහෙත් ගඟෙන් ගොඩට පැමිණ ඇතැයි කියන මොහු නැවත නිවෙසට පැමිණ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගමට ගිය පොලිසිය හමුවේ ගම්මුන් කියා තිබුණේ සැකකාර තරුණයා අහිංසකයකු බවය. වසර කිහිපයකට ඉහතදී ගෙල වැළලාගෙන සියදිවි නසාගන්නට උත්සාහ කොට බේරුණු බවද ඔවුහු පවසති. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පවතින විශාදය තත්ත්වය නිසා අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවකි.

කෙසේ වෙතත් පොලිසිය හමුවේ තරුණයා සිදු කළ පාපොච්චාරණයේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

"චතුරි දවසක් කීවා අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ. මේ සම්බන්ධය නවත්වමු කියලා. මම බයෙන් හිටියේ චතුරි මට නැතිවෙයි කියලා. වෙන කෙනකුට නම් කොහොමවත් චතුරි අයිති කර ගන්න දෙන්නෙ නෑ කියලා මම හිතුවා. දවසක් වැල්ලම්පිටිය කඩයකින් පොඩි පිහියක් අරගෙන බෑගයේ දාගෙන හිටියා. එදා කොහොම හරි චතුරිව මරනවා කියලා හිතාගෙන තැන් තුනකට එක්ක ගියා. හැම තැනකදිම කවුරු හරි අපි දකිනවා කියලත් සැක හිතුණා. අන්තිමට තුරඟ තරග පිටියේ පඩිපෙළ ළඟට ඇවිත් සප්‍රයිස් කරන්න කියලා ඇස් බැඳලා පිහියෙන් ඇන්නා." 

තරුණයාගේ මව එදින රාත්‍රියේ පුතා බැලීමට පැමිණ තිබුණේ බත් පාර්සලයක්ද රැගෙනය. ඔහු කිසිවක් නොවූ ලෙස බත් ඇටයක් හෝ ඉතුරු නොකොට ගිල දැමූ බව පැවසුවේ පොලිසියේ නිලධාරියකු විසිනි. මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි තරුණයා තුළ ඇතිවූ අනියත බිය හා සැකය නිසා ඝාතනය සිදු කර තිබෙන බවටත් පොලිසිය සැක කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ මොළය දෙසට ලේ යන නහර දෙකක් කැපීම නිසා වූ අධික ලේ වහනය මත මරණය සිදුව ඇති බවය.

සැකකාර තරුණයා ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඝාතනය වූ තරුණිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අධ්‍යාපනය සම්බන්ධ වීඩියෝ පළ කොට සිය දැනුම බෙදා දෙන්නට කටයුතු කළ දක්ෂ තරුණියකි. ඇයගේ මව පියා දෙදෙනාම යුද හමුදාවේ විශ්‍රාමිකයන් වන අතර පියා හෝමාගමට ආසන්න ස්ථානයක ඖෂධ අලෙවිසලක් පවත්වාගෙන යයි. ඝාතනයට ලක්වූ තරුණිය සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙන බව ඝාතනය සිදුවන තෙක් නිවැසියන් දැන සිට නැත. අත්අඩංගුවට පත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.


I සමන්ත ප්‍රදීප් විල්ෙතර

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02