2023 ජනවාරි 15 වන ඉරිදා

නිදහස් සැමරුවේ 75 ජුබිලියට ලංකාව සැරෙසන හැටි

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 1134

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා 2023 පෙබරවාරි 4 දිනට 75 වසරක් සපිරෙයි.  ජාතික හා ආගමික සමගිය පිළිඹිබු වන අයුරින් 75 වැනි නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04දා ගාලුමුවදොර පිටියේදී ‘එක්ව නැඟිටිමු‘ යන තේමාව ඔස්සේ  උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතය. අනුකමිටු 10 කින් සමන්විත සංවිධාන කමිටුව මගින් නිදහස් සමරු උත්සවයේ සියලු කටයුතු සංවිධානය කෙරේ. විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සහ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පෙළපාලි හා උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැලපෙන කලා අංග ඊට එක් කිරීමට නියමිතය. 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ, වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වැනි වසර යනු සුවිශේෂී අවස්ථාවක් බවය. එය වටහා ගනිමින් ජාතික උත්සවයේ සියලු කටයුතු, නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කරගනිමින්, අඩු වියදමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ගෙන අලුතින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙසට ඔහු ඉල්ලා තිබේ.

75 වැනි නිදහස් සමරු උලෙළට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රුසක් සංවිධාන කර තිබෙන අතර, පාපැදි සවාරි, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලි සහ ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමටද නියමිතය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත. මේ හැර රට පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇත. නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක්ද කර තිබේ.

හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපණ වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක්ද ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ. පෙබරවාරි 4 සහ 5 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර, 75 වැනි නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ. ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද නියමිතය. නිදහස් සමරුවට සමගාමීව මහනුවර නගරයේදී ජනරජ පෙරහරක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. නිදහස් දින තේමාව මූර්තිමත් වන පරිදි ඉදිරිපත් කළ හැකි නර්තන, සරඹ, අවි ආයුධඅංග ඇතුළත්ව වෙස්, උඩරට, පහතරට, සබරගමු නාට්‍ය අංග ද සංගීත නිර්මාණයන් ද කෙටි නාට්‍යය ද අංගම්පොර සංදර්ශන, ආදිවාසි ඉදිරිපත් කිරීම් වැනි විචිත්‍රාංග ඇතුළත්ව මෙම පෙරහර පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වැනිදා සිට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. එය පූර්ණ නිදහසක් නොවූ අතර බ්‍රිතාන්‍ය රජයට මෙරට පාලනයට තවදුරටත් අතපෙවීම් කළ හැකි විය. ශ්‍රී ලංකාවට නිදහස ප්‍රකාශයට පත් කළ දිනයේ පළමු රාජ්‍යතාන්ත්‍රික කාර්යය වූයේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඩ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දීමය. ඉන්පසු අග්‍රාණ්ඩුකාරවරයාද, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා ද ගුවන්විදුලියෙන් ජාතිය ඇමතූහ.

1948 පෙබරවාරි 04 වැනි දින නිදහස හිමිවුවද පළමු නිදහස් උත්සවය පැවැත්වුණේ 1948 පෙබරවාරි 10 කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේය. ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීම නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන උත්සවය විය. එම උත්සවය සඳහා මහනුවර මඟුල් මඩුවේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිදහස් චතුරශ්‍ර භූමියේ නිදහස් සැමරුම් ශාලාව ඉදිකර තිබුණි. මෙදින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ 6 වැනි ජෝර්ජ් මහ රජතුමාගේ බාල සොහොයුරා වූ ග්ලෝස්ටර්හි ආදිපාදවරයාය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු බ්‍රිතාන්‍යයට ගෙන ගොස් තිබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය, ඔටුන්න හා අසිපත ඇතුළු කෞතුක භාණ්ඩ යළි ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒවා එදින එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබිණි.

ප්‍රථම මංගල සභා වාරය පැවැත්වීමේ බලය ප්‍රදානය කෙරුණු ලියවිල්ල ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් කියවන ලදී. ඉන්පසු ආදිපාදවරයා තම සොහොයුරු හයවැනි ජෝර්ජ් රජු විසින් එවන ලද පණිවිඩුය කියවීය.  
එම පණිවිඩයේ මෙලෙස සඳහන් විය. ''බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පූර්ණ නිදහස් ජාතියක් බවට පත් මෙම නව සමාජිකයා මා පිළිගන්නේ හෘදයාංගම සතුටිනි. 

තම අභිවෘද්ධිය උදෙසා ස්වකීය යුතුකම් පූර්ණ ලෙස ඉටු කිරීමට ලංකාවේ වෙසෙන මාගේ ජනතාව සෑම අවස්ථාවකම සුදානම්ව සිටින බව මම දනිමි. එම යුතුකම් ඉටුවන තුරු ඔබේ නව වගකීම් මනාව ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබ සාමයෙන් හා සෞභාග්‍යයෙන් වැජඹෙනු ඇතැයි යන්න මගේ ප්‍රාර්ථනයයි'' යනුවෙන් එහි සඳහන් විය.

එතෙක් මෙරට ගායනා කෙරුණු බ්‍රිතාන්‍ය ජාතික ගීය වෙනුවට සිංහල ජාතික ගීයක් එදින ගායනා කෙරිණි. ඒ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය” යන ගීතයයි. එය ගම්පොළ පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමි විසින් රචනා කරන ලද්දක් විය. එහි සංගීතය ලයනල් එදිරිසිංහ මහතා විසින් නිර්මාණය කෙරිණි. 1949 නිදහස් උත්සවයට එම ගීතය ගායනා නොකෙරුණු අතර නව ජාතික ගීයක් එම වසරේ සිට යොදා ගැනිණි.  ඒ 1940 වසරේ ආනන්ද සමරකෝන් මහතා රචනා කර තිබූ “නමෝ නමෝ මාතා” නමැති ගීතයයි. 1951 නොවැම්බර් 21 දින සිට එය නිල ජාතික ගීය ලෙස පිළිගැනිණි. එහෙත් එහි පළමු අක්ෂරය අපාය අක්ෂරයක් ලෙස සැලකීම හා අනිටු ගණයක් ලෙස සැලකීම හේතුවෙන් පසුව එය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් විය.
නිදහස ලැබීමෙන් පසුවද අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1947 ප්‍රකාශයට පත් කරන ලද සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජ ආඥා හා නියෝග මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිදහස් ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි විවිධාකාර බලපෑම් කිරීමට අවස්ථාව සලසාගෙන තිබිණි. ඒ අනුව ව්‍යවස්ථාව විධායකය හා අධිකරණය යන සියලු ක්ෂේත්‍රවලට මැදිහත්වීමේ බලතල බ්‍රිතාන්‍ය ආණ්ඩුව සතු විය. එම තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ බැවින් 1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව 1972 මැයි 22 දින පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් ඩොමීනියන් තත්ත්වයන් සම්පූර්ණයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයක් බවට ප්‍රකාශ කරනු ලැබීය. 

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එතෙක් ක්‍රියාත්මක වූ ඇතැම් කටයුතු වෙනසකට භාජනය වූ අතර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්ය යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කෙරිණි. අග්‍රාණ්ඩුකාරවරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි වී ඒවාට අයත් බලතල ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබීය. අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට විධායක බලතල රහිත ජනාධිපති ධුරය ස්ථාපිත විය. 1977 අති විශාල ජනවරමකින් බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. එය දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් කෙරිණි. එතෙක් පැවැති නාමික ජනාධිපති ධුරයද පූර්ණ විධායක බලයක් සහිත ජනාධිපති ධුරයක් බවට පත් විය.
නිදහස ලබා මේ වන විට වසර 75ක් ගතවී තිබේ. 6 වැනි ජෝර්ජ් රජු මෙරටට ඩොමීනියන් නිදහස ලබා දෙමින් ප්‍රකාශ කළ පරිදි ජනතාවට සාමය, සෞභාග්‍යය එම 75 වසර තුළ අත්කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවීද? මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ දරුණු අගාධයකය. 75 වැනි නිදහස් උත්සවය සාමාන්‍ය නිදහස් දිනයක් ලෙස නොව විශේෂ අවස්ථාවක් ලෙස සලකන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියද ජනතාවට එසේ සැමරිය හැකිදැයි යන්න ගැටලුවකි. ජනතාව ඉල්ලා සිටින්නේ එදා වේල හොයාගන්නවත් බැරි කාලේ නිදහස් උත්සවයට විශාල මුදලක් වියදම් නොකර එම මුදලින් ජනතාවට සහන සලසන්නට කටයුතු කරන ලෙසටය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00