2023 ජනවාරි 15 වන ඉරිදා

පේදුරුතුඩුවේ තල් රා ආප්ප කඩේ

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 322

පටු පාරකි. පාර දෙපැත්තේම එක පෙළට හිච්චි පහේ පැරැණි ගෙවල්ය. එක එක ජාතියේ කොල්ලො කුරුට්ටෝ සල්ලි කොළ ගුලි කරගෙන තාප්පයක් තාප්පයක් ගානේ හිටගෙන සිටින දසුනකි. තවත් සමහරු තාප්ප ළඟ බිම ඉඳගෙන සිටිති. මෙලෙස බොහෝ දෙනා සවස් යාමයේ තාප්ප ගානේ සිටිමින් කුමක් කරන්නේදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවෙයි. මෙහි සැබෑ තතු අනාවරණය කර ගැනීමට අපි කොළඹ සිට පේදුරුතුඩුව බලා ගමන් කළෙමු.

පේදුරුතුඩුව ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර වන්නේය. එය කොළඹ සිට කිලෝමීටර් 400 ක දුරින් පිහිටා තිබේ. යාපනයේ සිට කිලෝමීටර 35 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. පේදුරුතුඩුව නගරයට පැමිණි අපි මහවීදියේ පිහිටි පත්තිරකාලි කෝවිල් වීදිය දිගේ ගමන් කළෙමු. පටු මාර්ගයක් දිගේ මීටර් 300 ක් පමණ ඇවිද ගිය අපට අතුරු සිදුරු නැති මාර්ගය දෙපස තාප්පවල සිදුරු තිබෙන අයුරු දැකගත හැකි විය. මාර්ගයේ එම තාප්ප සිදුරු අසල බොහෝ පිරිස් සිටගෙන සිටින අයුරු ද දැකගත හැකි විය. එම තාප්ප සිදුරුවලින් පාර්සල් එළියට ලබා දෙයි. සිදුරු අසල සිටින පුද්ගලයන් එම පාර්සල් රැගෙන පිට වී යයි. අපගේ ප්‍රශ්නය තව තවත් උග්‍ර විය. ඔවුන් සමඟ අපත් එහි සිටගත්තේ මෙම මහා අනාවරණය රටටම පැවසීමේ මහත් බලාපොරොත්තුවකිනි. තාප්ප සිදුරු අසලට ළං වෙත්ම දැකගැනීමට හැකි වූයේ අහෝ! එකිනෙකා රැගෙන යන පාර්සල්වල ඇත්තේ ආප්ප බවය.

පේදුරුතුඩුවේ ඔඩක්කරෙයි නගරයේ වෙළෙඳපොළ අසල පැරැණි පටු මාර්ගය එදා පටන් අදටත් ප්‍රචලිත වනුයේ පේදුරුතුඩුවේ ආප්පවලටය. එදා තරමටම ප්‍රචලිත නොවුණත් අදටත් බොහෝ දෙනා ආහාරයට ගන්නා ආප්ප යාපනයේ ප්‍රසිද්ධ වීදි ආහාරයකි. මේ කියන්නට යන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර පේදුරුතුඩුවේ අමුතු සවුන්දර කතාවක්ය.

රට පුරා මොන තරම් ආප්ප කඩ තිබුණත් පේදුරුතුඩුවේ ආප්පවලට ඇත්තේ අමුතුම ඉල්ලුමකි. පේදුරුතුඩුවේ කොල්ලො කුරුට්ටන් තාප්ප ළඟ පොරකන්නේ ආප්ප කන්න පෝලිමටය. 2015 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියන කල් ආප්ප යනු රාජකීය කෑමක් යැයි මෙරට වැසියෝ දැන නොසිටියහ. ඒ තරමට කොයි කා අතරත් ආප්පවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 

පේදුරුතුඩුවේ ඔඩක්කරෙයි ප්‍රදේශයේ පටු මාර්ගයක තාප්පයෙන් තාප්පයට ඇත්තේ පොඩි පොඩි ආප්ප කඩය. ඒ සෑම කඩයකම පාහේ ආප්ප විකුණනුයේ නිවෙසේ තාප්පයේ හදාගත් කුඩා සිදුරකිනි. තාප්පයේ ඇතුළු පැත්තේ කාන්තාවෝ ආප්ප පුච්චති. එම තාප්පයේ සිදුර ළඟ වට්ටියක් තබා තිබේ. ලිපෙන් බාගන්නා ආප්ප එම වට්ටියට දමයි. මෙය පේදුරුතුඩුවේ ඔඩක්කරෙයි නගරයේ වෙසෙන පාරම්පරික වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයකි. කාලාන්තරයක පටන් පරම්පරා දෙක තුනක් මේ වනවිට මෙම රුකියාවේ නිරත වී සිටිති. පේදුරුතුඩුවේ ආප්ප පුච්චනු ලබන්නේ කාන්තාවන් විසිනි. මෙම කඩවල වඩාත්ම ප්‍රසිද්ධ ආප්ප සහ වඩේවලටය. ඔඩක්කරෙයි වීදීයේ අතීතයේ මෙවැනි ආප්ප කඩ 15 ක් පමණ තිබී ඇති අතර මේ වනවිට ඉතිරිව ඇත්තේ කඩයක් දෙකක් පමණකි. ආප්ප මෙන්ම පේදුරුතුඩුවේ වඩේ එම ප්‍රදේශයටම අනන්‍ය වූ ආහාරයකි. ආප්ප පිපීමට අපේ රටේ බොහෝ දෙනා ඊස්ට් යොදා ගත්තද පේදුරුතුඩුවේ ආප්ප සෑදීමේදී ආප්ප පිපෙන්නේ තල් රා සාරයෙනි. ආප්ප පිපෙන්න තල් රා යොදාගන්නවා කියා අසන්නට ලැබීමත් වෙනස් කතාවකි. උතුරුකරයේ තල් අරඹේ වැඩෙන තල් ගසෙන් ලබාගන්නා සාරයෙන් නිපදවනු ලබන තල් රා ආප්ප පිපීමට යොදා ගනී.

විශාල ආප්ප තාච්චියක රතු කැකුළු හාල් පිටිවලින් ආප්ප හදන්නේ පැරැණි ක්‍රමයට උඩිනුත් යටිනුත් ගින්දර දමාය. එනම් ආප්ප මිශ්‍රණය දැමූ තාච්චිය ලිප තබා එම තාච්චිය උඩින් පොල්කටු ගිනි අඟුරු දැමූ හට්ටියක් තබයි. එහිදී ලිපේ ගින්දරෙන් මෙන්ම තාච්චියට ඉහළ උණුසුමින්ද ආප්පයේ උඩ යට හොඳින් පිච්චෙයි. 

සුදු ආප්ප, කිරි ආප්ප ඇති අතර සීනි සහ පොල් කිරි යොදමින් කිරි ආප්ප සාදනු ලබයි. හැමෝම ආප්ප කෑමට පුරුදු වී ඇත්තේ ලුණුමිරිස් සමඟය. එහෙත් පේදුරුතුඩුවේ සුදු ආප්ප කෑමට ලබා දෙනුයේ ලුණුමිරිස්වලට අමතරව පොල් සම්බෝල සහ වම්බටු වෑංජනයකි.

එහෙත් මෙය පේදුරුතුඩුවට අනවසර ක්‍රියාවක් නොව අවසර ක්‍රියාවක් වන්නේය. 
ආප්ප වෙළෙඳාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් අප සමඟ මෙසේ පැවසුවේය.

“මේ ආප්පවලට ඉස්සර නම් ලොකු ඉල්ලුමක් තිබුණා. දැන් දැන් රටේ තත්ත්වය එක්ක ඒ ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ආප්පයක් රුපියල් 10 ක් වැනි මුදලකට ලබා දුන්නේ. එක කාලයකදී ආප්ප විකුණන ක්‍රමයට මහජන පරීක්ෂකවරුන්ගෙන් යම් යම් විරෝධතා මතුවුණා. ආප්පවල පිරිසුදුකම නැතිවෙයි කියලා. ඉස්සර කඩ 16ක් වගේ තිබුණත් දැන් තියෙන්නේ කඩ එකක් දෙකක් විතරයි. ඉතුරු කඩ වැහිලා ගිහින්. ඉල්ලුමත් අඩුවෙලා දැන්.”

සාම්ප්‍රදායික පාරම්පරික රුකියාවක් මේ වනවිට නැතිවී ගොසිනි. පේදුරුතුඩුවේ ඔඩක්කරෙයි ප්‍රදේශයේ සංචාරය කරන්නකුට අදටත් මෙම තල් රා මුසු ආප්පවල රස බැලීමට හැකි වන්නේය.

I සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00