2023 ජනවාරි 08 වන ඉරිදා

පරණ පුරුදු දේශපාලනයෙන් ඈත් විය යුතු ගමේ ආණ්ඩු

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 51

පළාත් පාලන මැතිවරණය සඳහා දින යෝජනා වී ඇත. 2018 වසරේ පොබරවාරි මාසයේදී පළාත් පාලන ආයතන 340ක නියෝජිතයන් 8327ක් තෝරා ගැනීමේ ඡන්දය පැවැත්විණ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්දයේදී වැඩි බලයක් ලබාගත්තේය.  බිම් මට්ටමේ ශක්තිය මහ මැතිවරණයකදී ගැම්මක් සපයයි. මෙරට දේශපාලන පක්ෂ පළාත් පාලන ඡන්දයේදී ජයග‍්‍රහණය ලබාගෙන එතැනින් පන්නරය ලබා ඉදිරියට ගමන් කරන්නට සූදානම්ය. පළාත් පාලන ආයතන දේශපාලන පොර පිටියක් විය යුතු නැත. නගර සභාවේ හෝ සුළු නගර සභාවේ සභිකයෙකු දේශපාලනයෙන් යැපෙන්නෙක් විය යුතු නොවේ. ප‍්‍රදේශයේ අවශ්‍යතා සොයා පොදු පහසුකම් නැංවීමට කැපවීමෙන් ක‍්‍රියාකළ යුතුව ඇත.

වර්තමානයේ මේ ක‍්‍රමය විකෘති වී තිබේ. පළාත් පාලන ඡන්දයට තරග කරන නියෝජිතයෝ එය තමන්ගේ පළමු පියවර සේ කල්පනා කරති. ගමේ අවශ්‍යතා සොයාබැලීම කෙසේවෙතත් පළාත් සභාවට, මහ මැතිවරණයකට සූදානම් වෙති. සිස්ටම් වෙනස් කරන සේ බලකරන ලද ජන කොටස මෙහි ඇති පරතරය දකී. දේශපාලන වෘත්තියට ඇතුළුවන එයින් යැපෙන පළාත් පාලන ක‍්‍රමය ජනතාවට එපා වී තිබේ. මහජනතාවට උචිත, ග‍්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් පාලන ක‍්‍රමයක් රටට අවශ්‍යව ඇත. 2023 පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ අරමුණ ගම නගාසිටුවීම බව සඳහන් කළ යුතුව තිබේ.

• අරමුණට පටහැනි ව්‍යුහයක්

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය පරිපාලන ව්‍යුහයේ මූලාරම්භය යටත් විජිත කාලය දක්වා දිගහැරේ. 1818දී පමණ ගමේ නායකයන් තෝරා පත්කර ඔවුන්ට ස්වේච්ඡාවෙන් වැඩකර ආණ්ඩුවේ ඒජන්තවරුන් සමග සම්බන්ධය ඇතිකර තිබුණි. පසු කාලීනව කෘෂිකර්මය හා වාරි කර්මාන්තය අළලා වෙල් විදානේ වැනි තනතුරු බිහිවිය. නිදහස ලැබීමෙන් පසු 1952දී ගම් සභා, නගර සභා වශයෙන් පළාත් පාලන ක‍්‍රමය හඳුන්වා දෙන්නේ ජනතාවගේ පරිපාලනයේ හා සංවර්ධනයේ පහසුවටය. පසුව 1978දී සංවර්ධන සභා ක‍්‍රමයක් හඳුන්වා දුන් නමුත් එය සාර්ථක එකක් වූයේ නැත. දැන් පවතින ක‍්‍රමය නොයෙක් සංශෝධන මැද ග‍්‍රාමීය පරිපාලන ඒකකය වශයෙන් ස්ථාපිත කරන නමුත් මුල් කාලයේ තිබුණ ග‍්‍රාමීය නායකත්වය වෙනුවට දේශපාලන නායකත්වයක් ඇති කර තිබේ. මාධ්‍යවල පළ වන නගර සභා රුස්වීම් වාර්තා කියවන කිසිවෙකුට එහි හරය නොවැටහීම පුදුමයක් නොවේ. ගමේ, නගරයේ පොදු අවශ්‍යතා ගැන වාද නොකරන එහි නියෝජිතයෝ බලය බෙදීම, රට විකිණීම, පෞද්ගලීකරණය වැනි කාරණා ගැන බරපතල විවාද කරති. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය ජනතාවට පළාත් පාලන ඡන්දයත්, සභිකයන්ගේ වැදගත්කමත් අඩු වී ඇත.

පළාත් පාලන ආයතනවල වියදම් ගැන සලකා බලන විට එහි ආදායමෙන් සියයට පනහක් වැටුප් හා දීමනාවලට යෙදැවී ඇති බව රජයේ වාර්තා දක්වයි. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයකට පත්වන සභිකයෙක් වෙනත් වෘත්තියක නිරතවන අතර සමාජ දේශපාලන කාර්යයෙහි නිරත වේ. මහජනතාව අවංක සේවයක් අපේක්ෂා කරයි. එහෙත් අද පත්වන සභිකයන්ට වැටුප පමණක් නොව තීරුබදු රහිත වාහනයක්ද බලාපොරොත්තු වේ. පසුගිය කාලයේ තීරුබදු රහිත යතුරු පැදි හා වෙනත් පහසුකම් සැපයිණි. පළාත් පාලන නියෝජිතයන්ට දීමනා හෝ පහසුකම් සැපයීම වරදක් නොවේ. එහෙත් මෙම ආකෘතිය ස්ථාපිත කිරීමේදී ඇතිකරගත් දර්ශනය අනුව දේශපාලන හෝ වෙනත් භේදයකින් තොරව එක්සත්ව කටයුතු කර තමන්ගේ බල ප‍්‍රදේශය ගැන තීන්දු ගැනීම යෝජනා වී තිබුණි. දැන් එම අපේක්ෂා වියැකී තිබේ. පළාත් පාලන ඡන්දයද එකම බල පොරයකි. ඉදිරියේදී අපේක්ෂකයන් විශාල වියදමක් දරා ඡන්දයට සූදානම් වනු ඇති අතර එය රටට කිසිසේත් නොගැලපෙන ධන විනාශයක් බව සඳහන් කළ යුතුය.

• පළාත් පාලන ආයතනයකින් ඇති කරගත යුතු වෙනස

මේ ජන ජීවිතය දුෂ්කර කාල වකවානුවකි. සංවර්ධනය ගැන මුලසිට කල්පනා කරන්නට සිදුවී තිබේ. මෙහිදී පළාත් පාලන ආයතනවලින් ලබාගත හැකි පිටිවහල විශේෂිතය. ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණයක් සඳහා පදනමක් පළාත් පාලනයේදී සකස් කළ හැකිව තිබේ. රටට මුහුණපාන්නට සිදුවී ඇති ආදායම් ප‍්‍රශ්නය දරුණු එකකි. උත්පාදනය පහතට වැටී ඇත. වියදම අධිකය. රටට අවශ්‍ය කරන දේ රට තුළ නිපදවා ගත නොහැකි අතර පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. පළාත් පාලන ආයතන ශක්තිමත්ව නැගී සිටියහොත් විශාල වෙනසක් කළ හැකිය. විකල්ප බලවේගයක් සේ නිර්මාණය කළහොත් එය කළ හැකිය. 

තමන් අවට ඇති සම්පත් ගැන දන්නේ පහළම තලයේ සිටින නායකයන්ය. ගමේ හෝ නගරයේ සිටින නිර්මාණශීලීන්, ධෛර්යවන්තයන් ගැන දන්නේ පළාත් පාලන ආයතනවලට තරග වදින්නට සූදානම්ව සිටින සභික පිරිස්ය. රටට අවශ්‍යම කරන ග‍්‍රාමීය සංවර්ධනය සඳහා ගොනු කිරීමක් පළාත් පාලන ආයතනවලට කළ හැකිව තිබේ. බලය බෙදන, බලය විමධ්‍යගත කරන ලෙස තර්ක කරන දේශපාලනඥයන් ගමේ නගරයේ ඇති සම්පත් නිසි ලෙස ගමට ගැලපෙන සේ උත්පාදනය කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

දැනට පළාත් පාලන ආයතනවලින් වැඩිම සේවයක් කරන්නේ කසල එකතු කිරීමෙන් බව පෙනේ. ආදාහනාගාරයක් නඩත්තු කරන අතර අතුරු පාරවල්, විදුලිය ආලෝකවත් කිරීම වැනි කාර්යයන්හි නිරතය. මෙයට වඩා වෙනස් සේ ක‍්‍රියාකරන ඇතැම් ආයතන කාබනික පොහොර නිෂ්පාදකයෝ බවට පත්ව සිටී. කෘෂිකර්මයට අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර සහිත බලවේග බවට පත්ව තිබේ. සංචාරකයන් ගැවසෙන ස්ථානවලට පහසුකම් සපයා දෙස් විදෙස් පිරිස් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත. මේවා වැඩිදියුණු කිරීම අවශ්‍යය. කසළ එකතු කරන අතර ඒවා සඳහා නිවාසවලින් බදු අය කරන්නට පළාත් පාලන ආයතන අවශ්‍ය නැත. ඡන්දයෙන් සභිකයන් තෝරා ගැනීමක් අවශ්‍ය නොකෙරේ. සේවකයන් පත්කර කුඩා ආයතනයක් ඇති කිරීම ප‍්‍රමාණවත්ය. දැනටත් නිවාස හෝ ඉඩම් සැලසුම් අනුමත කරගැනීම හිසරදයක් වී ඇති අවස්ථා මගහරවා ගැනීමටද අලුත් ආයතනයක් හදා ඒවාට පැවැරීම ප‍්‍රමාණවත්ය. 

• ආර්ථිකයකට සම්බන්ධ කරගැනීම

නෝර්වේ රාජ්‍යයේ විදුලිය උත්පාදන බලාගාර පිහිටා ඇති ප‍්‍රදේශවල එම බලාගාරවල අයිතිය එම ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනයට හිමිය. ගම මැදින් ගලා යන ජල පහර හරස්කර විදුලිය බලාගාරයක් තැනීමට ආයෝජනය කරන්නේ පළාත් පාලන ආයතනයයි. නිපදවන විදුලිය ජාතික පද්ධතියට අලෙවි කෙරේ. එය රටපුරා බෙදාහරී. ශ‍්‍රී ලංකාවේ සිදුවන ක‍්‍රමය අනුව එවැනි යෝජනා ක‍්‍රම අයිති මහ ආණ්ඩුවට වන අතර ගමේ සම්පත් පැහැර ගනී. සංවර්ධන යෝජනා ක‍්‍රමයකදී නගර සභාවට ප‍්‍රතිලාභ අයිතියක් නැත. ජපානයේ පළාත් පාලන ඒකකවලට තරුණයන් එකතුවන ස්ථාන තිබේ. වෘත්තීය පුහුණුව එතැනින් ලැබේ. එහිදී දෙන සහතිකය අනුව රුකියාවලට අයැදුම් කළ හැකිය. තායිලන්තයේ එක ගමක් එක් නිෂ්පාදනයක් යනුවෙන් සැලැස්මක් ඇත. ඉන්දියාවේද ''වන් විලේජ් වන් ප්‍රොඩක්ට්'' යන එම සංකල්පය ඇත. ගම එකතුකර සුදුසු නිෂ්පාදනයක් තෝරාගැනීම ප‍්‍රාදේශීය පාලන ඒකකයේ කාර්ය භාරයයි. එහි සභිකයන් දේශපාලනය කරන්නේ නැත. ගම ගොඩනගන්නට දායක වෙති. 

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑ පහක කාලය පසු කරන්නේ මෙම වසරේදීය. ගත වූ කාලය එක පරම්පරාවකි. පසුකරන ලද යුගය අමතක කළ යුතු නැත. ආර්ථික, සමාජ කාරණාවලදී අත්පත් කරගත් ජය පරාජයන්හි තෘප්තිය හා වේදනාව අප අභිමුවෙහි ඇත. වෙනස්කම් ඉල්ලා සමාජය විශාල අරගලයක නිරතය. නැවත වතාවක් පුරුදු දේශපාලනයට ගම ආක‍්‍රමණය කරන්නට ඉඩදිය යුතු නැත. ජනතාව අතරින් කොටසක් දේශපාලනඥයන් ප‍්‍රතික්ෂේප කරති. 'ඡන්දය ඉල්ලන්නට එන්නට එපා' කියන්නේ මුහුණ දී ඇති ප‍්‍රශ්න ගැන අවධානයෙන් බව නිසැකය. නැවත වතාවක් පැරණි අගාධයට ජන සමාජයේ පහළම පරිපාලන ඒකකය තල්ලු කරන්නට දේශපාලන පක්ෂ වෑයම් කරමින් සිටී. තරුණ පිරිස්, විද්වත් ජනකොටස් මෙහි හරය හඳුනාගත යුතුය. රට තුළ විශාල ජන කොටසක් අන්ත දුගී භාවයෙහි පසුවන බව දැක්වේ. කොවිඩ් වසංගත තත්ත්වයෙන් බැට කෑ පිරිසකි. විශාල පිරිසකට රුකියා අහිමි වී ඇත. රට නැවත සකස්කර ගැනීමට දශකයක් පමණ ගත විය හැක. නිෂ්පාදන සාධකවලට බලපා ඇති තත්ත්ව කළමනාකරණය විශේෂ අවධානයට යොමුකර කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගැන සලකා බැලීම රටක වගකීමකි. පළාත් පාලන ඡන්දය රටට ඇතිකරන අවස්ථා ගැන අවධානය අපට වැදගත්ය. පරිවර්තනයක් සඳහා විශේෂ සැලැස්මක් සකස් කළ යුතුව තිබේ.

I සාරා කන්දෙගොඩ