2023 ජනවාරි 08 වන ඉරිදා

බද්දට එරෙහිව එන කළු විරෝධතාව

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 46

ආණ්ඩුවේ අත්තනෝමතික බදු සංශෝධනයන්ට එරෙහිව මේ වනවිටත් ජනවාරි අවසන් සතිය ''කළු විරෝධතා සතිය'' ලෙස නම් කොට තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ කරගත් වෘත්තීයවේදීහු රැසක් මෙම සතියේ කළු විරෝධතා සංවිධානයට මූලිකත්වය ගෙන සිටිති. ජනවාරි මාසයේ වැටුප් ලබන සතිය මෙම විරෝධතාව සඳහා යොදාගෙන ඇත්තේ, උපයන විට ගෙවීමේ බදු සංශෝධනයේ පළමු බලපෑම ජනවාරි වැටුපට සිදුවීන හේතුවෙනි.

දේශීය ආදායම් පනතේ සංශෝධනයන්ට එරෙහිව ගෙවීගිය සතියේද මෙරට වෘත්තීයවේදීන් කණ්ඩායම් රුසක් විවිධ විරෝධතා ක්‍රියාමාර්ග අනුගමනය කරනු දැකගත හැකිවිය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ මෙම වෘත්තීයවේදීන් රැසක් සාකච්ඡා කොට පසු මේ ක්‍රියාමාර්ගයට ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර වෘත්තීයවේදීන්ට යම් පිළිතුරක් ලබාදෙන බව මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබුණි. කෙසේ වෙතත් සිකුරාදා උදෑසන වනතුරු තමන් වෙත නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අප සමඟ කියා සිටියේය.

ඒ අනුව කළු විරෝධතා සතිය හකුලා ගැනීමට මෙම පොරොන්දුව ප්‍රමාණවත් නොවන බව පෙනී ගියේය.

''අපි බලාපොරොත්තු වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් විදිහට මේ සම්බන්ධයෙන් අපට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න. බ්‍රහස්පතින්දා වනවිට අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම්, විරෝධතා ව්‍යාපාරය ඉදිරියට ගෙනැල්ලා මේ සම්බන්ධව ගතහැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්න අපි සූදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපි සූදානම් කරල තියෙනවා ජනවාරි 23 වැනිදායින් ආරම්භ වන කළු විරෝධතා සතියක්. ඒ කටයුතු ඉතා තීව්‍ර විදියට ඉස්සරහට ගෙනිහිල්ලා පාලකයන්ට දැනෙන විදියට උත්තර දෙන්න අපි සූදානම්.''

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමුවීමෙන් අනතුරුව මෙලෙස පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාය.

කළු විරෝධතා ආරම්භ කිරීමට පෙර රජයේ වෛද්‍යවරුන් 20,000ක ගේ අත්සනින් යුතු පෙත්සමක් ජනාධිපතිවරයා වෙත භාරදීමටද ඉදිරි සතියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරනු ඇත.

මීට අමතරව තවත් වෘත්තීයවේදීන් කණ්ඩායම් රුසක් දේශීය ආදායම් පනතේ සංශෝධනයන්ට එරෙහිව විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටිති. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ද මෙම බදු සංශෝධනයන්ට විරුද්ධව පෙත්සමක් අත්සන් තැබීම සිදුකරමින් සිටී.

තවද ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය පෙත්සම් වැඩපිළිවෙළකට අවතීර්ණ වී සිටිති. මෙම සියලු පෙත්සම් එළඹෙන සතියේදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.

''අපි කතා කරන්නේ අපිට වෙන බලපෑම ගැන විතරක් නෙවෙයි. ඔය බදු පනත් කිහිපය හරහා බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙනවා. වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩිකළා. සමාජ ආරක්ෂණ බද්ද 2.5% දැනට දාල තියෙන්නෙ පිරිවැයට තමයි. ඒත් අවසාන ගණනය කිරීමේදී බහුතරයක් ගහන්න භාණ්ඩ හා සේවාවලට 5% දක්වා ඒ බද්ද බලපානවා. මීට අමතරව සෙස් බද්ද තිබෙනවා. තවත් ඉදිරියට එන බදු කිහිපයක් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙලා තියනවා.''

ආදායම් බදුවලට අදාළව උපයනවිට ගෙවීමේ බද්ද පමණක් නොව සෙසු බදු සංශෝධන හරහාද ජනතාව පීඩාවට පත්වී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. ඔහුට අනුව නව ආදායම් බදු ප්‍රතිපත්තීන් සම්බන්ධව වෘත්තීයවේදීන් රජයෙන් සිදුකර ඇත්තේ මෙවන් ඉල්ලීමකි.

''මෙතනදී අපි යෝජනා ඉදිරිපත් කළා. රාජ්‍ය සේවය සහ අර්ධ රාජ්‍ය සේවාවල සේවා නියුක්තිකයන්ට අදාළ බදු අයකරන ලක්ෂයේ මාසික ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නංවා දෙන්න. අනිත් එක තමයි සියයට හයේ සිට සියයට තිස් හය දක්වා හයේ ගුණාකාරවලින් වැඩිවෙන බදු ප්‍රතිශතයන් 4%, 8%, 12%, 24% විදිහට වෙනස් කරන්න. වාර්ෂිකව ලක්ෂ 5ට ගෙනැල්ල තියෙන ආදායම ලක්ෂ 6ක් කරන්න.''

කළු විරෝධතා සතියේදී බදු සංශෝධනයන්ට විරෝධය පානවා සේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සහ හා වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමටද කටයුතු කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටී. මෙම සති අන්තයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම සියලු වෘත්තීය කණ්ඩායම් සටනට අවතීර්ණ වනු ඇති බව මේ අනුව පෙනී යයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙරටු කරගත් දන්ත, ශල්‍ය, විශේෂඥ වෛද්‍යවරු සියලුදෙනාම මේ වනවිටත් කළු විරෝධයට සූදානම් වෙමින් සිටිති.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන නිලධාරීන්, බැංකු සේවකයන්, රජයේ විධායක නිලධාරීන්, ඉංජිනේරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය කණ්ඩායම් රුසක් කළු විරෝධයට සහාය දක්වනු ඇතැයි කියැවේ. මෙම සියලු පිරිස් මෙම විරෝධතා සතියට සහය සහාය පළ කළහොත්, මෙරට රාජ්‍යතන්ත්‍රයේ ඉහළ ස්ථරයට තදින්ම බලපෑම් කරන විරෝධතාවය මෙය වනු ඇත.

මෙම සතිය තුළ කළු කොඩි දැමීම, කළු පටි බැඳීම, ජනතාව දැනුවත් කිරීම ආදී විරෝධතා ක්‍රියාමාර්ග වෘත්තීය කණ්ඩායම් විසින් අනුගමනය කරනු ඇත. එසේම උද්ඝෝෂණ ඇතුළු තවත් විරෝධතා ක්‍රියාමාර්ග ගණනාවකට මෙම කණ්ඩායම් සැලසුම් සකස් කොට ඇති බව දැන ගැනීමට ලැබේ. සේවයෙන් බැහැර වීම් පිළිබඳ හෝ වැඩ වර්ජන සම්බන්ධව මේ වනවිට තොරතුරු ලැබී නොමැති නමුත්, මෙම සටන උග්‍ර වුවහොත් එවන් ක්‍රියා ක්‍රියා මාර්ගද වෘත්තීය කණ්ඩායම් විසින් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

I චමිඳු නිසල් ද සිල්වා