2023 ජනවාරි 08 වන ඉරිදා

ගලෙන්බිඳුණුවැව නැන්දලාට ලව් ස්ටෝරි බෙදන 73 පොත් මාමා

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 514

මොන්ගෝලියානු ළමා ලේඛක ඩෂ්ඩෝන්ඩෝග් ජම්බා දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන දරුවන් වෙනුවෙන් ජංගම පුස්තකාලයක් ඇරඹුවේය. පොත් මිටියත් රැගෙන විටෙක ඔටුවකු පිටද, තවත් විටෙක අශ්වයකු පිටද, තවත් අවස්ථාවක කරත්තයකද නැගී සැතපුම් 50,000 කට අධික දුරක් ඈත ගම් දනව් සිසාරා වසර 20 කට වැඩි කාලයක් ඔහු තම සේවය කළේය. 

මේ කියන්නට යන්නේත් එවැනිම කතාවකි. ගලෙන්බිඳුණුවැව නැන්දලාට ‘ලව් ස්ටෝරි’  බෙදන 73 පොත් මාමා ගැනය. ඔහු නමින් ආර්.බී.කේ. බණ්ඩාරය. පොත් මාමාගේ වයස අවුරුදු 73කි. ලස්සනට ඇඳ පැළැඳ තොප්පියක් දැමූ පොත් මාමා පෙට්ටිය ගැසූ බයිසිකලය පාගමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම් 100ක් පුරා දිනපතා ගමන් කරයි. පොත් මාමාගේ ජංගම පුස්තකාලය ආරම්භ වූයේ දැනට වසර 15කට පමණ පෙරය.

ගලෙන්බිඳුණුවැව කොළඹ සිට කිලෝමීටර් 202 ක දුරකින් පිහිටි දුෂ්කර ගම්මානයකි. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර 42ක දුරකින් පිහිටා ඇත්තේය. 1953 ඩී.එස්. සේනානායක මහතා විසින් ඇරඹූ හුරුළුවැව ගොවි ජනපද ව්‍යාපාරය මෙම ප්‍රදේශයේ පවුල් සිය දහස් ගණනකට සෙවණ සලසයි.

ගලෙන්බිඳුණු වැව නගරය ප්‍රධාන මාර්ග හතරකින් යා වෙයි. ඒ ත්‍රිකුණාමලය මාර්ගය, කැකිරාව මාර්ගය, දුටුවැව මාර්ගය සහ අනුරාධපුරය මාර්ගයයි. ගලෙන්බිඳුණුවැව නගරයේ සිට මෙකී ප්‍රධාන මාර්ග හතරේම කිලෝමීටර් 10ක් වගේ දුරට පොත් ලබාදීම සිදුකරයි. උපුල්දෙණිය, කෝන්වැව, හිඹුටුගොල්ලෑව, උල්පත්ගම, මයිලගස්වැව, දුටුවැව, යකල්ල, පඩිකාරමඩුව සහ නුවරගම් ජනපදය ආදී ගම් විශාල ප්‍රමාණයකින් ගලෙන්බිඳුණුවැව සමන්විත වන්නේය.

සාමාජිකයන් දෙදෙනකුගෙන් ඇරඹුණු පුස්තකාලයේ මේ වනවිට සාමාජිකයන් 300 කට ආසන්න පිරිසක් සිටිති. නවකතා, විෂය පොත්, පරිවර්තන, ළමා කතා, වාර සඟරා ආදියද පුස්තකාලයේ තිබේ. ජංගම පුස්තකාලය ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇත්තේය. පොත් මාමා අම්මලාට නවකතා බෙදන අතරේ බබාලාට ළමා කතා බෙදයි. සාමාජිකයන් අතුරෙන් වැඩිම සිටිනුයේ ගම්බද කාන්තාවන් බවත් අනෙක් පිරිස කුඩා දරුවන් බවත් සුළු පිරිසක් පමණක් විවිධ වෘත්තීන්වල නියැලෙන මහත්වරුන් සිටින බවද පොත් මාමා කියන්නේය.

“ගලෙන්බිඳුණුවැව කාන්තාවන් වැඩිපුරම ඉල්ලන්නේ ලව් ස්ටෝරි. නවකතාවලට තමයි වැඩි ඉල්ලුම තියෙන්නේ. ඒ නිසා වැඩිපුර නවකතා ගෙනත් මේ වනවිට පුස්තකාලයේ නවකතා 700ක් පමණ තිබෙනවා. නවකතාවලට පස්සේ වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ පරිවර්තන, ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පොත් සහ යොවුන් නවකතාවලටයි, ළමා කතා පොත් නම් කොච්චර තිබ්බත් මදි. මහත්වරු වැඩිපුරම කියවන්නෙ පරිවර්තන පොත්. දැන් දැන් ඒ තරමට කියවන පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඔක්කොම පොත් 1000ක් විතර තියෙනවා. ඉස්සර මම පොත් අලුත් කරන්න ගියේ දවස් 7 කට සැරයක්. ඒත් දැන් දැන් සාමාජිකයන් පිරිස වැඩි නිසා යැවෙන්නේ දවස් 10 කට වගේ සැරයක්. ඒ නිසා එකවරකදී පොත් 3 බැගින් පාඨකයන්ට ලබා දෙනවා.” 
පොත් මාමාගේ පොත් නැන්දා සෝමා මිල්ලහෙලය. සිය සැමියාගේ ජංගම පුස්තකාලයට ඇය මනා සහායක් ලබාදෙන්නීය. ප්‍රදේශයේ බොහෝ දෙනා මේ වනවිට පොත් කියවීමට හුරු වී සිටිති. දින 10 කට සැරයක් ගෙදරින් ගෙදරට ගොස් පොත් මාමා පොත් ලබාදීම සිදුකරයි.

“සමහර ගෙවල්වල ගෑනු උදවිය පොත් කියවනවාට ස්වාමිපුරුෂයන්ගේ බරබරේ. ඔවුන් කැමැති නෑ ඔවුන්ගේ බිරියන් මල් නවකතා කියවනවාට. ඒත් ඉතින් ගෑනු උදවිය ඉල්ලන්නේම ඒවා. ඉතින් පොත් නැතිවෙනවා. හංගනවා. කොළ ඉරනවා. විසි කරනවා. මටම තමා පාඩුව. මං වාද කරන්න යන්නේ නෑ. තනියම පාඩුව විඳ දරාගන්නවා. පොත් කියවනවාට පවුලේ කෙනකු අකැමැති නම් මට ඒ බව දැනුම් දෙන්න කියා කියලා තියෙනවා. ඒ වගේ ගෙවල්වලට ආයෙ පොත් දෙන්නේ නෑ.
පොත් මාමාට පොත් පිළිබඳ මනා දැනුමක් අැත්ෙත් වසර 15 කට අධික ඔහුගේම අත්දැකීමෙනි. පොත් පිළිබඳ ඔහුට ඇති දැනීම පුදුමාකාරය. ඔහු සැබවින්ම පුස්තකාලයකි.

“පහුගිය දවසක පළාත් සභාවෙන් පොත් 50ක් විතර ලැබුණා. ඒකෙන් 25ක් විතර මම ආයෙ ගිහින් දුන්නා. ඒ ගොඩේ ගොඩක් වටින පොත් තියෙනවා. ඒත් ඒවා කියවන්නෙ නෑ මිනිස්සු. මිනිස්සු කියවන්නෙ නැති ඒ වගේ පොත් ටික මම ආයෙ බාර දුන්නා තියාගෙන වැඩක් නැති නිසා.”

පොතක් රුපියල් 10ක 20ක මුදලකට ලබාදීම සිදුකරයි. කියවන්නට පොත් ලබාදීමෙන් ලැබෙන ආදායමෙන් යතුරුපැදියක් ගත්තද එයත් තෙල් අර්බුදයට මුහුණ දී සිටියි. සතියට ලැබෙනුයේ තෙල් ලීටර 4කි. එයින් ගම් 100 කට දවස් 10ක් යන්නට ප්‍රමාණවත් නැත්තේය. එහෙයින් ඒ ලීටර හතර අවසන් වුණාම ඉතිරි දිනවල නැවත බයිසිකලයෙන් ගමන් කරයි.

මේ ආකාරයට පොත් මාමාගේ ජංගම පුස්තකාලය ගලෙන්බිඳුණුවැව පාඨක පිරිසක් බිහිකර තිබීම සතුටකි. දුව දුව කියවන මිනිසුන් බිහිකරලීමෙහි ලා එය සමාජ සද්කාර්යයක් ලෙස අපි දකිමු.  මෙම සමාජ සත්කාරය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් අශෝක චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද පොත් මාමා ඇගයීමකට ලක්කර තිබූ අයුරු වාර්තා විය. මෙවැනි කාර්යයක් ඉටු කිරීමට හැත්තෑ තුන් වියේ පසුවන පොත් මාමාගේ ධෛර්යය අධිෂ්ඨානය සහ කැපවීම අගය නොකරම බැරිය.

I සසංක චලන ගිම්හාන