
කතාව මැණික් නම් රත්නපුර එහි මුල් තැනය. ඇළහැර, බකමූණ, කළුගඟ ප්‍රදේශ මැණික් සඳහා නම් දැරුවත් මැණික් ගැනීමටත් විකිණීමටත් දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ගෙන් බේරුවල නගරයට අඩුවක් නැත. බේරුවල මැණික් පොළ සිකුරාදා පැවතියත් වෙළෙඳාම ජයටම කෙරෙන්නේ බදාදා බව ප්රකටය. එදාට කී නොකී පෙදෙස්වල ව්‍යාපාරිකයන් මෙන්ම පිටරුටියෝ ද එහි වෙති.
බේරුවල මැණික් පොළේ විකිණීමට රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනා මැණික් ගල් 119ක් හිටි හැටියේම අතුරුදන් වීම පුදුමයකි. ඒ මැණික් පිරවූ මල්ල අතුරුදන් වීමේ රහස් කතාව වාර්තා වන්නේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණ අතරිනි.
නත්තල් දිනයට පෙර ජයටම පැවැත්වෙන බේරුවල මැණික් පොළේ අවසන් බදාදා දිනය එළැඹ තිබුණේ පසුගිය 21 වැනිදාටය. ඒ සඳහා සහභාගි වීමට නන් දෙසින් ව්‍යාපාරිකයෝ පැමිණෙමින් සිටියහ. ඇතැමුන් සිය මෝටර් රථයෙන් ළඟම හිතවතුන් සමඟින් පැමිණෙන අතරතුර තවත් ඇතැම්හු මගී බස් රථවල නැගී බේරුවල බලා ගමන් ගත්හ.

මේ අතර ගාලු පාරේ වැල්ලවත්ත නගර මධ්‍යයේ බස් නැවතුමක රැඳී සිටි පුද්ගලයෙකි. ටික වෙලාවක් මග බලා සිටි ඔහු කොළඹ සිට දික්වැල්ල බලා යන බස් රථයකට ගොඩ වූයේය. කර වටා දිගු පටියකින් එල්ලාගෙන සිටි ගමන් බෑගය ළඟින්ම තබාගෙන ඔහු හෙමින් සීරුවේ අසුනට බර විය. ඒ අතරතුර පැමිණි කොන්දොස්තරවරයාගෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන තිබුණේ බේරුවල දක්වා ගමන් ගැනීමටය. මෙසේ ගෙවුණු කාලයේදී අසල සිටි පුද්ගලයකු කිහිප වරක් ඔහු දෙස බලා සිනාසෙන්නට විය. අතරමගදී බස් රථය මගීන්ගෙන් පිරී යද්දී එම පුද්ගලයා මොහු අසලින් සිටි බව තරමක් මතකයේ තිබිණ. මෙසේ හෝරාවක් දෙකක් අතර කාලයක් තුළ වැල්ලවත්තෙන් පිටත් වූ බස් රථය බේරුවල නගරයට ළඟා විය.
නගරයේ බස් නැවතුමට තරමක් දුරින් නතර කළ බස් රථයෙන් බිමට බැස තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් එහි නැගගත් පුද්ගලයාය. බිමට බැසගත් සැණින් ඔහුට අමුත්තක් දැනිණි. ඒ වෙන යමක් නොව තම උරයේ එල්ලා තිබූ බෑගයේ පැවති බරෙහි අඩු බවකි. සැණෙකින් ඔහු බෑගය ඉදිරියට ගෙන බැලුවේය. ඔහුගේ දෙලොව රත්වූයේ එවිටය. සිය බෑගයේ සිපර් එක විවෘත කොට තිබිණි. එහි තිබූ පාර්සලය පෙනෙන්නට නොවීය.
සිහි විකල් වූවකු මෙන් හැසිරුණු පුද්ගලයා තමා පසුකර යන දික්වැල්ල බස් රථය පසුපස පන්නා ගියේය. එහෙත් ඔහුට ඊට ළං වන්නට හෝ අවස්ථාවක් නොවුණේ බස් රථයේ වේගය නිසාය. මේ පුද්ගලයා බස් රථය පසුපස වේගයෙන් දුවන බව නිරීක්ෂණය කොට තිබුණේ කළු අත් දිග කමිසයක් ඇඳ බස් රථයේ සිටි අයෙකි. තරමක් කලබලයට පත්වූ ඔහු සිය අත වූ යම් පාර්සලයක් කාටත් නොදැනෙන්නට බස් රථයේ දොර මුල්ලට විසිකොට ඉදිරි නැවතුමකින් බැස ගියේය.
බස් රථය පසුපස උන්මන්තකයකු සේ දිවගිය පුද්ගලයාට තවත් අවස්ථාවක් නොවූයෙන් ක්‍රමයෙන් ඔහු හැරී තිබුණේ බේරුවල පොලිසිය දෙසටය. පොලිස් ස්ථානයට ගිය ඔහු ''සර්.. මම බිස්නස් එකට බේරුවල ආවේ. බෑග් එකේ මැණික් ගල් 119ක් තිබුණා. ඒවා කෝටි දෙකහමාරට වැඩිය වටිනවා. කවුරු හරි මගදි බෑග් එකෙන් අරගෙන තියෙනවා. බැහැලා බලද්දි බෑගය ඇරිල තිබුණා.'' යැයි කියමින් පැමිණිල්ලක් යොමු කළේය.
වෘත්තිමය වශයෙන් මැණික් ව්‍යාපාරිකයකු වූ එම පුද්ගලයා ධනවතකු හෝ මැණික් ගල් තොගයක් සන්තකයේ ඇත්තකු ලෙස නොව සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් මගී බස් රථයට නැග තිබුණේ ආරක්ෂාවටය. ඔහු විසින් යොමු කළ පැමිණිල්ල ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු භාර කර තිබුණේ කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතය.
ඒ අනුව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස හා එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත කඩිනම් විමර්ශනයක් ආරම්භ කෙරිණි. එහිදී ව්‍යාපාරිකයා බේරුවල නගරයෙන් බැසගත් ස්ථානයේ සීසීටීවී දර්ශන හා අනතුරුව බස් රථයෙන් බැසගිය පුද්ගලයන් හඳුනා ගැනීමට අවශ්‍ය සීසීටීවී දර්ශන විමර්ශනයට ලක් කර තිබිණ. එහිදී ව්‍යාපාරිකයා බිමට බැස බස් රථය පසුපස දුවන ආකාරයත් මොහොතකට පසුව කළු කමිසයකින් සැරසුණු අයකු බැස යන ආකාරයත් නිරීක්ෂණය කොට ඔහු පිළිබඳ සැකයෙන් පසු වූ පොලිසිය ඔහුගේ තරමක ඡායාරෑපයක් රුගෙන ගල්කිස්ස, දෙහිවල, බඩෝවිට, මොරටුව ඇතුළු කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ගැවසෙන ප්‍රදේශවල සෝදිසි කොට තිබුණි. ඒ පික් පොකට්කරුවකු හඳුනා ගන්නා අදහසිනි. එසේ සෝදිසි කරන අතරතුර ඔත්තුකරුවකු විසින් තොරතුරක් ලබා දී තිබුණේ සැකකරු කලකට පෙර පයාගල ප්‍රදේශයේදී පික් පොකට් ගැසූවකු බවටය.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු දිගින් දිගටම පාපොච්චාරණය කොට තිබුණේ මැණික් මල්ලක් සොරා නොගත් බව කියමිනි. පසුව බේරුවල නගරයේදී බස් රථයේ සිදුවීම ප්‍රශ්න කර ඇත. එහිදී කියා ඇත්තේ යම් පාර්සලයක් සොරාගත් බවත් එහි හිමිකරු බස් රථය පසුපස දුවගෙන ආ නිසා එම පාර්සලය බස් රථයේ දොර අසලට විසි කර බැස ගිය බවත්ය.
අනතුරුව සැක කටයුතු බස් රථය හඳුනාගෙන එය සෝදිසි කර තිබුණි. එම බස් රථය තුළ සවිකර තිබූ සීසීටීවී කැමරා හයකි. එහෙත් පරීක්ෂණ සිදුවන මොහොතේ ඒවායේ දත්ත ගබඩාව විනාශ වී තිබිණ. මෙය විමර්ශන නිලධාරීන්ට මහත් සැකයක් විය. පසුව සොයා ගැනුණේ එම දත්ත ගබඩා සිතාමතාම ඇතුළතින් විනාශ කර තිබෙන බවකි.
මේ සමඟ බස් රථයේ කොන්දොස්තරවරයා පළමුවෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබුණි. ඔහු වස්කඩුව, කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
''අනේ සර් මම මොකුත් දන්නෙ නෑ. පසුගිය 21 හවස බස් එක අතුගාද්දි දොර ළඟ අයිනෙ තිබිලා පාර්සලයක් හම්බවුණා. ඒකෙ ගල් වගයක් තිබුණා. ඒවා ඌරුබොක්ක පැත්තෙ හංගලා තියෙනවා. අපි හොරකම් කළේ නෑ. ඒත් අපි අහුවෙයි කියලා සී.සී.ටී.වී පිච්චුවා. අපි ඒවායේ වටිනාකමවත් හරියට දන්නෙ නෑ.'' යැයි ඔහු පැවසීය.
මේ ආකාරයට බස් රථයේ කොන්දොස්තරවරයා හා රියැදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම හරහා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනා මැණික් ගල් 119ක් නැවත සොයා ගැනීමට සමත්ව තිබුණේ සතියක් තුළ සිදු කළ කඩිනම් මෙහෙයුමක් අතරතුරය.
මේ ඇසුරෙන් පොලීසිය පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහනය තුළ හා ජනාකීර්ණ ප්‍රදේශවලදී පික් පොකට් ගසන, ගැට කපන වටිනා භාණ්ඩ සොරාගන්නා පිරිස් පිළිබඳ වැඩි වශයෙන් පැමිණිලි ලැබෙන බවකි. එබැවින් එම සිදුවීම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුව ඇත.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කුමාර, පොලිස් පරීක්ෂක සුජිත් සිල්වා සහ උප පොලිස් පරීක්ෂ දයාසේන යන නිලධාරීහු වැටලීමට දායක වූහ.
I සමන්ත ප්‍රදීප් විල්තෙර