2022 දෙසැම්බර් 25 වන ඉරිදා

කලකට පසුව එන නත්තල් සාද

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 144

වසර කිහිපයකට පසුව මෙවර නත්තල සැමරීමට බොහෝදෙනා සූදානම් වූයේ සති කිහිපයකට පෙර සිටය. පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් හේතුවෙන් පසුගිය වසරවලදී නත්තල සහ අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට සිදුවූයේ බොහෝ විට තම නිවෙස්වලමය. නත්තල් දිනයේදී දේවස්ථානවලට ගොස් දෙවියන් වහන්සේට යාඥාකොට ඒ ආගමික වතාවත්වල නිරත වීමටද කතෝලික ජනතාවට හැකිවූයේ නැත. එවන් වතාවත්වලට යොමුවන්නට හැකිවූයේ සීමිත බැතිමතුන් පිරිසකට පමණි.

කෙසේ වුවද ආර්ථික ගැටලු බොහෝමයකට මේ වසරේදී මුහුණ දුන්නද මෙවර නත්තල සහ නව වසර සැමරීමට බොහෝ ජනතාව සූදානම් වෙති. මේ නිසාම කොළඹ ඇතුළු තදාසන්න නගරවල පිහිටා ඇති හෝටල්වල විශේෂ උත්සව, සාද පැවැත්වේ. ඒවාට සහභාගි වන පිරිසට විශේෂ තෑගි, විශේෂ වට්ටම් ලබාදෙන බවද සඳහන් වේ. සති කිහිපයක සිටම බොහෝ හෝටල් නත්තලට සූදානම් වූයේ විචිත්‍රවත් අයුරිනි. ඒ අතරින් අලංකාර නත්තල් ගස, නත්තල් සීයා ඇතුළු නත්තල් සැරසිලිවලින් අඩුවක් නැත.
කොළඹ නගරයට මේ දිනවල නින්දක් නැත. රෑ මැදියමේ සිට පාන්දර දක්වා කතෝලික ජනතාව ඇතුළු ඇතැම් ජාති භේදයකින් තොරව කොළඹ නගරයට පැමිණ විනෝද වෙති. කොළඹ නගරයේ පිහිටා ඇති තරු හෝටල් මෙන්ම සමාජශාලා ඇතුළු මහා පරිමාණ මෙන්ම සියලු කුඩා අවන්හල්ද මෙම නත්තලට සුවිශේෂී වට්ටම් හා විනෝදාස්වාදයක් ලබාදෙමින් ජනතාවට උපරිම විනෝදය ලබාදීමට කටයුතු කර ඇත.

ජනාධිපති කාර්යාලය අසල ඉදිවුණ අඩි විසිපහක් උසැති නත්තල් ගස සරසා ඇත්තේ එළවළු පැළ එක්දාස් හත්සිය පනහකිනි. ගාලු මුවදොර පිටියේද මෙවර විචිත්‍රවත් සැරසිලිවලින් ආලෝතමත් වී ඇත. විදුලි බිල කොයිතරම් ඉහළ ගියද ඒ සම්බන්ධයෙන් වගක් නොමැතිව සෑම අවන්හලක්ම නත්තල් සමයේදී විදුලියෙන් ආලෝකමත් කර තිබේ.

කොළඹ රාමඩා හෝටලයද මෙවර නත්තලට සූදානම් වූයේ සති කිහිපයක සිටය. නත්තල් සතියදී හෝටලය සුවිශේෂ ආහාරපාන මෙන්ම සුවිශේෂී අංගයන්වලින් යුක්ත විය. රාත්‍රී භෝජන සංග්‍රහයක් රුපියල් හත්දාස් පන්සීයක් වැනි මුදලකට මිලදී ගත හැකිය. රාත්‍රී නර්තනවලට සහභාගී වන පිරිස වැඩිය. දෙසැම්බර් 31 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී හෙක්ටර් ඩයස් ප්‍රමුඛ D. Major සංගීත කණ්ඩායම අසිරිමත් සංගීත රාත්‍රියක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටී.

වසර දෙකක්ම සංගීත ප්‍රසංගවලට සහභාගී නොවුණ සංගීත ලෝලීන්ට මෙවර අපූරු අත්දැකීමකට මුහුණදීමට හැකියාවන් ලැබෙන වසරකි. මේ නිසාම බොහෝ සංගීත කණ්ඩායම් මෙන්ම ගායක ගායිකාවන්ට මෙවර ඇත්තේ ඉතා කාර්යබහුල කාලයකි. විශේෂයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගවලට සහභාගි වන ඔවුහු පසුව, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියට සහභාගී වෙති. ඇතැම් ගායක ගායිකාවෝ එක් රාත්‍රියකදී සංගීත ප්‍රසංග තුන හතරකටද සහභාගී වෙති. වසර දෙකක්ම නිවෙස්වලට හිරවී සිටි, ආදායම් තත්ත්වය පහළටම බැස තිබූ කලාකරුවන්ට, කලාකාරියන්ට මේ නත්තල් සමය ආර්ථිකය ඉහළ නංවාගන්නට කදිම අවස්ථාවක් උදාකර දී තිබේ. එමෙන්ම වසර තුනක් සංගීත ප්‍රසංගයක් නැරඹීමට නොහැකිව සිටි සංගීත ලෝලීන්ටද මෙය කදිම අවස්ථාවකි. මේ නිසාම මේ පැවැත්වෙන සංගීත ප්‍රසංග සඳහා සංගීත ලෝලීන් සෑහෙන පිරිසක් සහභාගි වන බව පෙනී ගොස් ඇත.

මෙවර නෙළුම් කුලුන නැරඹීමට එන පිරිසට බොහෝ සුවිශේෂී අත්දැකීම්වලට මුහුණදීමට අවස්ථාව උදා වී ඇත. රාත්‍රී කාලයේදී නෙළුම් කුලුන නැරඹීමට එන පිරිසෙහි ඉහළ යාමක් සිදුව ඇති අතර විදුලි ආලෝකයෙන් විචිත්‍රවත් වන නෙළුම් කුලුනේ සිට ඡායාරූප ගනිමින් සිහිවටන එකතු කිරීමට බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටිති. නත්තල් අසිරිය නෙළුම් කුලුනේ සිට අත්දකින්නට මෙවර දෙස් විදෙස් සංචාරකයන්ට දොර හැර තිබේ.

කොළඹ වරාය නගරයේ (Port City) මෙවර නත්තල් ප්‍රසංගයක් සංවිධානය කර ඇත. එමෙන්ම 31 වැනිදා රාත්‍රිය අපූරු රාත්‍රියක් වනු නොඅනුමානය. මෙයට කොළඹ වරාය නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අපූරු අත්දැකීමක් වනු ඇත. සවස හයේ සිට රාත්‍රී දොළහ දක්වා කොළඹ වරාය නගරයේ (Port City) මේ විචිත්‍රවත් ප්‍රසංගය පැවැත්වේ.

කොළඹ නගරයේ පමණක් නොව &පුංචි රෝමය* ලෙසින් හැඳින්වෙන මීගමු පුරවරයද මෙවර අසිරිමත් නත්තලකට සූදානම්ය. ඉදිවී ඇති නත්තල් ගස ඇතුළු අනෙකුත් නත්තල් සැරසිලි එයට කදිම නිදසුනකි. එපමණක්ම නොව මුහුදු තීරය ඔස්සේ ඉදිවී තිබෙන හෝටල්, අවන්හල් නත්තල් ප්‍රසංග හා නත්තල් සාද පවත්වති.

මේ අතර නත්තලට සහ අලුත් අවුරුද්දට සමගාමීව බොහෝ වෙළෙඳ ආයතන තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබා දී තිබේ. රන් ආභරණ වෙළෙඳසල් කිහිපයක්ම 50% - 55% වැනි ඉහළ විශේෂ වට්ටමකට රන් ආභරණ ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සුපිරි වෙළෙඳ සල්ද තෝරාගත් භාණ්ඩ බොහෝමයකම මිල මේ උත්සව සමයේදී අඩුකර ඇත. ඇතැම් වෙළෙඳ භාණ්ඩ මිලදී ගනිද්දී අමතර යම් භාණ්ඩයක් නොමිලේ ලබාදෙන බවද සඳහන් කර තිබේ.

කාගීල්ස් සුපිරි වෙළෙඳසල්වල රෝස්ට් කළ මස් වර්ග සඳහා විශේෂ වට්ටමක් ලබාදී ඇත්තේ උත්සව සමයේදී බොහෝ දෙනකු විසින් මිලදී ගනු ලබන හෙයිනි.

නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී රෙදිපිළි අලෙවිසල්වලට ඉතා කාර්යබහුල කාලයකි. සාමාන්‍ය වෙළෙඳ සේවක සේවිකාවන්ට අමතරව මේ කාලවලදී අමතර වෙළෙඳ සේවක සේවිකාවන් අලෙවිසල්වලට බඳවා ගනු ලබන්නේද ඒ කාර්යබහුලත්වයක් හේතුවෙනි. උත්සව සමයේදී පවුලේ සැමට අවශ්‍ය දෑ එකම ස්ථානයකින් ලබාගත හැකි සල්පිල් මේ වනවිටත් කොළඹ නගරයේ වැහි වැහැලාය. ඇතැම් සල්පිල් පවත්වනු ලබන්නේ දරුවන්ට විනෝද වීමට හැකි වටපිටාවක්ද සකසා දෙමිනි.

කෙසේ වුවද වසර දෙකක් පමණ නත්තල සහ අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයක් සමරන්න නොහැකි වෙද්දී ආර්ථික අපහසුතා කොතෙකුත් තිබුණද මෙවර එය සැමරීමට බොහෝදෙනා උත්සුක වෙති. නමුත් මෙවර ගිනිකෙළි අලෙවිවීම්වල යම්කිසි අඩුවක් දක්නට ඇත.

I දිශානි ජයමාලි කරුණාරත්න