ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මෙන්ම ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස පහර දී තිබුණේ බොරැල්ල කනත්ත ආසන්නයේදීය. කිසියම් අයකු හෝ පිරිසක් විසින් මොහුට සැලසුම් සහගතව පහරදී ඝාතනය කරන්නට උත්සාහ දරා ඇතැයි සැක කෙරේ. පහර කෑමෙන් පසුව අසාධ්‍යව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
බොරුල්ල පොලීසිය සැක කරන්නේ ෂාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගොස් පහර දී ඝාතනය කරන්නට උත්සාහ දරා ඇති බවය. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන අරඹා තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතා පදිංචිව සිට තිබුණේ කොළඹ කුරුඳුවත්ත මල්පාර පිහිටි නිවෙසකය. ඉකුත් 15 වැනිදා දවල් වරුවේ ඔහු නිවසේ රැඳී සිටියේය. පසුව ඔහු සූදානම් වී තිබුණේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යාමටය. ඒ පිළිබඳව බිරියට කරුණු කී ඔහු රුපියල් කෝටි ගණනක ණය මුදලක් ඉල්ලූ පුද්ගලයකු මුණගැසීමට නියමිතව ඇති බවත් ඒ සඳහා පිටත්ව යන බවත් කියා ඇත. වෙනදා මෙන්ම සුපුරුදු ලෙසින් සිය මෝටර් රථයෙන් පිටත්ව ගිය ඔහුගේ ගමන විශේෂයක් නොවීය. හෝරාවක් හමාරක් ගතවූ පසුව ඔහුගේ ආදරණීය බිරිය ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගත්තාය. එසේ කිහිප වතාවක් ඇමතුම් ලබාගන්නට උත්සාහ කළද දුරකථනය ක්‍රියාවිරහිතව ඇති බව පමණක් ඇයට දැනගන්නට හැකිව තිබුණි.
කුමන රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගියත් දිනේෂ් ෂාෆ්ටර් ජංගම දුරකතනය විසන්ධි කරන හෝ බිරිඳගේ ඇමතුමක් මගහරින අවස්ථාවක් තිබී නැත. මේ නිසා බිරිඳට යම් සැකයක් ඇතිවූ හෙයින් තාක්ෂණික වශයෙන් යම් විපරුමක් කරන්නට ඇය උත්සාහ කළාය. ඒ අනුව ජංගම දුරකථනයේ GPS සංඥා අනුව සැමියාගේ දුරකතනය බොරුල්ල සුසාන භූමිය අසල තිබෙන බවට හඳුනාගෙන තිබිණ. ඒ බව තවත් සැකයට හේතුවක් වූයෙන් සැමියා පිළිබඳව සොයා බලන්නැයි ජනශක්ති සමාගමේ ඉහළ නිලධාරියකුට දන්වා තිබුණි. ඒ අනුව එම නිලධාරියා වහාම පිටත්ව ගොස් තිබුණේ බොරුල්ල කනත්ත පිහිටි ප්‍රදේශයටය. කනත්ත අවට මාර්ගයේ ගමන්ගත් එම නිලධාරියාට දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් මෝටර් රථය පාරේ පැත්තක නවතා තිබෙනු දැක ඇත. ඒ වෙත කිට්ටු වී බැලීමේදී ෂාෆ්ටර් මහතා රථයේ රියදුරු අසුනට බර වී සිටිනු දැක තිබෙන අතර ඔහු ඒ වනවිටත් සිහි විසංඥ තත්ත්වයෙන් පසුව ඇත. අනතුරුව දැක තිබුණේ ඒ මහතාගේ දෑත් ගැටගසා ඇති බවත් ගෙලට වයරයක් දමා තිබෙන බවත්ය.
සභාපතිවරයාගේ ස්වරූපය දුටු සැණින් යම් බරපතළ සිදුවීමක් සිදුව ඇති බව වටහාගත් නිලධාරියා වහාම ක්‍රියාත්මක වී ගැට ගසා තිබූ දෑත් ලිහා දමා ගෙල වටා තිබූ වයරයද ඉවත්කර ඔහුව රෝහලක් කරා ගෙනයාමට උත්සාහ කර ඇත. එම නිලධාරියාට තනියම ෂාෆ්ටර් මහතා වත්තන් කිරීමට නොහැකි වූයෙන් සුසාන භූමියේ කම්කරු සේවකයකුට අඬගසා ඔහුගේ සහායද ලබාගෙන තිබුණි. ඒ සමගම ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමටත් සිදුවීම පිළිබඳ ෂාෆ්ටර් මහතාගේ නිවැසියන් දැනුම්වත් කිරීමටත් කටයුතු කර ඇත.
පැය කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වැනිදා රාත්‍රී 11.30ට පමණ මියගොස් තිබුණි. මේ අතර පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ ෂාෆ්ටර් මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ නිසා කිසිම ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වී ඇති බවය.
සැකකටයුතු මරණය පිළිබඳව මූලික විමර්ශන සිදුකළ බොරැල්ල පොලීසිය පැවසුවේ ෂාෆ්ටර් මහතා මෝටර් රථයේ වැටී සිටි බව ප්‍රථමයෙන් දුටු ජනශක්ති සමාගමේ නිලධාරියාගෙන් හා ඔහුට සහාය වූ බව කියන සුසාන භූමියේ සේවකයකුගෙන් ප්‍රකාශයක් ලබාගත් බවය. එහිදී සුසාන භූමියේ සේවකයා පවසා ඇත්තේ අදාළ සිදුවීමට මොහොතකට පෙර සැකකටයුතු මෝටර් රථය අසල සිට නාඳුනන කෙනකු ඇවිද යන බව දුටු බවකි.
වැඩිදුර පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෑතකදී යම් පුද්ගලයකු විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාගෙන තිබෙන බවය. එසේ ණය ලබාදුන් පුද්ගලයා ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු බවටද හඳුනාගෙන තිබේ. එම ණය මුදල නැවත ලබා නොදීම සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවස්ථා තුනකදී පැමිණිලි යොමුකර තිබෙන බව වාර්තාවේ.
පහරදීම ඝාතනය හා එම ගනුදෙනුව පිළිබඳව සබඳතාවක් හෙළිදරව් වී නැතත් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විශේෂ කණ්ඩායමක් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරමින් සිටී. කිසියම් අයකු හෝ පිරිසකගේ සැලසුමක් මත සභාපතිවරයා පැහැරගෙන ගොස් සුසාන භූමිය අසලදී මෝටර් රථය තුළදීම පහර දී වද හිංසා කර ගෙල සිරකර මරා දමන්නට උත්සාහ ගෙන තිබෙන බවට පොලිසිය සැක පහළ කරමින් විමර්ශන ආරම්භ කොට තිබේ.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනයට ලක්වන විට 51 වැනි වියේ පසුවිය. මොහු ඔහුට අයත් සමාගම් 9ක සභාපති ධුරය දරන අතරතුර තවත් සමාගම් ගණනාවක් අධ්‍යක්ෂක හා කළමනාකාර අධ්‍යක්ෂ ධුර හොබවමින් සිටියේය.
ඝාතනය පිළිබඳව අන්ත කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබෙන බවත් ඒ සඳහා සී.සී.ටී.වී. දර්ශන හා දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තා භාවිතා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
I සමන්ත විල්තෙර