2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ලංවිමට ලාබද? පාඩුද? මහජන උපයෝගිතා කොමිසමට යන්න වෙයිද?

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 85

2022 අගෝස්තු මස 10 වැනිදා විදුලි බිල 76%කින්  ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේ  විදුලිය උත්පාදනයේදී ඔවුන් දැඩි ලෙස අලාබ ලබන හෙයින්  එම පිරිවැය පියවා ගැනීම සඳහා බිලියන 850ක පමණ මුදලක් අවශ්‍ය බව පවසමිනි.  එලෙස විදුලි බිල වැඩි කිරීමෙන් තමන්ට පියවා ගත හැකි වූයේ බිලියන 500ක පමණ මුදලක් යැයි පැවසූ මණ්ඩලය ලබන වසරේ විදුලිය ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 56. 90ක් වැයවන බැවින් යළි විදුලි බිල වැඩි කළ යුතු යැයි කියා සිටියේය. ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවල විදුලි බිල වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතියද ලබා ගත්තේය. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ කිසිසේත්ම විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවටය.

විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය මහජන උපයෝගීතා කොමිසම අනුමත නොකරන අවස්ථාවක ආණ්ඩුව තවදුරටත් ගාස්තු වැඩිකිරීමට උත්සහ දරන්නේ නම් මහජන උපයෝගීතා පනත ඉරා දමා එය සිදුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඉන්ධන මිලද අඩුවී, ජනතාවද විදුලි පරිභෝජනය අඩුකර ඇති අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ පැරණි ණය ගෙවා දැමීමට ජනතාව පිට බර පැටවීම යුක්ති සහගත නොවන බව සඳහන් කළ ඔහු බිලියන ගණනක ණය ගෙවා දැමීම සඳහා ට්‍රිලියන ගණනක වත්කම් විදුලිබල මණ්ඩලය සතුව ඇතැයිද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය සුදුසු පරිදි ප්‍රතිව්‍යුහ ගතකොට එම වත්කම් කළමනාකරණය කිරීමෙන් දැනට ඇති ණය ගෙවා දැමීමට හැකියාවක් පවතින අතර පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් බවත් දේශපාලන අධිකාරිය ඊට පිටින් නොයනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ භෞතික යටිතල පහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා වන බහු ආංශික නියාමන ආයතනයක් ලෙසිනි. 2002දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදුකිරීම සඳහා විධිවිධාන සලසන ලදී. 2006 මාර්තු මාසයේදී ඛනිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදී. එහෙත් නියාමනය සඳහා බලතල ලැබුණේ විදුලි බල අංශය සඳහා පමණි. ජල හා ඛනිජතෙල් නියාමනය පිළිබඳ බලතල මහජන උපයෝගිතා කොමිසමට ලැබුණේ නැත.

සැම වසරකම ජනවාරියේ සහ ජූනි මාසයේ ස්වයංක්‍රීයව විදුලි බිලේ සංශෝධනයක් සිදු කළ යුතු යැයි විදුලි බල මණ්ඩලය කළ ප්‍රකාශය සම්බන්ධයෙන්. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ එය කළ යුත්තේ එම මාසවල නොව රටේ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ අනුව බවටය.

විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීමෙන් උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල බිලියන 721ක පමණ ප්‍රමාණයකි. එය අපේක්ෂා කරනුයේ වර්ෂයකට ගිගාවොට් පැය 17400 පමණ ඉල්ලුමක් පවතිනු ඇතැයි යන පදනම මතය. ඒ අනුව ජලවිදුලියෙන් ගිගාවොට් පැය 4500ක්, ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 5100ක්, පුනර්ජනනීය බලශක්තියෙන් ගිගාවොට් පැය 3200ක් සහ ඉන්ධන මගින් ගිගාවොට් පැය 4600ක් නිපදවේ. ඉන්ධන මගින් විදුලිය නිපදවීම සඳහා රුපියල් බිලියන 400ක් අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය පවසන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි. ඒ අනුව සමස්ත වියදමින් ඉන්ධන සඳහා වැය කරන මුදල 56%කි. විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාවය. එමගින් ඔවුනට 40%න පමණ ලාබයක් හිමිවේ. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය නැප්තා සහ දැවිතෙල් ඔවුනටම ගෙන්වාගත හැකිනම් ඉන්ධන සඳහා වැය කෙරෙන බිලියන 400 බිලියන 200 දක්වා අවම කරගත හැකි බවත් එවිට ලංකා විදුලි බල මණ්ඩලයට වැයවන සමස්ත පිරිවැය බිලියන 508ක් බවත් ජනක රත්නායක මහතා සඳහන් කරයි.

පසුගිය අගෝස්තුවේ ඩොලර් 350ක් වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් මේ වනවිට ඩොලර් 225කි. බොරතෙල් කලින් පැවති මිලට වඩා 40%කින් පමණ පහත වැටී තිබේ. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර නොමැති යැයි සභාපතිවරයා සඳහන් කරයි. එලෙස යෝජනාවක් ඉදිරිපත් වූ විට පිරිවැය පියවා ගැනීමට අවශ්‍ය පරිදි විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා පියවර ගන්නා බවත් වත්මන් තත්ත්වය අනුව එලෙස විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

විදුලිය ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වැනි වගන්තියේ දක්වා තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය මගින් ගාස්තු යෝජනවලිය සකස් කොට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතුය. එහිදී මහජන උපයෝගිතා කොමිසම මිල වැඩි කිරීමට පාදක වන පිරිවැය සාධාරණ පිරිවැයක්ද යන්න සලකා බලයි. අකාර්යක්ෂමතාව, නාස්තිය නිසා ඇතිවන අලාබ පියවා ගැනීමට හෝ ලාබ ලැබීමේ අරමුණින් මිල වැඩි කරනවාද යන්න එමගින් සලකා බැලේ එවැනි තත්ත්වයක් යටතේ  විදුලි බිල වැඩි කිරීම අවසර ලබා දෙන්නේ නැත.  කොමිෂන් සභාවට බලතල ලැබී ඇත්තේ පාර්ලිමේන්තුවෙන්ම සම්මත කළ පනතක් මගිනි. කොමිෂන් සභාව කටයුතු කරන්නේ එම පනතේ අරමුණු ඉටු කිරීම සඳහාය. එම අරමුණු අතර ප්‍රධානම අරමුණ වන්නේ විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලිබල ඇමැතිවරයා අතර විදුලි බිල සම්බන්ධයෙන් නිරතුරුවම මත ගැටුම් ඇති විය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ඇමැතිවරයා කරන ප්‍රකාශ තමන්ට අදාළ නොවන අතර  තමන් ගරු කරන්නේ මහජන උපයෝගිතා පනතට බවයි. පසුගියදා විදුලි බිල වැඩි කිරීමෙන් විදුලි බල මණ්ඩලය බිලියනයක ලාබයක් ලබා ඇතැයි ඔහු කියා සිටියේය.

විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය ඉතා අසතුටුදායක බවද මණ්ඩලය විශාල ලෙස ණය වී ඇත්තේ. 2013 වසරින් පසු අයක්‍රමය වෙනස් නොවීම නිසා බවද මේ වසර අවසානය වන විට බිලියන 150 පමණ හිඟයක් ඇති වන බවද විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී (බෙදාහැරීම්) රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කරයි. විදුලි බල මණ්ඩලයේ සමස්ත පිරිවැයෙන් 85%ක්ම ජනන වියදම්ය. ලබන වසරේ වැසි සහිත කාලයේ ඒකකයක වියදම රුපියල් 52.36කි. එහෙත් වියළි කාලගුණික තත්ත්වයක් යටතේ එය රුපියල් 56ක් වනු ඇතැයි ඔහු කියා සිටි. විදුලි බිල වැඩි කිරීමෙන් පසුවද ඒකකයකින් වන අලාබය රුපියල් 22. 57කි. ගාස්තු යළි වැඩි කළ යුතුයැයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ එම අලාබය පියවා ගැනීමට බව අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි. ජනන සැලැස්මක් සකස් කොට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා ගෙන එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය පිළිවෙත වුවද සැලැස්ම තිබුණත් අවශ්‍ය බලාගාර නොමැති වීම මෙම අර්බුදයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කරයි. විදුලි බිල වැඩි කිරීමේ බලය ඇත්තේ විදුලි බල මණ්ඩලයට නොව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යැයි ඔහු කියා සිටී.

විදුලිබල මණ්ඩලය අලාබ ලබන බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. විදුලිබල මණ්ඩලය පළමුවෙන්ම ජනතාවට ලබාදෙන්නේ ජනනය සඳහා අවම පිරිවැයක් වැයවන විදුලියයි.  ඒ අනුව ලක්ෂපාන බලාගාරයෙන් නිපදවන ජල විදුලිය සඳහා ඒකකයකට වැය වන්නේ රුපියල් 2.41කි. දෙසැම්බර් මස අවසානය දක්වා එමගින් නිපදවන ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 1440කි. මහවැලි විදුලිය සඳහා ඒකකයකට වැය වන්නේ රුපියල් 2.70කි. දෙසැම්බර් අවසන් වනතෙක් එමගින් ලබාගන්නා ගිගාවොට් පැය ප්‍රමාණය 2385 කි. සමනල ජලාශයෙන් ලබාගන්නා විදුලිය ඒකකයක් රුපියල් 3.68කි. දෙසැම්බර් අවසන තෙක් ඉන් ලබාගන්නා ගිගාවොට් පැය ගණන 675කි. ගිගාවොට් පැය 4500ක් සඳහා සාමන්‍ය වැය ඒකකයකට රුපියල් 2.75කි.

විදුලිබලය භාවිත කරන පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 75කි. ඔවුන්ගෙන් විදුලි ඒකක 1 සිට 30 දක්වා පරිභෝජනය කරන පිරිස ලක්ෂ 14කි. ඔවුන් මසකට භාවිත කරන්නේ ගිගාවොට් පැය 170කි. ඒකක 31 සිට 60 දක්වා පරිභෝජනය කර පිරිස ලක්ෂ 17කි. ඔවුන්  භාවිත කරන්නේ ගිගාවොට් පැය  846කි. 61-90 දක්වා පරිභෝජනය කරන පිරිසද ලක්ෂ 17කි. ඔවුන් භාවිත කරන ගිගාවොට් පැය ගණන 1016කි. සමස්ත පාරිභෝගිකයන්ගෙන් 50%ක්ම පරිභෝජනය කරන්නේ ගිගාවොට් පැය 2422කි. 2.70 ගණනේ ජල විදුලිය ගිගාවොට් පැය 4500ක් නිපදවේ. එමගින් 50%ක විදුලි පාරිභෝගිකයන්ගේ සමස්ත ඉල්ලුම සපුරාලිය හැකියැයි රණවක මහතා පෙන්වා දෙයි. ලබන වසර වන විට විදුලිය සඳහා වන ඉල්ලුම අඩුවනු ඇතැයි සඳහන් කරන ඔහු. විදුලි බල මණ්ඩලය ගණනය කර ඇත්තේ දිනකට ගිගාවොට් 47ක් වැය වන බවට වුවද, එහෙත් සාමාන්‍යයෙන් වැය වන්නේ ගිගාවොට් 35.5 වැනි ප්‍රමාණයක් යැයි ප්‍රකාශ කළේය. පසුගිය අගෝස්තුවේ විදුලි බිල වැඩි කිරීමෙන් පසු ඔක්තෝබර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාබය රුපියල් මිලියන 2840කි. (එම මාසයේ වියදම රුපියල් මිලියන 32986ක් වූ අතර ආදායම රුපියල් මිලියන 35826කි.) විශ්වාසදායක ආරංචි මාර්ග අනුව නොවැම්බර් මාසයේ ලාබය රුපියල් මිලියන 5000ක් බව අපට වාර්තා විය.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ එලෙස විදුලි පරිභෝජනය අඩු වී ඇත්තේ පැය දෙකයි විනාඩි 20ක විදුලිය කප්පාදුව නිසා බවයි. රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ 2023 වසරේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමටය. ලබන වසරේ අඛණ්ඩව විදුලිය ලබා දීමේදී දිනකට ගිගාවොට් පැය 47ක වැයවන බවද ප්‍රකාශ කරයි. ජල විදුලියෙන් උත්පාදනය කෙරෙන්නේ 50%ක් බවත් ඉතිරි 50% ගල් අඟුරු සහ දැවිතෙල් මගින් නිපදවන බවත් ඔහු ප්‍රකාශ කරයි. මේ වන විට තාප බලාගාර ක්‍රියාත්මක නොවන හෙයින්  මෙහෙයුම් ලාබයක් ලබා ඇති නමුදු පැය 24ම විදුලිය ලබා දෙන්නේ නම් එවිට අලාබයක් සිදුවන බවද සඳහන් කරයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ වෙනත් කතාවකි. විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමට බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට පමණක් යැයි ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට බාර කරන බවද. ලබන වසරේ නියඟයක් පැවතියහොත් තවත් රුපියල්  බිලියන 420ක් විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය බවද පවසන ජනාධිපතිවරයා එම මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි. එකම විකල්පය විදුලි බිල වැඩි කිරීම යැයි ඔහු පවසයි. විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට බලයක් නොමැති බවද ජනාධිපතිවරයා කියා සිටී

වසර 9ක් පුරා විදුලි බිල වැඩි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියද විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමි නොවූ බවත් මෙවර විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය නොලදහොත් පිරිවැය පියවා ගන්නේ කෙසේද හා විදුලිය කප්පාදුව පැය කීයක් සිදු කළ යුතුද යන්නට  ආණ්ඩුව විසින් පිළිතුරක් ලබා දිය යුතු බවත් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංකෝන් පවසයි.

විදුලිබල මණ්ඩලය පාඩු ලබනුයේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩිකිරීමට අවස්ථාව ලබානොදුන් බවට පතුරුවන කටකතාව සම්පුර්ණ අසත්‍යක් බවත් මෙම පාඩුවට හේතුව 2014 වසරේදී විදුලි බිල එවක රජය විසින් 25% කින් පහත දැමීම බවත් ජනක රත්නායක කියා සිටී.. 

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් පත්කළ කමිටු යෝජනාවල මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ යෝජනාවක් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දෙසැම්බර් 8දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එම කොමිසම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනම ආයතන පිහිටුවීමට කටයුතු කරන බවද දියුණු රටවල ඇත්තේ එවැනි ක්‍රමවේදයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.. මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ යුතු බවට පසුගිය 2020දී හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර  මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබූ අතර මෙම යෝජනාවට විපක්ෂය දැඩි විරෝධයක් එල්ල කළේය. 

ආණ්ඩුව හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර පවතින කඹ ඇදිල්ල මත ඇමැතිවරයා ප්‍රකාශ කරන අයුරින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ඇතැම් විට ආණ්ඩුව කටයුතු කළ හැකිය. ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. කොමිෂන් සභාවට කිසියම් කාර්යභාරයක් පැවරී තිබේ. එම කාර්යභාරය ජනතාවට සේවය කරනු සඳහා රජය විසින්ම පවරා තිබෙන්නකි. එවැනි ආයතනයක් අහෝසි කරන්නේ නම් එම රාජකාරි ඉටු කිරීම සඳහා වෙනත් පාර්ශ්වයත් තිබිය යුතුය. විදුලිය ගාස්තු ක්‍රියාවලිය විනිවිද භාවයකින් නියාමනය වන්නේ මහජන උපයෝගිතා කොමිසම එම ක්‍රියාවලියට දායක වන බැවිනි. යම් හෙයකින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට පියවර ගන්නේ නම් එය මහජනතාවට එරෙහිව ගන්නා තීන්දුවක් යැයි මහජන උපයෝගිතා කොමිසමේ සේවක සංගමයේ ප්‍රකාශයෙක් දේශයට ප්‍රකාශ කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා