2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ලොකු වැඩ කළ පොඩි හාමුදුරුවෝ

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 254

එදවස අතීතයේ මා දෑස් සැනසූ ඒ දසුන මේ මොහොතේත් මගේ මතකය අභිමුව ජීවමාන වෙයි. කාර්යාලය ආසන්නයේම පයින් යන දුරින් පිහිටි කොළඹ ගංගාරාමය පන්සලට හැකි සෑම උදෑසනම බුදුන් වඳින්නට යද්දී පන්සලේ ඇතුළු ප්‍රවේශයට මඳක් එහායින් කුඩා පුටුවක වාඩි වී එක්කෝ පත්තරයක් කියවමින්, නැත්නම් හිතවත් දායකයෙක් සමඟ යමක් කතා කරමින් මුව පුරා සිනාසී මා දුටු මොහොතක කොහොමද ළමයෝ යැයි කියමින් මා අමතන ගංගාරාමාධිපති පොඩි හාමුදුරුවන්ගේ දසුන අදටත් ඒ භක්තිමත් මතකය සමඟ මගේ නෙතුදර ජීවමානය.

ගංගාරාමාධිපති ලෙස විවරණ ලදත් උන්වහන්සේ හැමදාමත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ම වූයේය. ඒ ආමන්ත්‍රණය ගැඹුරේ සැඟවී තිබුණේ පෙරහන්කඩකින් පෙරූ දිය බිඳක් සේ සුපිරිසුදු ආදරණීය ළෙන්ගතුකමක උල්පතයි. කිවයුත්ත රජ සිටු වෙසින් සිටින කවරෙකුට වුව ඍජුව නොවලහා කියන්නට නොනැමුණු කොන්දක් තිබුණු ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ආදි හුණුපිටිය පෙදෙස වත්මනයේ ඇති සාමකාමී නිස්කලංක බව තෙක් පරිවර්තනය කරන්නට දැරූ වෙහෙස  සහ මානුෂවාදී ක්‍රම ශිල්ප දන්නේ උන්වහන්සේගේ අතීතය සැබැවින්ම කියැවූ දන පමණි.

ගතින් අද උන්වහන්සේ වියපත් වුවත් උන්වහන්සේ කිසිදාක සිතින් වියපත් නොවන බව ඒ උතුම් යතිවර ඇසුරේ සෙවණ එදා මෙදාතුර නිරතුරු ලබන උවැසියක ලෙස මම දනිමි. සංසාරණ්‍යයේ දිවි සුවිසැරියක මේ යනෙන භව ගමනේ අසූවැනි පියගැටයට පා එසවූ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ අපමණ ගුණ සමුදාය පිළිබඳව මම වදන් වන්දනාවක යෙදෙන්නේ උන්වහන්සේ කළ අප්‍රමාණ මෙහෙවර වෙනුවෙන් අපේ භක්ත්‍යාදර වන්දනීය උත්තමාචාරයද මල් අහුරක් සමඟ පිරිනමමිණි.

1943 දෙසැම්බර් 14 වැනිදා ගල්බොඩ කංකානමගේ දොන් කරුණාරත්න ළදරුවා උපන්නේ ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ තාත්තාට සහ අමරවික්‍රම ලියනගේ සෙලෙහෙනා හාමි යන අම්මාට තුන්වැනි වරටත් මව්පිය පදවිය අභිෂේක කරමිනි.
හාල් පොල් කොස් පොළොස් මැල්ලුම් ගඩා ගෙඩි පැණි හකුරෙන් අහේනියක් නොවූ පවුලක පියා ගොවිතැන් බතින් දරුවන් හය දෙනකුගේ දිවි පෙවෙත සාර සුබාවට සරිකළ පවුලකට ශතයක් ගෙවා කඩෙන් මිලට ගන්නට සිදුවුණේ ලුණු පමණක් බව දවසක් කීවේත් පොඩි හාමුදුරුවන්මය. අසනීපයකට දොස්තර මහත්තුරු සොයා නොගිය ඒ මාතර ගල්බොඩ පුංචි ගමේ ගෙදර නිවැසියන් කොයි අසනීපයටත් වාගේ ඉඟරු කොත්තමල්ලි බීවේය.

ගල්බොඩ කපුදූව ඉස්කෝලේට සැතපුම් තුනක් පමණ පයින් ගිය දොන් කරුණාරත්න දරුවා මහ වැසි ඇද හැලුණු දවස්හි ඉස්කෝලයට ගියේ ඔරුවකය. නැත්නම් කෙහෙල් කොට පාරුවකය. හතරේ පන්තිය තෙක් පාසල් ගිය චර්යාව එය විය. කුඩා වියේදී විසේකාර දඟයෙකු වූ පොඩි හාමුදුරුවෝ බංකුවේ බාවා වේවැල් පහර කන්නට සුදුසුකම් ලද්දේ ළඟපාත ඉස්කෝලවල්වල ළමයින් සමඟ ගහ බැණ ගැහීම්වලට ගිය වරදටය.

ඒ දඟකාර සමනළ වියට ඒ දරුවා නැවතීමේ තිත තැබුවේ වයස අවුරුදු 11දී පමණය. ඒ 1954 නොවැම්බර් මස 08 වැනිදාය. ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නමින් දොන් කරුණාරත්න දරුවා උතුම් සිවුරු පදවි සම්ප්‍රාප්තිය ලද්දේ එදවසය. සාමණේර ඥානිස්සර පොඩි හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වූයේ එවක ගංගාරාමයේ විහාරාධිපති වූ දෙවුන්දර ශ්‍රී වාචිස්සර ස්වාමීන් වහන්සේ සහ දෙවුන්දර ශ්‍රී රතනජෝති නායක ස්වාමීන් වහන්සේය.

එදා පටන් අද වනතෙක් යතිවර දිවිසැරිය තුළ උන්වහන්සේගෙන් සිදුවූ ශාසනික, සමාජීය, මානුෂීය මෙහෙවර මෙතෙකැයි වදනින් විවරණය කළ හැකිදැයි සිතනු මැනව. උන්වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ උන්වහන්සේගේ දර්ශනය හුදෙක් දහමට පමණක් ලඝු නොවීමය. සීමා නොවීමය. ඇරුණු ඇසකින්, වියත් මනසකින්, මනුෂ්‍යත්වයේ සුවඳ ගැල්වුණ හද මඬලකින් ලෝකයත් මිනිසාත් දෙස විචාරාත්මකව බැලූ උන්වහන්සේගේ දර්ශනය සෞඛ්‍ය, සමාජීය සේවාව, දේශපාලනය, අධ්‍යාපනය, ආර්ථිකය මේ ආදී නොයෙකුත් දිශානතීන් කරා විහිද ගිය බව සාක්ෂාත් කරනු උදෙසා සංනිදර්ශන බොහොමයකි.

රෑ මැදියමද ඉක්මගිය කණිසමෙහි වැහෙන ගංගාරාම පන්සලේ ද්වාරය ජාති ආගම් කුල වර්ණ පංගු භේදයකින් වියුක්තව සියලු දන වෙත ඇරෙන්නේ කුරුලු හඬ නැගෙන හිමිදිරියේමය. ඒ එදා පටන්ම ගංගාරාමයේ සිරිතය. සැඟවුණු යතිවර චරිත, හිනා නොවන, කතා නොකරන, ඇහුම්කන් නොදෙන යතිවර චරිත ඒ අපූර්ව පුදබිමේ කිසිදා වැඩ විසුවේ නැත. ජීවිතයේ සියලු දුක් පිරිපත හමුවේ තැලෙන පොඩිවෙන මිනිසුන් සෙනසුනක් සොයාගෙන එන තැනක් බවට ගංගාරාමය පත්වූයේ මීට බොහෝ කලකට පෙරාතුවය. ගංගාරාමයේ වැඩවෙසෙන බුදුපිළිම වහන්සේ මෙන්ම ගංගාරමයේ මහා බෝධීන් වහන්සේ අභිමුව එදා මෙදාතුර අසංඛ්‍යයක් මිනිසුන්ගේ දුක් වේදනා වෙනුවෙන් මල් පිදෙන්නට ඇත. පහන් දැල්වෙන්නට ඇත. පිරිත් සජ්ඣායනා කෙරෙන්නට ඇත. පිරිත් පැන් ඉහෙන්නට, පිරිත් නූල් බැඳෙන්නට ඇත. ඒ සියල්ලේ ධ්වනිත අර්ථය වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්, ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ, ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමීන්වහන්සේ ඇතුළු යතිවර පරපුරේ හදවත්හි ලැගුම්ගත් මානුෂවාදයේ සොඳුරු සංධ්වනියයි.

ජනවාරි පළමු වැනිදාටත් සිංහල අලුත් අවුරුද්දටත් ගංගාරාමයේ යතිවරයාණන් වහන්සේලාගේ ආශීර්වාදය ලබාගැනීමට සිරිතකට මෙන් පැමිණෙන දායක දායිකාවන් මෙන්ම අවට ප්‍රදේශවාසීහු පිරිසක්ද සිටිති. පන්සල් බිමට සිංහල අලුත් අවුරුදු දාට පැමිණෙන සුවහසක් මිනිසුන්ගේ දෑතේ පිරිත් නූලක් ආශීර්වාදයේ අනුහසින් ගැට ගැසුණේ පොඩි හාමුදුරුවන්ගේ දෑතින් හෝ වෙනත් යතිවරයාණන් වහන්සේ නමකගේ දෑතිනි. එදිනට පන්සලට පැමිණෙන දායක දායිකාවෝ රස කැවිල්ලෙන්ද සංග්‍රහ ලබති. ජනේරුවේ උදාව සනිටුහන් වන දවසේද ඒ අයුරින්ම විශාල පිරිසක් ගංගාරාමයට එන්නේ උන්වහන්සේලාගේ ආශීර්වාදය ලබන්නටය.

බොහෝ දායක දායිකාවන් දෙසැම්බර් 31වැනිදා රාත්‍රිය ගත කරන්නේ ගංගාරාම පුදබිමේය. රූ මැදියම ඉක්ම ගිය කල්හි ඇරඹෙන පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඔවුහු ආශීර්වාද ගැන්වුණු හදවතින් ජනේරුවේ උදාව පිළිගනිති. වරක් ඉන්දියාවේ සංචාරයක යෙදුණු ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් දුටුවේ Tree Bank ලෙස සඳහන් වූ නාම පුවරුවකි. නිර්මාණශීලී චින්තනයකින් යුතු වූ උන්වහන්සේ ගස් බැංකුව ව්‍යාපෘතිය ඇරඹුවේ එදා ඒ දුටු පුවරුව ඔස්සේ දියත් කළ චින්තන විප්ලවයක ඵලදායීම ප්‍රතිඵලය වශයෙනි.

ගංගාරාමය සතු අකුරුස්ස ඌරුමුත්ත වතුයායේ තේක්ක, මහෝගනී ගස් වවමින් ඒ වතු යාය මහා වනාන්තරයක් ලෙස අසිරි ගැන්වූයේද උන්වහන්සේගේ සංකල්පනාවකට අනුවය. කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන් වෙනුවෙන් කතරගම විධිමත් සැප පහසුකම් සහිත නොමිලේ නවාතැන්දෙන නවාතැනක් ඉදි කරන්නට පවුරු පදනම් සැකසුවේද උන්වහන්සේමය. ඒ බිම පුරා සිය දහස් වතාවක් උන්වහන්සේගේ පා සළකුණු රුඳී තිබෙනවාට සැක නැත.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් කළ ශාසනික සමාජීය මෙහෙවරෙහි වටිනාකම කිසිදා තුලාවක ලා මනින්නට නොහැකි තරම්ය. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ මෙන්ම සංසාරණ්‍යයේ සරණ සසර සුවිසැරිය පුරා උන්වහන්සේගේ කළණ මිත්‍රත්වයද අපට සුපහන් ප්‍රාර්ථනාවකි.

I සංජීවිකා සමරතුංග
(සේයාරූ: සුමුදු හේවාපතිරණ සහ ප්‍රසන්ත ලාල් ද අල්විස් විසින් රචිත ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ග්‍රන්ථයෙනි)

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05