2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ’’මතක’’

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 56

ශ්‍රීලංකන් ගුවන් සේවය ආරම්භ කරන ලද සුවිශේෂී ව්‍යාපෘතියක් මල්පල දරමින් ජාත්‍යන්තර සම්මානයකට හිමිකම් කීමට පසුගියදා හැකියාව ලැබුණි. මෑතකදී පැවැත්වූ Sheikh Mohammed Bin Rashid AI Maktoum (SMBR) Gobal Aviation සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය මෙම ව්‍යාපෘතියට හිමි විය. ඒ සෙසු ගුවන් සේවාවන්හි ඉදිරිපත් කිරීම් 118ක් අභිබවා යමිනි. එහි අවසාන විනිශ්චය සිවිල් ගුවන් නාවික සේවා සංවිධානය විසින් නියෝජනය කරන ස්වාධීන මණ්ඩලයක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහජන සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ එයාර් බස් සමාගම විසින්ද සිදුකරන ලදී.

මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවාව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය හඳුන්වන්නේ ''මතක'' (Mathaka) නමිනි. මතකයන් මඟින් බොහෝ විට පුද්ගලයකු නිර්වචනය කරන අතර Mathaka ව්‍යාපෘතිය නම තුළින් කියැවෙන්නේද සිංහල භාෂාවෙන් ''මතකයන්'' යන්නයි. ඒ අනුව Mathaka යනු මතකයන් සතු වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීමයි. නව අත්දැකීම් හෝ ආදරණීයන් වෙනුවෙන් ලොව පුරා සංචාරය කරන පුද්ගලයන් සඳහා මතකයන් නිර්මාණය කිරීමේදී ගුවන් සමාගමක් ලෙසින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරයි. එමනිසා Mathaka පිටුපස ඇති අදහස නම්, මිනිසුන්ගේ ගුවන් ගමන් පිළිබඳව මතකයන් කලාත්මක ලෙස ස්පර්ශ කළ හැකි දෙයක් ලෙසින් හැඩගන්වා ගැනීමයි. ඒ අනුව Mathaka ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලබන්නේ පෙරදිනක ගුවන් ගමන් අතරතුර භාවිතා කරන ලද යම් නිෂ්පාදනයක ඉවත ලද කොටස නැවත නව නිෂ්පාදනයන් බවට පත්කරලීමයි. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට සිය පරිසර හිතකාමී ආයතනික දර්ශනය නව මානයකට ගෙන යාමට ඉඩ සැලසී ඇත.

''අපේ ගුවන් යානාවල ආසන කවර, තිර රෙදි ආදිය ඉවතලද්දී බොහෝවිට අපි ඒවා පුළුස්සනවා. ඒකටත් ගුවන් සමාගම විසින් යම් වියදමක් දරන්නට සිදුවුණා. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාදැයි අපි කල්පනා කළා.

ඒ අනුව අපි ''House of Lonali'' ආයතනයත් සමඟ එකතුවෙලා ''මතක'' ව්‍යාපාතිය ආරම්භ කළා. එයින් අපේ සමාගමෙන් ඉවතලන ද්‍රව්‍යයන් House of Lonali ආයතනය හරහා තමන් සේවක පිරිසක් එක් කරගෙන ඔවුන්ට තම නිවෙස්වල සිටම අලුත් නිර්මාණ ඇතිකරලන්නට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඒ අනුව මේ වනවිට ''මතක'' හා සම්බන්ධ වුණ කාන්තාවන් ඔවුන්ගේ දරුවන් පාසලට ඇරලවා නිවසට පැමිණ තම නිවසේ සිටම මෙම නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා. එමඟින් අද වනවිට බොහෝ පිරිසකට රුකියාවක් ''මතක'' හරහා ලැබිමත් ලොකු ජයග්‍රහණයක්.'' යැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු ආයතනික සංනිවේදක දීපාල් පෙරේරා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාවිතයට ගත නොහැකි ගුවන් යානා ආසන ආවරණ පොරෝනා රෙදි (බ්ලැන්කට්) නිල ඇඳුම්, ගුවන් යානයේදී සහ ගුවන් ගමන් ක්‍රියාවලියේදී භාවිතයට ගැනෙන වෙනත් දෑ මීට පෙර ඉවත දැමීමට කටයුතු කර තිබුණි. වාර්ෂිකව එසේ ඉවතලන ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 16ක් පමණ විය. මතක ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර මෙම අපද්‍රව්‍ය අවසානයේදී කසළ අංගනයකට එක්රුස් වූ අතර, ඒ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් වැය කිරීමටත්, සැලකිය යුතු පරිසර දූෂණයකටත් දායක වීමටත් ගුවන් සමාගමට සිදුවිය.

''House of Lonali'' ආයතනයේ ලෝනාලි මහත්මිය පැමිණ ඉවතලන මේ ද්‍රව්‍යවලින් නව නිෂ්පාදනවලට අවශ්‍ය දෑ තෝරාගනු ලබනවා. ඒ වගේම අපේ ආයතනයේදීත් අවශ්‍ය කරන දේවල් සම්බන්ධයෙන් ලොනාලිට කිව්වහම ඇය විසින් ඒ නව නිෂ්පාදනයත් අපිට මේ ඉවතලන දේවල්වලින් නිර්මාණය කරල දෙනවා. ආයතනයේ උත්සවවලදිත්, ලබාදෙනු ලබන ත්‍යාගයන් සම්බන්ධයෙන්ද මේ වනවිට අපි මේ නව නිෂ්පාදන හරහා ලබාදීමට කටයුතු කරනවා. ඒ හරහා ඒ ත්‍යාගයන් වෙනුවෙන් වැයවන මුදල් පවා අඩුකර ගැනීමට අපිට හැකියාව ලැබුණා. අද වනවිට සිතියම් සහ පොත් වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒවා හරි අපූරුවට නිර්මාණය කර දීමට ''House of Lonali'' ආයතනයට හැකියාව ලැබිලා තියෙනවා.'' යැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරු මෙහෙයුම් කපිතාන් අනුශාඩ් ලියනගොඩ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව මතක නිෂ්පාදන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අතරතුරදී මෙන්ම ''House of Lonali'' වෙබ් අඩවිය සහ සිල්ලර හවුල්කරුවන් හරහා මිලදී ගත හැකිය.  මතක නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට තමන් පරිසර හිතකාමී පමණක් නොව, ඔවුන් ආයෝජනය කර ඇති මුදල සම්පූර්ණයෙන්ම ගුවන් සමාගමේ අනෙකුත් තිරසාර මුලපිරීම් සඳහා අරමුදල් සපයන බව දැන ගැනීමෙන් තෘප්තිමත් විය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකන්, ''House of Lonali'' හරහා අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට අයත් කාන්තාවන්ට ජීවනෝපාය සපයා ගැනීමට සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට විශාල සවිබලයක් සපයයි.

■ දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප: සුමුදු හේවාපතිරණ