2022 දෙසැම්බර් 18 වන ඉරිදා

මෙවර ලෙල්ලටම බැස්ස නත්තල් වෙළෙඳාම

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 97

අසිරිමත් නත්තලට තව ඇත්තේ දින කිහිපයක් පමණි. වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේදී නත්තල සැමරීමට ජනතාවට ඇති කැමැත්තෙහි යම් අඩුවක් පවතින බව පෙනී යයි. කොළඹ නගරයේ වෙනත් වසරවල ඉදිවෙන තාවකාලික නත්තල් සැරසිලි අලෙවිසල් මෙවර අඩුය. ඉදිවී ඇති අලෙවිසල්වලටද ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතී.

''අපි බෞද්ධ. හැබැයි හැම වසරකම අපිත් ගෙදර නත්තල් ගහක් ගෙනල්ලා සරසලා නත්තලට ගේ ලස්සන කරනවා. වෙන කඩවල බඩු ගණන් නිසා බස් වියදම් කරගෙන පිටකොටුවට ආවේ සැරසිලි ටිකක් ගන්නයි. බඩුවල ගණන් ඇහුවාම පුදුම හිතෙනවා. අවුරුදු ගාණක් තිස්සේ තිබුණු ප්ලාස්ටික් නත්තල් ගහ පරණ නිසා ගිය අවුරුද්දේ පාවිච්චියට අරගෙන ඒක විසි කරලා දැම්මා. මේ පාර නත්තල් ගහක් ගන්න තියා හිතාගන්නවත් බැහැ. පොඩි නත්තල් ගහක් පිටකොටුවෙම රුපියල් තුන්දාහයි. රුපියල් තුන්දාහකට නත්තල් ගහක් අරගෙන මොනවායින් සරසන්නද? ඒ නිසා නත්තල් ගහක් ගත්තෙ නැහැ. බස් ගාස්තු වියදම් කරගෙන කොළඹට ආපු ගමනින් කිසිම වැඩක් වුණේ නැහැ. වෙනදාට රුපියල් තුන්සීයකට ගත්තු සැරසිලි අද පන්සිය පනහයි. බස් ගාස්තු වැඩි නිසා දැන් කෝච්චියෙන් තමයි හිස් අතින් ගෙදර යන්න වෙලා තියෙන්නෙ.'' යැයි වාද්දුව මිහිරි කරුණාදාස මහත්මිය දේශයට පැවසීය.

මේ දිනවල මහාමාර්ග දෙපස ඇති තාවකාලික අලෙවිසල් අසල ගැවසෙමින් නත්තල් සැරසිලි තෝරන පිරිසෙන් බොහෝ දෙනකු අවසානයේදී එම වෙළෙඳ කුටි අසලින් නික්ම යන්නේ කිසිදු සැරසිල්ලක් මිලදී නොගෙනය. සැරසිලි මිලදී ගැනීමට හිතේ කැමැත්තක් තිබුණද අවශ්‍ය මුදල් නොමැතිකම හේතුවෙන් බොහෝ දෙනකුට අද සිදුව ඇත්තේ ගිය වසරවල මිලදී ගත් සැරසිලිවලින් තම නිවෙස හා නත්තල් ගස සැරසීමටය. මේ නිසාම මෙවර බොහෝ නත්තල් සැරසිලි වෙළෙඳාම් කරන වෙළෙඳුන්ට සිදුව ඇත්තේ කිසිවක් නොගෙන පිටුපා යන පාරිභෝගිකයන් දෙස බලා සිටීම පමණි.

''මේ පාර පිටරටින් නත්තල් බඩු ගෙන්වන්න දෙන්නෙ නැති නිසා අපිට විකුණන්න බඩු නැහැ. මේ තියෙන හැම එකක්ම මේ රටේ නිෂ්පාදනය කරපු ඒවායි. ඒ නිෂ්පාදනවලට මිනිසුන්ගේ ඉල්ලුමක් නැහැ. බොහෝ දෙනා මෙතනට ඇවිත් මේ බඩු අතපත ගාලා චයිනීස් සැරසිලි නැද්ද කියලයි අපෙන් අහන්නෙ. වෙනදා වගේ චයිනීස් සැරසිලි තිබුණා නම් මීට වඩා විකුණගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.'' යැයි පිටකොටුවේ නත්තල් සැරසිලි වෙළෙඳාමේ නියුතු මොහොමඩ් නවාස් දේශයට අදහස් දක්වමින් පැවසීය.

නවාස් මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මුස්ලිම් ජාතිකයෙකි. සෑම වසරකදීම ඔහු පිටකොටුව නගරයේ ඉදිවුණු තාවකාලික අලෙවි කුටියක නත්තල් සැරසිලි වෙළෙඳාමේ නිරත වෙයි. ඔහු පවසන පරිදි මේ වනවිට තමන් මෙම රුකියාවේ නිරත වී වසර හතළිහකි. ඒ කාලය පුරාවට වෙළෙඳාමේ අඩුවක් ලද වසර ගණන ඉතා අඩු බව ඔහු පවසයි. පසුගිය වසරේදී කොවිඩ් වසංගතය සමයේ වෙළෙඳාමේ යම් අඩුවක් පැවතියද මීට වඩා ආදායමක් ලද බව ඔහු සඳහන් කරයි.

''ලංකාවේ නිෂ්පාදනය කරන මේ සැරසිලිවලට ඉල්ලුමක් නැහැ. මිනිස්සු අතේ සල්ලි නැති ප්‍රශ්නයටත් වඩා බඩු නැතිකම නිසා අපිට හොඳ ආදායමක් මේ පාර ලබාගන්න බැරි වුණා. ගිය පාර තිබුණු චයිනීස් බඩු කිහිපයක්ම තිබුණා. ඒවා ඉතා ඉක්මනින් අලෙවි වුණා. අලුතින් කිසිම බඩුවක් ආවේ නැහැ. මේ හැම දෙයක්ම පරණ දේවල්. මේ පාර නත්තල් ගස් ගෙන්වන්න දුන්නෙ නැහැ. බද්ද වැඩියි. නැව් ගාස්තු වැඩියි. එතනින් එළියට ගන්න වුණත් මහත්තුරු කී දෙනෙක්ට සල්ලි දෙන්න ඕනෙද? එහෙම දුන්නට පස්සේ ඒ හැම මුදලක්ම අයකර ගන්නේ මේ පොඩි මිනිසුන්ගෙන්. අවුරුදු හතළිහක් තිස්සේ මම මේ වෙළෙඳාම කරනවා. අද මේ සැරසිල්ලක් රුපියල් තුන්සීයයි. මේක හොඳ නිපැයුමක් නම් රුපියල් හාරසීයටත් ගන්න මිනිස්සු මෙතනට එනවා. නමුත් මේ රටේ නිෂ්පාදනය කරන බඩුවල කිසිම පිළිවෙළක් නැහැ. චයිනීස් සැරසිලි පන්සීයයි කිව්වත් ගන්න අය මෙතනට එනවා. මේ පාර අපිට සෑහෙන්න පාඩුයි. අපි දෙසැම්බර් 10 වැනිදා විතර මේ බඩු ටික මෙතනට දැම්මා. තාම ලොකු ලාභයක් ගන්න බැරි වුණා. සමහර අවුරුදුවල දවසකට ලක්ෂ හයක හතක බිස්නස් එකක් අපි කළා. නමුත් මේ අවුරුද්දේ දවසකට රුපියල් පහළොස් දාහක් හොයාගන්න බැරි වුණා. නත්තල් ගස් වෙන අවුරුදුවල පිටකොටුවේ වැහි වැහැලා. නමුත් මේ පාර නත්තල් ගස් හරිම අඩුයි. මේ තදබදය අස්සේ නත්තල් ගස් ගෙන්නුවොත් වරායෙන් ඒ කන්ටේනර් එක එළියට ගෙන්වද්දී සල්ලි ගසාකන මහත්තුරු කොච්චර නම් ඉන්නවාද? ඒ අයට ඒ ගතමනාව දීලා ඉවර වුණාට පස්සේ ඒ නත්තල් ගහේ මිල ගොඩාක් ඉහළ යයි. ඇත්තටම ඒකෙන් හැම පැත්තෙන්ම පීඩා විඳින්නේ අපි වගේ මිනිස්සුයි.'' යැයි මොහොමඩ් නවාස් වැඩිදුරටත් පැවසීය.

ගිනිකෙළි වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් වෙනදා මෙන් මේ වසරේදී දකින්නට නැත. වෙනත් වසරවලදී උඳුවප් මාසය ආරම්භ වීමත් සමඟ අඩියෙන් අඩිය ලී පටි යොදා ගනිමින් ඉදිවෙන තාවකාලික අලෙවි කුටිවල වෙළෙඳාමේ නිරත වන තමන්ට මෙවර එතරම් ආදායමක් නැති බව ඔවුහු පවසති. මුදල් දී ගිනිකෙළි මිලදී ගෙන ඒවා පුළුස්සා සතුටු වන්නට තරම් නිදහස් සැනසිලිදායක මානසිකත්වයක් අද රටේ ජනතාවට නැත. හාල් කිලෝවක් මිලදී ගන්නට, දරුවන්ට කිරි පැකැට්ටුවක් මිලදී ගන්නට බැරි රටේ ජනතාවට මේ වනවිට ගිනිකෙළි දල්වන්නට ආර්ථික පසුබිමක් නැත.

''මේ දවස්වල අපි වින්ඳ දුක දන්නෙ අපි විතරයි. කොච්චර කෑගැහුවත් බඩු ගන්න මිනිස්සු එන්නෙ නැහැ. වෙන අවුරුදුවලදී අපිව හොයාගෙනම සැරසිලි ගන්න මිනිස්සු ආවා. මේ දවස් වනවිට වෙන අවුරුදුවලදී කඩේ වහගෙන මිනිස්සු පිරිලා. ඒ නිසාම අපි ගාව පඩිවලට ගෝලයෝ පහක් හයක් වැඩ කළා. මේ අවුරුද්දේ එහෙම කිසි වෙළෙඳාමක් නැහැ. ගිය පාරට වඩා මේ පාර මේ සැරසිලිවල ගාණ වැඩියි. ඒ ගාණට බඩු ගන්න මිනිස්සු ළඟ සල්ලි නැහැ. මේ පාර අඩි දෙකේ නත්තල් ගහේ මිල රුපියල් එක්දාස් පන්සීයයි. අඩි එකේ නත්තල් ගහක මිල රුපියල් අටසීයයි. අපි ගිය අවුරුද්දේ රුපියල් තුන්සීයට වෙළෙඳාම් කළා. ගිය අවුරුද්දේ අඩි හතරේ නත්තල් ගස රුපියල් එක්දාස් දෙසීයකට දුන්නට මේ අවුරුද්දේ ඒ නත්තල් ගස රුපියල් හාරදාහයි. ගිය අවුරුද්දේ රුපියල් එකසිය දහයට තිබුණු නත්තල් තොප්පිය මේ පාර රුපියල් තුන්සීයයි. ඉතින් මේ මිලත් එක්ක මිනිස්සු බඩු ගන්නෙ නැහැ. මේ පාර අපේ ආදායම හොඳටම පහළ බැහැලා.'' යැයි කොටහේනේ ඊගල් මහතා දේශයට කීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ