2022 දෙසැම්බර් 11 වන ඉරිදා

සංචාරකයෝ එන එක හොඳයි: හැබැයි ලැබෙන වාසි මදි

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 103

දකුණු වෙරළ තීරයත් මෙරට සංචාරක කර්මාන්තයත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳීමකි. මේ වනවිට  සංචාරක සමය ආරම්භ වී තිබේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ වැලේ වැල් නැතිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටි මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට යම් අස්වැසිල්ලක් ලැබී තිබේ. මක්නිසාදයත් රුසියානු සංචාරකයන් මෙරටට පැමිණෙන නිසාය. සංචාරක කර්මාන්තයේ නිරත වූවන් පවසන ආකාරයට රුසියානු සංචාරකයෝ  අත දිගහැර මුදල් වියදම් නොකරති. ඇතැමුන් වෙළඳසල්වලින්  ආහාර  ද්‍රව්‍ය මිලදී ගෙන  උයා පිහාගෙන කති.

මේ අතර දිගු කාලයක සිට මෙරට රැඳී සිටින ඇතැම් රුසියානුවන් මෙරටට පැමිණෙන  රුසියානු සංචාරකයන් සඳහා සේවා සැපයීමටද ඉදිරිපත්ව සිටිති. මේ නිසා බඩේ පහර වැදී ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ටය. ඔවුහු මෙරට සංචාරක ගමන් සංවිධානය කරති. අවන්හල් බදු පදනම මත ලබාගෙන රුසියානුවන්ට අවශ්‍ය සේවා ලබාදෙති. මේ නිසා සිදුවන්නේ අපේ රටට ලැබීමට තිබූ ඩොලර් ප්‍රමාණයක් අපිට අහිමිවීමයි. මේ ගැන සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අවධානය යොමුවී නැත. කෙසේ වුවද මේ වනවිට උණවටුන වෙරළ තිරය යම්තාක් දුරට රුසියානු සංචාරකයන්ගෙන්  පිරීගොස් ඇත. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් සියයට 90ක්ම රුසියානු සංචාරකයන්ය.

සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට මෙය යම්කිසි අස්වැසිල්ලකි. ඒ කොයි හැටිවුවද සංචාරක කර්මාන්තයේ නිරත වූවන් ගැටලු රැසකට ලක්ව සිටිති.

රුසියානු සංචාරකයෝ මෙහෙ බිස්නස් කරනවා

උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදීවිලා හෝටලයේ අධිපති සුමිත්  උබේසිරි මහතා කීවේ මෙවැනි කතාවකි.

ඇතැම් රුසියානු සංචාරකයන් විසින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට හොර රහසේම සේවාවන් සපයමින් රටට ලැබීමට තියෙන ඩොලර් ටිකද ඔවුන්ගේ රටට ආපසු රැගෙන යනවා. සංචාරක කර්මාන්තයේ යම් වර්ධනයක් තියෙනවා. රුසියානු සංචාරකයන්ගේ යම් පිබිදීමක් තියෙනවා. උණවටුන සංචාරක කලාපයට පැමිණි විදේශිය සංචාරකයන් අතුරින් සියයට 90ක් විතර ඇවිත් ඉන්නේ  රුසියානු සංචාරකයන්.  ඒ අයගෙන් බොහෝමයක්ම මුදල් වියදම් කරන්න ආපු අය නොවේ.වෙළඳසල්වලට ගොස් කෑම බීම ගෙනැල්ලා උයාගෙන කනවා. අඩුවෙන් තමයි වියදම් කරන්නේ. ඇතැමුන් මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ගේ සේවාවන්ද හොර රහසේම පවත්වාගෙන යනවා. ඇතැම් රුසියානුවන් විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලද නිරතව සිටිනවා. මේ නිසා ත්‍රිරෝද රථ රියදුරන්ට පවා මුදලක් හොයා ගන්න අපහසුවෙලා තියෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය වන්නේ සංරක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ හොඳින් අධීක්ෂණය කිරීම පමණයි.

පසුගිය දිනවල ඇතැම් රටවල්වලින් තම සංචාරකයන්ට පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට යනවානම් සෞඛ්‍යය ගැන දෙවරක් හිතන්න කියාලා. ශ්‍රී ලංකාවේ බෙහෙත් හිඟයක් තිබෙන බවත්, පෞද්ගලික රෝහල් කිහිපයක් කොළඹ නගරයට  පමණක් සීමා වී ඇති බැව් ඔවුන් සඳහන් කළා.

මේ නිසා එම රටවලින් එන්න හිටපු විශ්‍රාම සුවයෙන් සිටින වයස අවුරුදු 55 ඉක්මවූ සංචාරකයන් අපේ රටට ආවේ නැහැ. ඔවුන් ළඟ තමයි ගොඩක් මුදල් තියෙන්නෙ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නමට පමණක් සීමාවෙලා. මේ අය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වෙළඳ සල්පිල්වලට කියලා පිටරට විනෝද චාරිකා යමින් රජයේ මුදල් නාස්ති කරනවා.

අපි බැංකු ණය ලබාගත්තේ  සියයට සියයක් සංචාරක ව්‍යාපාරය සඳහායි. ඒවා නැවත ගෙවීමේදී සහන කාලයක් රජය ලබාදුන්නේ පොලිය මත තවත් පොලිය පැටවෙන  අයුරින් අපි ණය උගුලක හසුකළා. මේ තුළින්  කිසිදු සහනයක් අපට ලැබුණේ නැහැ.

රෑට ලයිට් නොකැපීම හොඳයි

උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ මහතා:

සංචාරක කර්මාන්තයට සලකපු විදිය ගැන අපි කණගාටු වෙනවා. ඩොලර් මගින් තෙල් ගහන්න දකුණු පළාතට එක් ඉන්ධන පිරවුම්හලක් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. එහෙම වුණා නම් විදේශිය සංචාරකයන් පමණක් නෙවෙයි. සංචාරක කාර්මාන්තයේ නිරත වූවන් කොහොම හරි ඩොලර් හොයාගෙන ගිහින් තෙල්ටික ගන්නවා. දැන් සංචාරක කලාපවල රාත්‍රියට විදුලිය කපන්නේ නැහැ. ඒක සාධනීය පියවරක්. රුසියානු සංචාරකයන් පැමිණෙනවා. එක හොඳයි. නමුත් දැනට අපිට පුහුණු ශ්‍රමිකයන් නැහැ. 2019 වර්ෂයේදී දීපු සේවාව ඒ අයුරින් අපිට දෙන්න බැහැ ඇතැම් ආහාර ද්‍රව්‍ය සීමා කිරීම නිසා. මේ නිසා එදා දීපු ප්‍රමිතියෙන් යුතු ආහාර පාන අපිට සැපයීමට නොහැකි වෙලා තියෙනවා. පිහිනුම් තටාක සඳහා භාවිතා කරන ක්ලෝරීන් බකට් එක අපි ගත්තේ රුපියල් 14,500ටයි. දැන් රුපියල් 65,000යි.  

අපිට ගුණාත්මක අයුරින් සේවාවන් සැපයීමට නොහැකි වෙලා තියෙනවා. බිත්තර හිඟයත් සංචාරක කර්මාන්තයට දැඩිව බලපා තියෙනවා. අපිට ඕන දේ සංචාරකයන්ට දීලා ඒ අය ගෙන්වා ගැනීම අපහසුයි.  ඉදිරියේදී  බැංකුවලින් අපේ හෝටල් තක්සේරු කරලා මෙය රජය සතු දේපලක් කියලා බෝඩ් වදින්නත් බැරි නැහැ. පාස්කු ප්‍රහාරයට කලින් මගේ ළඟ 128 දෙනකු වැඩ කළා. මේ වනවිට 28ක් වත් නැහැ. හෙතෙම පවසයි.

ලංකාව හරිම ලස්සන රටක්

රුසියානු ජාතික තරුණියක් වන කිපස් මොස්ට් (24) මෙසේ කීවාය.

මම ලංකාවට ආවේ පළමු වතාවට. ඇත්තටම ගොඩාක් සතුටුයි. ආගන්තුක සත්කාර අතින් ලංකාව වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. ලංකාව හරිම ලස්සන රටක්. උණවටුණ වෙරළ තීරය සුන්දර වෙරළ තීරයක්. ලංකාවේ ජනතාව මුහුණ දී ඇති  ආර්ථික අර්බුදය ඉක්මනින් අවසන් වී ඒ සඳහා මුහුණ දී දිරියෙන් නැගී සිටීමට මෙරට ජනතාවට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා

I යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද