2022 දෙසැම්බර් 11 වන ඉරිදා

එම්බාම් උපාධියට ලංකාවත් සූදානම්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 718

සෝමලතාගේ රාජකාරිය වූයේ මල් ශාලාවට රැගෙන එන මළ සිරුරු ලස්සන කිරීමය. ළදරු මිනී පෙට්ටියක තමන්ගේ අඩුම කුඩුම අසුරාගෙන සිටින පියසිරි, සෝමලතාගේ ගෝලයාය. සෝමලතා මිහිපිට මුණගැසීමට ගම්මු බියවූහ. මගතොටදී වගේම කඩපිලේදී ගම්මුන්ගේ පිළිකුල් සහගත බැල්ම හමුවේ ශක්තිමත් වීමට ඇයට සිදුවන්නේය. එහෙත් ඒ හැමදෙනාගේම ජීවිතයේ අවසානය පිළිවෙළ වූයේ සෝමලතාගේ සියුමැලි දෑතේ වීරියෙනි. ඒ සෝමලතා චාන්දනී සෙනෙවිරත්නයි. ගෝලයා වූ පියසිරි ජගත් මනුවර්ණයි. මිනීකාරයක් ඇතුළේ අත්විඳින ලෝකය හමුවේ එවැනි පියසිරිලා සෝමලතාලා මේ ලොව කෙතරම් සැඟවී සිටිත්ද? ඒ මතකය අවදි කළේ අරුණ ජයවර්ධනගේ නිකිණි වැස්ස චිත්‍රපටයයි. 

ඉනේ හංගාගෙන සිටින කාලේ බෝතලය නැතුව මොන පුතයාටද ඔය රස්සාව කරන්න පුළුවන් යැයි අපේ සමාජයේ මතයක් තිබේ. මිනී පෙට්ටි සාප්පුවේ රස්සාවට සමාජයේ කුමන මතයක් දැරුවත් සෑම මිනිසකුටම ගෞරවනීය සමුදීමකට එයින් ලැබෙන සේවාව සුළුපටු නොවේ. 

මළවුන් හැඩගැන්වීම එක්තරා කලාවකි. මේ ලොව මියයන සෑම මිනිසකුම වී.අයි.පී. ලෙස ඔවුහු සිතති. අපි කෙසේ සිතුවත් මළවුන් හැඩගැන්වීම සඳහා සහතික පත්‍ර පාඨමාලාවේ සිට දර්ශනසූරි උපාධිය එනම් මහාචාර්ය උපාධිය දක්වාම පාඨමාලා ඇතැයි කිසිවෙක් නොසිතති. මළ සිරුරු හැඩගැන්වීම සඳහා උපාධියක් ලබාදීම අපේ රටට ආගන්තුක දෙයක් වූවාට ලෝකයේ වෙනත් රටවල එය බොහෝ සෙයින් පිළිගත් අධ්‍යාපන සහ වැදගත් වෘත්තීය සුදුසුකමකි. මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පය යනු 1980 දශකයේ බටහිර රටවලත් 2000 වසරෙන් පසුව ආසියාතික රටවලත් භාවිතයට ගනු ලැබූ විද්‍යාවකි. ඇමෙරිකාවේ ගංගා විශ්වවිද්‍යාලය, මධ්‍යම ඇමරිකාවේ අවමංගල්‍ය සේවා විද්‍යාලය, මධ්‍යම ඔක්ලහෝමා විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය එම්බාම්කරුවන්ගේ ආයතනය, ඕස්ට්‍රේලියානු එම්බාම්කරුවන්ගේ ආයතනය ආදී අධ්‍යාපන ආයතන මගින් අවමංගල්‍ය සේවා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය, අවමංගල්‍ය සේවාවේදී විද්‍යාවේදී උපාධිය ඇතුළු වෘත්තීය සුදුසුකම්වලින් සැදුම්ලත් උපාධිධරයන් බිහිකරයි. කැලිෆෝනියාවේ මරණාධාර විද්‍යා වැඩසටහන් යනු මියගිය අයගේ සිරුරු සහ අවමංගල්‍ය චාරිත්‍ර හා පිළිවෙත් හා සම්බන්ධ කරුණු අධ්‍යයනය කිරීමයි. මළසිරුරු එම්බාම් කිරීම ආදී කටයුතු පමණක් නොව මළගෙදර ශෝකවන්නන්ගේ හිත් සනසන්නටත් ඇතැම් පාඨමාලාවල න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව උගන්වන විශ්වවිද්‍යාල ලෝකයේ තිබේ. 

ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුමැතිය සහිතව මළසිරුරු එම්බාම් කිරීමේ පාඨමාලාවක් එන වසරේ සිට ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සම්පාදනය කරනුයේ සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා ‘දේශයට’ මෙසේ පැවසුවේය. 

''මළ සිරුරුවල බෙහෙත් ගැල්වීම්කරණ පාඨමාලාවක් ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් සකස් කර තිබෙනවා. අපිට මේ සිලබස් එක හදන්න 2021 අවුරුද්දම ගියා. මමත් කීත් රේමන්ඩ් ඇතුළු අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් 10ක පමණ පිරිසක් එකතු වී ලංකාවේ බෙහෙත් ගැල්වීම්කරුවන් පුහුණු කිරීමට පළමුවරට මාලබේ ප්‍රදේශයේ වෙනම පාසලක් පිහිටුවා පුහුණු සිසුන් සඳහා වෘත්තීය සුදුසුකම් මට්ටම් 4 සිට ඩිප්ලෝමාව දක්වා හැදෑරිය හැකි පාඨමාලාවක් සඳහා විෂය නිර්දේශයක් සකස් කළා. බෙහෙත් ගැල්වීම්කරණය වසරක් පුරා න්‍යයාත්මක සහ ප්‍රායෝගිකව අධ්‍යයන කටයුතු මෙම පාඨමාලාව මගින් ලබාදීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. එන වසරේ පෙබරවාරි මාසය වනවිට මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමේ අධ්‍යයන ආරම්භ කිරීමට කටයුතු යොදලා තියෙනවා. පාඨමාලා කාලය වසරක් වන අතර එය අවසානයේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් රජය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය යෝග්‍යතා පරික්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙනවා. මේ සඳහා මේ වනවිට සිසුන් 40 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටිනවා.''

මේ සඳහා සම්පත්දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය විවච්ඡේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාත් දරනවා. මෙයට අමතරව මේ වනවිට යුරෝපා රටවල ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය යොදාගනිමින් මෙම පාඨමාලාවේ ප්‍රායෝගික ශිල්ප දැනුම ලබාදීම සඳහා මා ඇතුළු අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් 8 දෙනකු පමණ සම්බන්ධ කරවීමට යෝජනා කර තිබෙනවා. මෙම පාඨමාලාවේ වලංගු භාවය සම්බන්ධයෙන් සියලු මැදිහත්වීම් කරන ලද්දේ මහාචාර්ය හර්ෂ දිසානායකයි. අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ අනාගතයේදී මෙම පාඨමාලාව හරහා වෘත්තීය ශිල්පීන්ට වෘත්තීය ගරුත්වයකින් හෙබි සේවාවක් ඉටු කිරීමටත්, මෙරට මෙන්ම විදෙස්ගත රුකියා අවස්ථා ලබාගැනීමටත් අවස්ථා හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.*

මෙම පාඨමාලාව සඳහා ජාතික ආධුනිකත්ව අධිකාරිය වෙනුවෙන් සම්පත්දායකයකු ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය වියවච්ඡේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා මෙසේ පැවසුවේය.

''මළසිරුරු බෙහෙත් ගැල්වීමේ පාඨමාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණා. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිර්දේශ මත අධිකාරිය වෙනුවෙන් සම්පත්දායකත්වය ලබාදීමටයි මෙම වැඩසටහන සඳහා මා සම්බන්ධ වුණේ. මෙම පාඨමාලාව රජයේ නිර්දේශිත පාඨමාලාවක් ලෙස නිර්දේශ කටයුතුවලට අනුමැතිය ලැබීම මත ඉදිරි කටයුතු තීරණය කරන්න අපේක්ෂා කරනවා. මෙම පාඨමාලාව කොළඹ විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයනාංශයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය වියවච්ඡේදන අධ්‍යයන අංශයත් ඉදිරි අවශ්‍යතාව මත අධ්‍යයන කටයුතු සඳහා සම්පත්දායකත්වය ලබාදීමට කටයුතු කරනු ඇති. ඒ වගේම මෙම පාඨමාලාව සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අත්හදා බැලීම් සිදුකිරීමටත්, බෙහෙත් ගැල්වීම සඳහා දැනට භාවිත කරන ෆෝමලින් වෙනුවට නව වර්ගයක් පර්යේෂණාත්මකව හඳුන්වාදීමටත් අප එහිදී බලාපොරොත්තු වෙනවා.” යැයි එදිරිසිංහ මහතා පැවසුවේය.

පසුගිය සමයේ මෙරටට බලපා තිබූ විදේශ විනිමය අර්බුදය මත මෘතදේහ එම්බාම් කිරීමට ෆෝමලින් ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. එවන් සමයක නව අත්හදාබැලීම්වලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගන්නට මෙරට විෂය නිපුණයන්ට හැකියාව ලැබේවා යන්න පැතුමය.

මෘත ශරීර රූපලාවණ්‍ය ශිල්පය පිළිබඳ උපාධියක් සතු ආසියාවේ පළමු පුද්ගලයා වන්නේ ලෙස්ලි ලයනල් රේමන්ඩ්ය. එහෙත් ඔහු මේ වනවිට ජීවතුන් අතර නොසිටී. ඉන්පසුව ආසියාවෙන්ම මෙම උපාධිය හිමිවන්නේ කීත් රේමන්ඩ් සහ ෂැනන් රේමන්ඩ් දෙදෙනාටය. මේ සියලුදෙනා රේමන්ඩ් පරපුරේ සාමාජිකයන් වීම විශේෂත්වයකි. එහෙත් පවුලේ ආභාසය සමගින් වයස අවුරුදු 16 සිට මළසිරුරු එම්බාම් කිරීමේ නිරත වූ ෂැනන් රේමන්ඩ් අවුරුදු 18දී උපාධි පාඨමාලාවට සම්පූර්ණ කළ යුතු මළ සිරුරු 100 සීමාව ඉක්මවා සිටියේය. එහෙයින් ඔහු අවුරුදු 21දී සපුරාලිය යුතු උපාධිය අවුරුදු 18දී ලබාගැනීමට සමත් වූයේය. එහෙයින් එම්බාමින් උපාධිය හිමි දකුණු ආසියාවේ ළාබාලතම බෙහෙත් ගැල්වුම්කරු ලෙස ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ වර්තමාන අධ්‍යක්ෂ කලාකාමී ෂැනන් රේමන්ඩ් හැඳින්විය හැකිය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මෘතදේහය එම්බාම් කිරීමේ කාර්යයත් සිදු වී තිබුණේ ෂැනන්ගේ දෑතෙනි. එසේම සිය වෘත්තීය ජීවිතයේදී සංවේදීම අවස්ථාවක් හැටියට ඔහු සලකනුයේ මියගිය මාස 8ක බිලිඳකුගේ සිරුර සරසන්න සිදුවීමයි. එම කාර්යය ඔහුට කිරීමට සිදුවී තිබුණේ මවගේ ඉල්ලීම අනුව මව දරුවා අසල සිටින අතරතුරේදීය. එම සිරුර සැකසීමට සිදුවී ඇත්තේ මවට නොපෙනෙන පරිදි සඟවාගෙනය. මේ ආකාරයට අනුන්ගේ අවසානය සැරසීමට ළතෙත් සිත් ඇති මිනිසුන් නොසිටිනවා නොවේය. එසේම මෙවැනි පාඨමාලා හරහා වෘත්තීය ගෞරවය සහිත නිපුණත්වයෙන් යුතු පිරිසකගේ සේවය මෙරටට ලබාගැනීමේ භාග්‍යය උදාවීමත් අගනේය.

I සසංක චලන ගිම්හාන