2022 දෙසැම්බර් 04 වන ඉරිදා

ක්‍රිකට් පිටියේ ජය කෙහෙළි නංවා A9 ක් ගත් විශ්මි

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 118

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාල ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න විෂයන් නවයටම (ඒ) සාමාර්ථ නවයක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට සමත් වූවාය. විශ්මි ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

''විශ්මි අපේ බාලම දරුවා. විශ්මිට අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා. මමවත් මගේ බිරිඳ ධම්මිකාවත් අපේ දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම අධ්‍යාපනයට යොමුවෙන්න කියලා බල කළේ නැහැ. අපි දෙන්නා කිසිම වෙලාවක ඒ තුන්දෙනාට තහංචි දාලා නැහැ. මම ඉංජිනේරුවෙක්. මගේ බිරිඳත් උපාධිධාරිනියක්. ඒ නිසා හැම වෙලාවකම පොතපතටම පමණක් සීමාවෙන්න ඕනෙ නැහැ කියල අපි දන්නවා. පොඩි දුව ශිෂ්‍යත්වයෙනුත් ලකුණු 182ක් ලබාගනිමින් ඉහළින්ම සමත් වුණා. විශ්මි දුව මූලික අධ්‍යාපනය ලැබුවෙ හල්ගම මැදගම කනිෂ්ඨ විදුහලෙන්. ශිෂ්‍යත්වය සමත්වෙලා දුව ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට ඇතුළත් වුණා.'' යැයි විශ්මි ගුණරත්නගේ පියා වන අරුණ ගුණරත්න දේශයට අදහසක් දක්වමින් පැවසීය.

විශ්මි කුඩා කල දක්ෂ මළල ක්‍රීඩිකාවකි. ඒ සඳහා යොමුවීමට හේතු වූයේ ඇගේ පියා වන අරුණය. ඔහු එකල පාසල් මළල ක්‍රීඩකයෙකි. ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට හිමිකම් කී අරුණ, තම දරුවන් තිදෙනා කුඩා කල සිට ඔවුන්ගේ මළල ක්‍රීඩා උපදේශකයා ද විය. විශ්මි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ දක්ෂ මළල ක්‍රීඩිකාවකි.

මළල ක්‍රීඩාවට දස්කම් දැක්වූ විශ්මි ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූයේ අහම්බයෙනි. විශ්මිගේ සහෝදරිය ඇයට වඩා වසර තුනක් වැඩිමහල්ය. සහෝදරයා විශ්මිට වඩා වසර දෙකක් වැඩිමහල්ය. විශ්මි දෙක වසර පන්තියේ ඉගෙනුම ලබන කාලයේ සිට තම සහෝදරයා අහළ පහළ පිරිමි ළමුන් සමඟ ගෙවත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අයුරු දුටුවාය. දිවීමට හපනියක වූ විශ්මි ද පසුව ඔවුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණාය.

''දවසක් මම වැඩ ඇරිලා වරුවෙන් ගෙදර ආවා. ගේ ඇතුළේ හිටපු මට ''ලකුණු එකසිය හතරයි'' කියල කෑගහන සද්දයක් ඇහුණා. මම කාමරේ ජනේලය ඇරල ''කවුද මෙහෙම ගහන්නෙ'' කියලා බැලුවා. එතකොට තමයි බැට් එකක්වත් හරියට උස්සගන්න බැරි විශ්මි දුවව මම දැක්කෙ. ඒ ලකුණු ගණනට මම පුදුම වුණා.'' විශ්මිගේ පියා වන අරුණ ගුණරත්න පැවසීය.

විශ්මිගේ මළල ක්‍රීඩා හැකියාව මෙන්ම ඇගේ විශිෂ්ට ක්‍රිකට් හැකියාව ද මුලින්ම හඳුනා ගත්තේ ඇගේ පියාය. කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදියාවක් දැක්වූ විශ්මිගේ සහෝදරයා ද ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දැක්වීය. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මේ හේතු නිසාම දරුවන් තිදෙනාවම නිට්ටඹුව ක්‍රිකට් සමාජයට ඇතුළත් කිරීමට අරුණත් ධම්මිකාත් තීරණය කළහ. ඒ ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. ඒ වනවිට විශ්මි තුන වසරේ ඉගෙනුම ලැබුවාය.

තම සොහොයුරා සහ සොහොයුරිය ක්‍රිකට් සමාජයට පුහුණුවීම් සඳහා යන විට ඔවුන් පසුපසින් යාමට විශ්මි කැමැත්තක් දැක්වුවාය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තම සහෝදරයා සහ සහෝදරියට පුහුණුවීම්වලින් පසුව මව්පියන් විසින් ලබා දෙන ෆ_ට් සැලඩ් කෑමට ඇති ආසාව නිසාවෙනි. පුහුණුවීම් අතරවාරයේදී කෑමට දෙන රසවත් බනිස් ගෙඩිය නිසාවෙනි. කාලය ගතවන විට විශ්මි ද සිය සොහොයුරා සහ සොහොයුරිය සමඟ ක්‍රිකට් පුහුණුවීම්වලට සහභාගි වූයේ දැඩි කැමැත්තකිනි. කුඩා කල මෙන් නොව වර්තමානය වනවිට විශ්මිට පුහුණුවීම්වලින් තොර යමක් නොමැති තරම්ය. අද ඇය වැඩි කාලයක් වැය කරන්නේ ක්‍රිකට් පුහුණුවීම් සඳහාය.

දිනෙන් දින විශ්මි ගුණරත්න ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දැක්වීමට සමත් වූවාය. ඇය 2020 වසරේ පැවති පළමු පෙළ ක්‍රිකට් තරගයකදී ලකුණු 100ක් වාර්තා කළාය. එහිදී ලකුණු අනූ පහක් ලබා සිටි විශ්මි ශතකය ලබාගත්තේ හයේ පහරකිනි. එලෙස දස්කම් දැක්වීමත් සමඟ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය.  

''පසුගිය කාලෙදි දුවට එයාගේ අධ්‍යාපන කටයුතු නිසි විදිහට කරගෙන යන්න ලැබුණේ නැති තරම්. කොවිඩ් නිසා දුවලට හැම වෙලාවෙම ඉන්න වුණේ කෑම්ප්වලයි. ඒ දවස්වල ක්‍රිකට් තරගවලට පුහුණුවීම් තිබුණා. මුලින්ම කොවිඩ් පරීක්ෂණය කරලා ඒක නෙගටිව් නම් එයාලව කෑම්ප්වලට දැම්මා. ඒ නිසා පසුගිය කාලෙදි මාස තුන හතර ගෙදර හිටියෙ නැහැ. පාසල් ගියේ නැහැ. අමතර පන්ති ගියේ නැහැ. පුහුණුවීම් කටයුතු නිසා ඔන්ලයින් ඉගැන්වීම්වලට පවා සම්බන්ධ වෙන්න දුවට බැරි වුණා. හැබැයි දුව පුහුණුවීම් නැති අතරේ එයාගේ පාසල් වැඩ කටයුතු කරල තිබුණා. පාසල් ගුරුවරු වගේම දුවගේ පාසල් යාළුවන් එයාට ගොඩක් උදව් කළා. දුව තනියම හැමදේම පාඩම් කරල අවසානයේදි හොඳ ප්‍රතිඵල ලබා ගත්තා. ඇත්තම කිව්වොත් දුව ගැන මටයි මගේ බිරිඳටයි හරිම සතුටුයි. ක්‍රීඩා කටයුතු නිසාම ''කොහොම හරි විභාගය පාස් කරන්න.'' කියලයි අපි දුවට කිව්වෙ. අපේ ලොකු දුවත් ක්‍රීඩා කරලා (ඒ) 9ක් ගත්තා. විශ්මි දුවත් අක්කා වගේම කොහොම හරි මහන්සිවෙලා හොඳ ප්‍රතිඵල ගත්තා.'' අරුණ ගුණරත්න වැඩිදුරටත් දේශයට පැවසීය.

ක්‍රීඩා කටයුතු සඳහා කාලය වෙන් කිරීමත් සමඟ පසුගිය කාලයේ අධ්‍යාපන කටයුතු අතපසු වීම නිසා ''කොහොම හරි විභාගය පාස් වෙන්න'' යැයි දෙමව්පියන් විශ්මිව ධෛර්යමත් කරද්දී ඒ ධෛර්ය තවත් ශක්තියක් කර ගනිමින් ඇය විෂයන් නවයටම (ඒ) සාමාර්ථ නවයක් ලබාගනිමින් විශිෂ්ට ලෙස විභාගය සමත් වූවාය. ප්‍රතිඵල නිකුත් වූ දිනයේදී විශ්මි සිටියේ ක්‍රිකට් පුහුණුවීම්වල නිරත වෙමිනි. විශ්මිගේ මව ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ලබාගත්තාය. ඇගේ මවට අදහාගැනීමට නොහැකි විය. දෙනෙතින් කඳුළු කඩා වැටිණි. ඇය එකෙණිහිම පුහුණුවීම්වල යෙදී සිටි විශ්මිට මේ සුබ ආරංචිය පැවසුවාය.

''එදත් අපි පුහුණුවීම්වල හිටියේ. අම්මා තමයි කෝල් කරල ප්‍රතිඵල කිව්වෙ. මට පුදුම සතුටක් දැනුණා. මුල ඉඳන්ම (ඒ) 9ක් ගන්න තමයි වැඩ කළේ. හැබැයි ක්‍රිකට් පුහුණුවීම් වගේම තරග තිබුණු නිසා පසුගිය කාලෙ ගොඩක් කාර්යබහුල වුණා. ක්‍රිකට් තරග මැයි දෙවැනිදා වෙනකම් තිබුණා. අපේ විභාගය පටන් ගත්තෙ මැයි විසිතුන් වැනිදා. ඒ නිසා මැව් ඉවර වුණාට පස්සෙ එක විෂයක් දවසක් දෙකකින් පාඩම් කළා. ඉතිරි දවස්වල පසුගිය ප්‍රශ්න පත්‍ර ටික කළා. පුහුණුවීම්වලට යද්දිත් තරගවලට යද්දිත් මම පොත් ටික අරගෙන ගියා. කෑම්ප් ගිහින් හවස් වෙනකම් පුහුණුවීම් කරල රූට මම පාඩම් කළා. මගේ අම්මා තාත්තා අක්කා අයියා වගේම මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු සියලුම ගුරු මණ්ඩලයත් මගේ යාළුවනුත් මට මේ ජයග්‍රහණය ලබාගන්න ගොඩක් උදව් කළා.'' විශ්මි ගුණරත්න දේශයට පැවසුවාය.

I දිශානි ජයමාලි කරුණාරත්න