
සම්ප‍්‍රදායික අපනයන අංශ අතරින් එපිටට ගිය අලුත් අවකාශයක් ගැන අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. මෑතක දී සිදුවූ ආර්ථික අර්බුදය එයට බල කරයි. මෙම වසරේ ආර්ථිකය ඍණ අගයක් ගනු ඇති අතර කලින් වසරට සාපේක්ෂව සියයට දහයකින් පමණ පහත වැටෙනු ඇතැයි සැලකේ. එහි විපාක දැනෙන්නේ ලබන වසරේදී ය. 2023 වසරේදී පවා වර්ධනයක් ගැන බලාපොරොත්තු පළ කළ නොහැක. ආර්ථිකය වර්ධනය සඳහා අලුත් කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ආයෝජනයක් අවශ්‍යය. දේශීය වශයෙන් ආදායම් උත්පාදනය සඳහා ආයෝජනය කරන අතර විනිමය උත්පාදනය සඳහා අපනයන අංශ කෙරෙහි නැඹුරුවිය යුතුව තිබේ.
ශ‍්‍රී ලංකාවේ අපනයනය සුළු වර්ධනයක් පෙන්වන නමුත් එය මෙරට සමස්ත ආනයන සඳහා ප‍්‍රමාණවත් නැත. ආනයන සීමා කරන අතර විදේශ ණය ගෙවීම නතර කර තිබිය දී පවා ගෙවුම් ශේෂ පරතරය පාලනය කර ගත නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් ඉල්ලා ඇති රජය එය මෙරට විදේශ සම්පත් ශක්තිමත් කර ආර්ථිකය යළ නගා සිටුවන පියවරක එක අංශයක් වශයෙන් සලකයි. කෙසේ වෙතත් අලුතින් විනිමය උපයන ක‍්‍රම සම්බන්ධ සැලැස්මක් රටට අවශ්‍යය.
• දූපත් මානසිකත්වයෙන් ඔබ්බට
ජාතික සම්පත් ආරක්ෂා කිරීමේ ආන්දෝලනයක් පවතී. විදේශිකයන් කොල්ලකන බවට විරෝධයක් ඇත. ස්වදේශිකත්වය ගැන පවතින කැක්කුම අනන්‍යතාව ආරක්ෂා කරගැනීම ඉදිරියේ නැත. කවර හෝ උප්පරවැට්ටියක් යොදා රටින් පැන තමන්ගේ අවස්ථාව පාදාගැනීමට සමත් පිරිසක් සිටිති. රට ගොඩනගන්නට, උත්පාදනයක් ඇති කරන්නට දායක නොවෙන්නේ ඇයි? අලුතින් දෙයක් යෝජනා කළහොත් විරෝධතා මතුකරන සුළු පිරිසක් බහුතරයකගේ පැවැත්ම අනතුරට ලක් කර ඇත. ඇඟළුම් කර්මාන්තය ආරම්භ කළ අවධියේ දී මෙරට වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ නගන ලද අවලාද අමතක කළ යුතු නැත. ශ‍්‍රී ලංකාවට පසුව ඇඟළුම් කර්මාන්තයට ඇතුළු වූ බංගලාදේශය, මැලේසියව හා වියට්නාමය අද ඉදිරියෙන් සිටී, ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහක් වන විට බංගලා දේශයේ ඇඟළුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පනහකි.
ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තනය ගැන වත්මන් සමාජයට අවබෝධයක් ඇත. තාක්ෂණ හා සන්නිවේදන අංශ කෙරෙහි අලුත් පරපුර උනන්දුවක් දක්වයි. එහෙත් ආර්ථික ප‍්‍රතිලාභ උදෙසා ක‍්‍රියාත්මකවීමට උත්සාහ දරන්නේ නැත. එයට අනුගත නොවේ. දූපතක මානසිකත්වයෙන් පසුෙව්. මතුකරන විවේචනවලට බියපත්වන දේශපාලනඥයන් හා නිලධාරීන් අතරින් බහුතරයක් පසුගාමීය. ආර්ථික ජවය අරමුණු කරගෙන රටට මගහැරී ගිය අවස්ථා යළි පණගැන්වීම දිනාගැනීමට ශක්තියක් ඇති කරගත යුතුය.
ලෝකයේ ජනගහනය බිලියන අටකට පැමිණ ඇති අතර ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉන්දියාව පත්ව සිටී. ලබන වසරේදී ඉන්දියානු ජනගහනය වැඩිවන විට එහි සැපයුම් සඳහා ලෝකයේ රටවල අවධානය යොමු වී තිබේ. කෘෂි කාර්මික අංශයෙන් අවස්ථා ඇත. බලශක්ති අංශයේද අලුත් පැති තිබේ. සේවා අංශ කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ශ‍්‍රී ලංකාවට මුහුදු සැතපුම් හතළිස් දෙකක් එපිට ඇති දැවැන්ත අවකාශය ඉලක්ක කළ යුතුය.
• විදුලිය උත්පාදනයේ ඇති අලුත් අවස්ථා
ඉන්දීය බලශක්ති අංශ ඉන්දියන් සාගරයේ පවතින ප‍්‍රවණතා ගැන අධ්‍යනයක් කර ඇත. එයට හේතුවක් තිබේ. ඉන්දියාව මුහුණ දී ඇති විදුලිය බල ප‍්‍රශ්නයට විසඳුම් සොයයි. දැනටමත් ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක විදුලිය කප්පාදුවක් පවති. වසර 2030 වන විට දැනට ඇති විදුලිය සැපයුම සියයට තිහකින් වැඩි කරගත යුතු බව දැක්වේ. විදුලිය උත්පාදනය සඳහා සූර්ය තාපය, පරමාණු බලය, හයිඩ‍්‍රජන් තාක්ෂණය හා සුළං බලාගාර ගැන ඉන්දියාව කල්පනා කරමින් සිටී. මෑතක දී භූතානයේ ජල විදුලි බලාගාර සඳහා ආයෝජනය කළ ඉන්දියාව එහි විදුලිය මිල දී ගනිමින් සිටී. ඉන්දීය පර් යේෂණ අනුව ඉන්දියන් සාගරයේ පවතින සුළඟ විදුලියට හැරවිය හැක. මෙගවොට් තිස් දහසක් උත්පාදනය කළ හැකි තරමට සුළං බලයක් ඇත. ශ‍්‍රී ලංකාවට සමීප මුහුදේ, පුනරින් හා මන්නාරම අවට මෙම ස්ථාවර පද්ධතිය පවතී. මෙම සුළඟ භාවිත කළ හැකි විදුලි උත්පාදන ඒකක මුහුදේ පාවෙන සහ ගොඩබිම සවිකළ හැකි බව සොයාගෙන ඇත. එම විදුලිය ඒකකයකට වැයවන මුදල රුපියල් දෙකකටත් අඩු බව දැක්වේ. සාමාන්‍යයෙන් දැවිතෙල් ඒකකයකට වැයකරන මුදල රු. දහසය ඉක්මවයි. ගල් අඟුරු විදුලිය ඒකකයක මිල රු. හතකට ආසන්නය.
ශ‍්‍රී ලංකාවේ විදුලිය අවශ්‍යතා සඳහා දැනට උත්පාදනය කරන ප‍්‍රමාණය මෙගාවොට් 4,600 කි. අලුත් ආයෝජනයක් කළහොත් රටට දැනට උත්පාදනය කරන ප‍්‍රමාණය මෙන් හය ගුණයක් විදුලිය නිපදවිය හැක. අතිරේක විදුලිය ඉන්දියාවට අලෙවි කිරීම අලුත් අපනයන අංශයක් වේ. මෙම කර්මාන්තය සඳහා ආයෝජනය දැවැන්ත කාර්යයකි. මෙගවොට් එකක විදුලිය උත්පාදනයක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ යොදවන්නට සිදුවේ. රටට අවශ්‍ය ගල් අඟුරු මිල දී ගන්නට නොහැකි තරමට විනිමය හිඟ ශ‍්‍රී ලංකාව මෙවැනි දැවැන්ත ආයෝජනයක අපහසුව නොදන්නවා නොවේ. එහෙත් වාසිදායක අවස්ථා අනුව ආයෝජන කැඳවීමට පියවර ගතහොත් දීර්ඝකාලීන ආදායම් මාර්ගයකි.
ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප‍්‍රදේශවල නිපදවන සූර්ය තාප විදුලිය සිංගප්පූරුවට සපයන ව්‍යාපෘතියක් ඇත. එය 2026 වසරේ සිට ක‍්‍රියාවට නැංවෙන බව දැක්වේ. දෙරට අතර ගුවන් සැතපුම් දුර පැය දහතුනකි. මෙපමණ දුරක් දක්වා බලශක්තියට ආයොජනය කිරීම තාක්ෂණයේ තරම පෙන්වයි. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර දුර ප‍්‍රමාණය සලකන විට සුළං බලාගාර ඉදිකිරීම හා ඒවායේ උත්පාදනය ඉන්දියාව දක්වා රැහැන් මගින් යැවීම අපහසු කර්තව්‍යයක් නොවේ.
• ඛනිජ තෙල් කර්මාන්තය
පසුගියදා සෞදි අරාබිය ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළේය. එයට අනුව ඉන් දකුණු ප‍්‍රදේශයේ බොරතෙල් සංචිතයක් පවත්වා ගැනේ. ඉන්දියාවේ තෙල් අවශ්‍යතාව අනුව ලෝකයේ විශාලතම නිෂ්පාදකයා එයට සූදානම්ය. වසර 2030 වනවිට ඉන්දියාවේ තෙල් අවශ්‍යතාවය සියයට පනහකින් වැඩි වෙතැයි සැලකේ. දැනටත් ලෝකයේ විශාලතම ඛනිජ තෙල් භාවිත කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි තැන සිටින ඉන්දියාව අනාගත අවශ්‍යතා ගැන අවධානයක සිටී. එරට වාර්තා අනුව ඉදිරි කාලයේදී අලුත් පිරිපහදු ඉදිකළද ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා සඳහා පිරිපහදු කරන ඉන්ධන විශේෂ දැනට පවතින අවශ්‍යතාව ඉක්මවා තවත් සියයට තිහක් පිටතින් ගෙන්වන්නට සිදුවේ. සියයට පනහක හිඟයෙන් සියයට විස්සක් රට තුළ පිරිපහදු කරන අතර ඉතිරිය ගෙන්වීමේදී එම ව්‍යාපාරික අවස්ථාව සඳහා සෞදි අරාබිය දැන් සිටම ප‍්‍රවේශ වී ඇත. යුරෝපා කොමිසම ඉන්දියාවට හයිඩ‍්‍රජන් බලශක්ති අංශයට නැඹුරු කර එතැනින් වාසියක් ලබාගන්නට ප‍්‍රයත්න දරයි. මෙවැනි ධන අවකාශයක් ගැන ශ‍්‍රී ලංකාව නොතකා හරින්නේ ඇයි?
ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ආශ‍්‍රිතව අලුත් ආයෝජනයක් කළ හැක. එහි කොටස්වලින් වැඩි ප‍්‍රමාණයක් රටට අයත්ය. එහි ආයෝජනය නැණවත් සේ කළ හැක. ත‍්‍රිකුණාමලය වරායට ගෙන්වන බොරතෙල් එහි පිරිපහදුවක් ඇති කළහොත් ගබඩා සංකීර්ණය ඔස්සේ ඉන්දියාවට අපනයනය කළ හැක. ශ‍්‍රී ලංකාවේ ඉගෙනගන්නා සිසු සිසුවියන්ට කාර්මික අංශයේ රැකියා අවස්ථා ලැබේ. බදු ආදායම විශාල වාසියකි. නැගෙනහිර පළාත සංවර්ධනයට ද එය හේතුවක් වනු ඇත.
මන්නාරම ද්‍රෝණියේ ඇති ඛනිජ තෙල් හා ගෑස් සම්පත් ගැන සාකච්ඡා වී තිබේ. තෙල් කැණීම් සඳහා විශාල පරිශ‍්‍රමයක් දරා ඇත. සමාගම් කිහිපයක් එහි නිරත වූ අතර ආර්ථික ඵලදායීතාවයක් රහිත බව මූලික පරීක්ෂණවලදී පෙනීයාම හේතුවෙන් අත්හැර දමා ඇත. පවතින ආර්ථිකයට වඩා විශාල ව්‍යුහයක් සකස් කළහොත් ප‍්‍රතිලාභ ලැබේ. ඛනිජ තෙල් ගෙන්වා ජීවත්වීම වෙනුවට තෙල් නිෂ්පාදන අපනයනය කරන ක‍්‍රම ගැන අවධානය යොමුකළ හැකිය. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳ කේන්ද්‍රස්ථානයකි. කොළඹ, හම්බන්තොට හා ත‍්‍රිකුණාමලය ජාත්‍යන්තර නාවික මාර්ගවලට ආසන්නයේ පිහිටා තිබේ. බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවලට බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්විය හැකි අවස්ථාවක් රටට ඇත.
I සාරා කන්දෙගොඩ