2022 නොවැම්බර් 27 වන ඉරිදා

දෙල් ගෙඩියත් දෙසීයට ගිය කාලේ එළවළු එක්ක බත් කොහොම කන්නද රාළේ!

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 103

මේ දිනවල වෙළෙඳපොළේ එළවළු සහ පොල් මිල අඩු වැඩි වශයෙන් වෙනස් වෙමින් පවතී. පසුගිය දින කිහිපයට සාපේක්ෂයට මේ දිනවල එළවළු මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරති. ආර්ථික අපහසුතා අහස උසට ඉහළ යද්දී එළවළු සහ පොල් මිලද ඉහළ යාම හේතුවෙන් තමන්ට ජීවත්වීම සඳහා විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බව ඔවුහු පවසති.

"දැන් මොනවද කන්න තියෙන්නේ? හැම දෙයක්ම ගණන්. පොල් සම්බෝල ටිකක් එක්ක බත් ටිකක් කන්න බැරි තත්ත්වයට අද රට පත්වෙලා තියෙනවා. අද පොඩි පොල් ගෙඩියක් රුපියල් සීයයි. ඉස්සර කැරට් ගෙඩිය හීනියට කපල, බෝංචි ටිකක් කපලා තෙම්පරාදුවක් දාලා දරුවන්ට කන්න දුන්නා. අද ඒකත් කරන්න බැහැ. අද කැරට් ග්‍රෑම් සීයක් රුපියල් හතළිහයි. ෆ්‍රයිඩ් රයිස් ටිකක් හදන්න එළවළු ටිකක් තියා බිත්තරයක් ගන්නවත් බැරි තත්ත්වයක් අද අපිට තියෙන්නෙ. මේ දේවල් කොච්චර කතා කළත් වැඩක් නැහැ. හැම තැනකදිම තැලෙන්නෙ පොඩි වෙන්නෙ පොඩි මිනිස්සු තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් හිතේ හැටියට එළවළු හතර පහක් එක්ක බත් එක ලැබෙනවා. අපේ දරුවන්ට එක එළවළුවක්වත් කන්නවත් බැරි තත්ත්වයක් දැන් රටේ තියෙන්නෙ." හෝකන්දර මාලනී කුමාරමුණි මහත්මිය දේශයට පැවසුවාය.

දිනෙන් දින ගැටලු සහගතතත්ත්වය තව තවත් වර්ධනය වෙයි. මේ වනවිට කොළඹ නගරයේ තැනින් තැන තාවකාලිකව අටවන ලද වෙළෙඳසල්වල විකුණන දෙල් ගෙඩියක මිලද ඉහළ ගොස් ඇත. ඉතා කුඩා දෙල් ගෙඩියක මිල රුපියල් දෙසීයකි. එමෙන්ම මීට මාස ගණනකට පෙර රුපියල් පනහට විකිණූ කොස් මලු අද නැත. මේ වන විට අවම වශයෙන් කොස් මදුළු මල්ලක මිල රුපියල් එකසිය පනහකි. ඇතැම් පළාත්වල වතුවල ඕසෙට වැවෙන, වැටී කුණු වී යන දෙල් සහ කොස්වල තත්ත්වයද එලෙසය.
"මේ දවස්වල එළවළුවල හිඟතාවයක් තියෙනවා. ඒ නිසා එළවළු මිල පසුගිය කාලයට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා. එයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මැනිං වෙළෙඳපොළට පිට පළාත්වලින් එන එළවළු ප්‍රමාණයේ අඩුවීමක් සිදුවීමයි. එළවළු ප්‍රමාණය අඩුවුණු ගමන් එළවළු මිලේ වැඩිවීමක් සිදුවෙනවා. එහෙම නැතිව සමහරු කියන විදිහට අතරමැදියන් ගසාකෑම් සිදුවීමක් වෙන්නෙ නැහැ. අද වැලිමඩ හොඳ බෝංචි කිලෝවක් තුන්සිය අසූවත් හාරසීයත් අතර මිලකට අලෙවි වුණා. මේ එළවළු එකින් එක වර්ගීකරණය වෙන්නෙත් ගැනුම්කරුවන්ගේ ඉල්ලුම අනුවමයි." මැනිං වෙළෙඳ සංගමයේ උප භාණ්ඩාගාරික ගාමිණී රූපසිංහ මහතා එසේ පැවසීය.

පසුගිය දින කිහිපය තුළ මැනිං වෙළෙඳ සංකීර්ණයේ කැරට් තොග මිල කිලෝවක් රුපියල් තුන්සීයේ සිට තුන්සිය අසූව දක්වා අලෙවි විය. මේ නිසාම බොහෝ වෙළෙඳසල් හිමියන් මැනිං වෙළෙඳ සංකීර්ණයෙන් මිලදී ගන්නේ තුන්සිය අසූවට අඩු මිල ගණන් යටතේ වෙළෙඳාම් වන කැරට්ය. මැනිං වෙළෙඳසලෙන් තුන්සිය අසූවට මිලදී ගත් එළවළු අතරමැදි වෙළෙන්ඳෝ විකුණන්නේ කිලෝවක් රුපියල් හාරසීයකටත් වැඩි මිලකටය. එයින් අපහසුතාවයට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. මේ නිසාම බොහෝ විට වෙළෙඳුන් මැනිං වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ මිලෙන් අඩු එළවළුය.

තවමත් රට පුරා QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රියා පටිපාටිය සිදුවෙමින් තිබේ. මේ නිසාම තවමත් දුර පළාත්වලින් මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත එන එළවළු ලොරි රථවල සැලකිය යුතු අඩුවක් පවතී. එළවළු ප්‍රමාණය අඩුවීමත් සමඟ එළවළු මිලෙහි ඉහළ යාමක් සිදුවේ. මීට මාස ගණනාවකට පෙර වට්ටක්කා ගොවීන්ට තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ඉවත දමන්නට සිදුවුවද මේ දිනවල වට්ටක්කාවලටද යම් මිලක් හිමිව තිබේ. මීට දින කිහිපයකට පෙර මැනිං වෙළෙඳ සංකීර්ණයේ වට්ටක්කා කිලෝවක් රුපියල් එකසිය විස්සක් වැනි මිලකට අලෙවි වුවද මීට ඊට පෙර එය රුපියල් අසූව දක්වා පහත බැස තිබුණි.

"ඉස්සර සුපිරි වෙළෙඳසල්වලට ගියේ සල්ලි භාගේ තියෙන අයනේ. දැන් ඉතින් අපිටත් ඔය සුපිරි වෙළෙඳසල්වලට ගිහින් එළවළු ටිකක් අරගෙන බෑග් එකකට දාගෙන ගෙදර එන්න වෙලා තියෙනවා. සමහර එළවළු කඩ ග්‍රෑම් දෙසිය පනහට අඩුවෙන් එළවළු දෙන්නෙ නැහැ. අපිත් එළවළු ටිකක් වැඩිපුර ගෙදර අරගෙන යන්න ආසයි. ඒත් ඒවාට දෙන්න සල්ලි අපිට නැහැ. ඒ නිසාම සුපිරි වෙළෙඳසලකින් එළවළුවක් ග්‍රෑම් සීයක් එකසිය පනහක් කිරාගෙන ඒකට ඉස්සර ග්‍රෑම් පන්සීයකට දුන්න සල්ලි ගෙවලා අරගෙන යනවා. අඩුම තරමේ ගමේ ගහක හැදෙන එළවළු ටිකවත් සාධාරණ මිලකට දෙන්න මේ වෙළෙඳුන්ගේ හිත ඉඩ දෙන්නෙ නැහැනෙ." මහරගම ශාන්ති අමරසිංහ මහත්මිය දේශයට එසේ අදහස් දැක්වූවාය. 

"මම මෑ කරල් සහ පතෝල වගා කරල තියෙනවා. මේ දිනවල හොඳ අස්වැන්නක් එක්ක හොඳ මිලක් අපේ එළවළුවලට ලැබිලා තියෙනවා. මම මෑ කරල් අක්කර කාලක පමණ වගා කරල තියෙනවා. පතෝල නම් ඊට ටිකක් අඩු ඉඩ ප්‍රමාණයක වගා කරල තියෙනවා. මේ වෙද්දි අපේ මෑකරල් කිලෝවක් රුපියල් තුන්සීයක් තුන්සිය පනහක් අතර මිලකට ගැනුම්කරුවන් ගන්නවා. මම මගේ අස්වැන්නෙන් වැඩි කොටසක් සුපිරි වෙළෙඳ සංකීර්ණයකට තොග වශයෙන් ලබා දෙනවා. ඊට අමතරව තොග වෙළෙඳුන් පවා ඒවා ලබාගන්නවා. ඉතින් පහුගිය දිනවල මහන්සි වුණු හැටියට සැලකිය යුතු හොඳ අස්වැන්නක් ලැබුණා. ඒකට හොඳ මිලකුත් ලැබිලා තියෙනවා." තඹුත්තේගම සෙනරත් කුමාරසිංහ ගොවි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව මේ දිනවල එළවළු මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇති අතර එයින් තමන්ට යම් සහනයක් ලැබී ඇති බව ගොවීහු පවසති. කෙසේ වුවද එළවළු, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දිනෙන් දින වෙනස් වන අතර එයට විවිධ හේතු බලපා තිබේ.

■   දිශානි ජයමාලි කරුණාරත්න
■  සේයාරූ - සුමුදු හේවාපතිරණ