2022 නොවැම්බර් 27 වන ඉරිදා

අරාබි ධන කුවේරයන්ට ලංකාවේ කතුන් විකුණූ ජාවාරමා

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 53

ඉසුරු සොයා එතෙර ගිය ශ්‍රී ලාංකීය කතුන් රුසක් රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කොට ගණිකා ජාවාරමේ යෙදවූ බව කියන කතාව තවත් හිතලුවක් හෝ ප්‍රබන්ධයක් නොවේ. අගහිඟකම්වලින් මිරිකෙන අහිංසක තරුණියන් හා කාන්තාවන් අරාබිකරයේ ඩුබායි, අබුඩාබි හා ඕමානය වැනි රටවලට සංචාරක වීසා මත යවා මෙකී ජාවාරම කලක පටන් සිදු කර තිබෙන බව අනාවරණය වී තිබේ.

සුන්දර රූ සපුවකින් හෙබි ඇහැට කනට පෙනෙන තරුණියන් හා කාන්තාවන් එම රටවලදී රුපියල් මිලියන ගණනට අලෙවි කොට ඇති බවත් කතුන්ගේ වයස මත මිල තීරණය කොට තිබෙන බවත් වාර්තා වේ. සංචාරක වීසා උපයෝගී කොටගෙන සංචාරකයන් සේ ඉන්දියාවට රැගෙන යන කාන්තාවන්ද ඒ හරහා ඕමානය වෙත යවා මිනිස් ජාවාරම සිදු කරන බව වාර්තා වේ. මේ අයුරින් ඩුබායි රාජ්‍ය වෙතද සංචාරකයන් සේ රුගෙන යන කාන්තාවන් අල්බුරේහි දේශසීමාව හරහා ඕමානය වෙත යවා ජාවාරම සිදු කරන බව පැවසේ.

සංචාරක වීසා මත කාන්තාවන් විදෙස් රටවලට රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යොදවන බවටත් මේ හරහා මහා පරිමාණයෙන් මිනිස් ජාවාරමක් සිදු කරන බවටත් තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබිණ. මරදාන ප්‍රදේශය මූලික කොටගෙන තවත් ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි කිහිපයක් හරහා මේ ආකාරයට කාන්තාවන් ජාවාරමේ යොදවා තිබෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා කොට තිබුණේ අදාළ සිදුවීම පිළිබඳ පැමිණිලි කිහිපයක්ද යොමු කරමිනි. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ජාවාරමට ගොදුරු වූ කාන්තාවන් කිහිප දෙනකු හා ඔවුන්ගේ ඥාතින් විසිනි. මෙසේ ලැබුණු පැමිණිලි අටකින්ම චෝදනා කර තිබුණේ මරදාන පිහිටි විදේශ රැකියා ඒජන්සියක් පිළිබඳවය.

එම පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට විමර්ශනයක් ආරම්භ කොට තිබිණ. ඒ සඳහා ක්‍රියා කර තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසකි. එහිදී අනාවරණය කොටගෙන තිබුණේ මරදාන ප්‍රදේශයේ ඒජන්සිය පවත්වාගෙන යන බව කියන පුද්ගලයා එම ස්ථානය බලපත්‍ර රහිතව පවත්වාගෙන යන බවය. සංචාරක වීසා මත ඩුබායි හා අබුඩාබි වෙත කැඳවාගෙන යන කාන්තාවන් එරට රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ කාර්යාලවලදී එරට ධන කුවේරයන්ට හා හාම්පුතුන්ට තෝරා ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි ද ඇතැමුන්ගේ ඡායාරූප හා වීඩියෝවක් පටිගත කොට ඒවා වෙනත් පාර්ශ්වයක් වෙත පෙන්වා කතුන් අලෙවි කිරීමටද ක්‍රියා කර ඇති බවටද හෙළි වී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මෙවැනි ජාවාරමක් සිදුවන බවට ප්‍රථමයෙන් පැමිණිල්ලක් ලැබී තිබුණේ 2022 වසරේ මාර්තු මාසයේදීය. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අනාවරණය කරගත් තොරතුරු අනුව සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කර තිබිණ. ඒ අනුව විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ රටවලට යවා වැඩිදුර විමර්ශනය කිරීමේ මෙහෙයුමට අවශ්‍ය පහසුකම් සලසා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

එසේ නිලධාරීන් පිරිසක් පිටත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණය මත රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, වෙළෙඳාම ජාවාරම් විමර්ශනය හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව ඕමානයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රුඳී සිටි කාන්තාවන් 45 දෙනකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කර ඇත. ඒ අනුව ඉහත කී කරුණු රැසක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබුණි.

මිනිස් වෙළෙඳාම ලොව බරපතළ අපරාධයක් බැවින් මෙරට ආශ්‍රිතව එවැන්නක් සිදු කිරීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බරපතළ හානියකි. එබැවින් එවැනි ජාවාරමක පැටළුණු වින්දිතයන්ට සහන සැලසීම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා ඉදිරියට එවැනි දෑ සිදු නොවීමට ඇවැසි පියවර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියා කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පුහුණු හා බඳවා ගැනීම්) ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.

වාර්තා වී තිබෙන තොරතුරු අනුව මේ වනවිට ජාවාරම්කරුවන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද මෙකී චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ට, තානාපති කාර්යාලවල ඇතැම් නිලධාරීන්ට හා විදේශ රුකියා ඒජන්සිකරුවන්ට එරෙහිවද චෝදනා නැගී ඇත. මෙහිදී සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එකී පිරිස්වලට එරෙහිව පැහැදිලිවම සාක්ෂි පවතින බවකි. සිදු කළ විමර්ශනවලට අනුව වින්දිත කාන්තාවන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන් ඕමාන්හි රුඳී සිටි කාන්තාවන් පිරිසක් මෙරටට ගෙන්වීමට නියමිතය.

විමර්ශන කණ්ඩායම ඕමාන් බලා ගොස් සිදු කළ විමර්ශනයේදී හෙළි කරගෙන තිබුණේ සංචාරක වීසා මත ඩුබායි හා අබුඩාබි වෙත ගිය කාන්තාවන් මගී බස් රථ ඔස්සේ දේශසීමා පැන ඕමානය වෙත ප්‍රවාහනය කර ඇති බවය. මේ ආකාරයට අනාවරණය කරගත් තොරතුරු අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා තිබිණ. එසේ ලබා දී තිබූ තොරතුරු අනුව පසුගිය 19 වැනිදා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බව කියන සහ මරදාන ඒජන්සි ආයතනයේ හිමිකරු බව කියන මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාම් (44) නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු දෙහිවල පල්ලිය පාරේ පදිංචිකරුවකු වන අතර විවාහ දෙකක් සිදු කරගෙන සිටින්නකු බවට හඳුනාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට බාරදීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම විමර්ශනය සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහුගේ ප්‍රධානම තැරුව්කරු අත්අඩංගුවට ගනු ලැබීය. එම පුද්ගලයා අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් කුගංන්ෂ්වරන් (45) නැමැත්තෙකි. මෙම සැකකරු උප නියෝජිතයකු වශයෙන් ක්‍රියා කර ප්‍රධාන සැකකරුට කාන්තාවන් සපයා ඇතැයි හෙළි වී තිබේ.

ජාවාරමේ ප්‍රධාන සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා වශයෙන් පෙනී සිට මිනිස් ජාවාරම මෙහෙයවා ඇත. එසේ උපයා ගන්නා මුදල්වලින් දෙහිවල හා වත්තල ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස දෙකක මොහු පදිංචිව සිට ඇතැයි කියති. අනාවරණය කරගෙන තිබූ තොරතුරු මත සැකකරු ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ. මේ අතර තවත් සැකකරුවකු ඇතුළු ජාවාරමේ සැකකරුවන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටිති.

ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර ප්‍රධාන සැකකරු ඕමානයේ රැඳී සිට කතුන් කිහිප දෙනකු සමඟ ලංකාවට පැමිණ තිබුණේ සැකකරු ජාවාරම්කරුවකු නොවන වග ඒත්තු ගන්වා නීතියෙන් ගැලවීමට විය හැකි බවට සැක කෙරේ. 
මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොකර විදෙස් රැකියා සිහින මවාපාමින් ලාංකික කතුන් ජාවාරම්කරුවන්ට එරෙහි දැඩි දඬුවම් පමුණුවන නීති ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

කණ්ඩායමක් එරටට යවා විමර්ශනය කළා

ගාමිණී සෙනරත් යාපා - මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පුහුණු හා බඳවා ගැනීම

''ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය පහසුකම් සලස්වා කණ්ඩායමක් යවා විමර්ශන සිදු කළා. එතනදි කාන්තා ජාවාරමක් සිදුවන බව අනාවරණය වුණා. මේ සඳහා ඇතැම් නිලධාරීන්ට කාර්යාංශය පැත්තෙනුත් තානාපති කාර්යාල මට්ටමෙනුත් චෝදනා එල්ල වුණා. මේ බරපතළ ජාවාරම රටේ කීර්තිනාමයටත් කැළලක්. වින්දිත කාන්තාවන්ට සහන සැලසීම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා ඉදිරියේදී මෙවැනි ජාවාරම් සිදු නොවීමට එරෙහි පියවර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඇතැම් සැකකරුවන් සම්බන්ධයෙන් පැහැදිලිවම සාක්ෂි තිබෙනවා. වින්දිත කාන්තාවන් වෙනුවෙන් ගත් මූලික පියවරක් වශයෙන් ඕමානයේ රැඳී සිටින කතුන් 77 දෙනකු ගෙන්වා ගැනීමට නියමිතයි. ඩුබායි අබුඩාබි හා ඕමාන රටවල් හා ලංකාව අතර වීසා ලිහිල්භාවය නිසා මෙකී ජාවාරම වැඩි වෙලා තිබෙනවා. සංචාරක වීසා යටතේ විදෙස් රැකියා සඳහා යාම අවදානම් බව දැන් කාටත් තේරෙනවා. ඒ නිසා නුපුහුණු ශ්‍රමිකයන් සංචාරක වීසා මත රුකියා සඳහා නොයා සිටීම ඉතා වැදගත්.''

 

 සමන්ත ප්‍රදීප් විල්තෙර
(සේයාරුව - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරක අංශය)