2022 නොවැම්බර් 27 වන ඉරිදා

අයවැයේ ගුණ දොස් දකින ආචාර්ය මහාචාර්යවරු

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 53

2023 සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය දෙවැනි වර කියවීම පසුගිය 22 දින වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද අයවැය ලේඛනය පිළිබඳ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. අයවැයට හොඳ කියන්නෝ මෙන්ම එහි වැරදි දක්වන්නෝද බහුල වෙති.

මෙම අයවැය ලේඛනය කෙටිකාලීන විසඳුම් නොදෙන අතර, මෙහි යහපත් ප්‍රතිඵල හිමිකර ගැනීමට තව අවුරුදු 25ක් පමණ බලා සිටිය යුතු බව පැවසේ. මෙය සංවර්ධන අයවැයක් වන අතර වෙන අයවැය ලේඛන මෙන් සීනිබෝල බෙදන අයවැයක් නොවන අතර රටේ අනාගතය ගැන සිතා ඉදිරිපත් කළ එකක් බවට තර්ක කරන්නෝද වෙති. මෙයට පෙර මෙවැනි අයවැයක් ඉදිරිපත් කළා නම් අද රට පත්ව ඇති පරිහානිය වළක්වාගත හැකිව තිබුණු බව සමහරුන්ගේ අදහස වේ.

අයවැය ලේඛනය මතුපිටින් සීනි තැවරෑ තිත්ත බෙහෙත් ගුලියක් බවට අර්ථ දක්වන අය පෙන්වා දෙන්නේ මුළු අයවැය බදු මත පදනම්ව ඇති බවකි. ඒ බව අයවැය සංඛ්‍යාලේඛන අනුව මනාව සනාථ වන අතර, දැනට ජීවන බරින් පීඩිතව සිටින පොදු ජනතාවගේ ගෙල අයවැයෙන් පනවන බදු නිසා තවදුරටත් මිරිකෙනු ඇති බවට අනතුරු හැඟවේ. කෙසේ වුවද අයවැය ලේඛනයෙන් යෝජනා කර ඇති ඇතැම් බදු වර්ග අයවැය ලේඛනය සම්මත වීමටත් පෙර සිට ක්‍රියාත්මක කිරීමට ඇතැම් අමාත්‍යාංශ සහ ආයතන කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල වේ.

කෙසේ වුවද අපේ රට ඇදවැටී ඇති දුක්ඛිත තත්ත්වය ගැන සලකා බලන විට මෙවැනි අයවැයකින් එම තත්ත්වයෙන් එගොඩ කිරීමට නුපුළුවන් බව සත්‍යයකි. රට මෙවැනි පරිහානියකට පත්වීම පිළිබඳව නුදුරු දිනවල රට ආණ්ඩු කළ රජයන් පමණක් නොව නිදහසින් පසු බලයට පත්වූ සෑම රජයක්ම වගකිව යුතු බවට චෝදනා එල්ල වෙයි. එසේම අපේ රටේ ඉදිරිපත් කළ බොහෝ අයවැය ලේඛන හුදු ඉලක්කම් ගොඩක් පමණක් වන අතර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් නොවන බවද පෙනී යයි. එසේම අයවැය ලේඛන මගින් දක්වන ගණන් හිලව් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන අතර ඇස්තමේන්තු කළ ආදායම් ලබාගත නොහැකිවා මෙන්ම වෙන්කර ඇති වැය ප්‍රතිපාදන නොසලකා වියදම් කිරීම බොහෝ විට සිදුවන නිසා අය සහ වැය දෙකොටසම හුදු ප්‍රලාපයක් බවට පත්ව ඇති බවට චෝදනා නැගේ.

මේ දිනවල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරෙමින් පවතින 2023 වසරේ අයවැය ලේඛනය පිළිබඳ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් තිදෙනකු සමඟ පැවැත්වූ සංවාද ආශ්‍රයෙන් මෙම ලිපිය ගොඩනගා ඇත.

මේ අයවැය හොඳයි - ඒත් ගෙනා වෙලාව හොඳ නැහැ

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

"ආදායම් බදු අනුපාතය 36% දක්වා ඉහළ නැංවීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් පවතිනවා. මේ නිසා බදු ගෙවන ජනතාවට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනිල්ල වගේ වෙනවා. රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 18% - 20% මට්ටමේ පවත්වා ගැනීම රජයේ අපේක්ෂාව බව කියනවා. එහෙම නම් රාජ්‍ය බදු ආදායමත් එම මට්ටමේ පවත්වාගත යුතුයි. 1990 වර්ෂය දක්වා තිබුණේ එම මට්ටමේ තමා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී සිදු කළ අවිචාරවත් බදු කපාහැරීම් නිසා එම අනුපාතය 8.5% දක්වා අඩු වුණා. මෙයින් රටේ ආදායම අඩු වී අවශ්‍ය වියදම් දැරිය නොහැකිව විශාල අර්බුදයකට ලක් වුණා. 2019 බදු කපාහැරීමේදී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 600 පමණ දක්වා අඩු වුණා. මේ හැර බදු වංචාවලින්, සීනි බදු වංචාව වැනි සිද්ධි නිසා කෝටි 1600ක් පමණ පාඩු වූ බවයි කියන්නේ. එයට සම්බන්ධ අයගේ නම් ගම් සියල්ල තිබුණත් ඒ අයවලුන්ගෙන් අයකර ගැනීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැහැ. ඒ සියල්ලම සාමාන්‍ය ජනතාවගෙන් අයකර ගන්නටයි හදන්නේ.

මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ 63% දක්වා බදු වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල විධායක නිලධාරීන්ට උපයන විට බදු ගෙවීමේදී මුලින් තිබූ ලක්ෂ 30 ආදායම් මට්ටම වසරකට ලක්ෂ 12 දක්වා අඩුකර තියෙනවා. රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 ක් හෙවත් රුපියල් කෝටි 16,908ක්.

රටේ ආර්ථික වර්ධන වේගය -9.2% බවට ලෝක බැංකුව කියනවා. මේ තත්ත්වය අනුව අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 15,300 පමණට බහීවි. මහ බැංකු අධිපති කියන්නේ අපේ උද්ධමනය 4% දක්වා පාලනය කරන බවයි. මෙහෙම උද්ධමනය තිබුණහොත් රුපියල් මිලියන 15,600 තරමේදී රටේ ආර්ථිකය නවතිනවා. මෙය දින ගණනෙන් බෙදූ විට (365) මුළු වටිනාකම ඩොලර් බිලියන 50 – 60 දක්වා පහළ බහිනවා. අපේ සංඛ්‍යාලේඛන සියල්ල වෙනස් වෙනවා. දළ දේශීය නිෂ්පාදනය අඩු වූ විට ණය ප්‍රතිශතය ඉහළ යනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ අපි දළ දේශීය නිෂ්පාදනය 119% මට්ටමකට ණය බවයි. දේශීය හා විදේශීය ණය 100 දක්වා පහළ බැස්සවීමට මුදල් ඇමැති ක්‍රියා කරන බව අයවැයෙන් ප්‍රකාශිතයි. එහෙම තියෙනවා නම් දළ දේශීය නිෂ්පාදනය වැඩි විය යුතුයි. මෙය පහළ වැටුණොත් විදේශ ණය තවත් වැඩිවීමේ අර්බුදයකට වැටෙනවා. අප බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට යාමට නම් උද්ධමනය 60% පමණ විය යුතුයි. මේ තත්ත්වය ජනතාවට අධික ලෙස අහිතකරයි. උද්ධමනය පාලනය කළහොත් අපේක්ෂිත ඉලක්කවලට යන්න බැහැ. මෙය හරියට ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී යනුවෙන් අග්ගලා මල්ල ගෙන ගිය බමුණාට සිදුවූ දෙයට සමානයි. දෙකම එකට කරන්න බැහැ.

කාලෝචිත යෝජනා රැසක් අයවැයේ තිබෙනවා

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය 
ඩැනී අතපත්තු

"මෙම අයවැයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ ආර්ථික පුනරුත්ථාපනය බව කිව යුතුයි. අද අපේ ආර්ථිකය පවතින්නේ වහා පුනරුත්ථාපනය කළ යුතු අවස්ථාවේ. 2021 දී තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 85 ක්වූ ආර්ථිකය 2022 වනවිට බිලියන 65 දක්වා පහළ වැටී තිබෙනවා. 2023 වනවිට අවශ්‍ය ප්‍රතිකර්ම නොකළහොත් තවදුරටත් ආර්ථිකය සංකෝචනය වේවි. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මෙය ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක අයවැයක්. රට ලබාගත් ණය ගෙවාගන්නට බැරිව රට බංකොළොත් බවට පත්ව තිබෙනවා. ඒ බව රජයම ප්‍රකාශයට පත්කර තිබෙනවා. අයවැය ඉදිරිපත් වූයේ මෙම පරිසරය තුළයි.

අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වනවිට අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන අපේක්ෂාවෙන් සිටින්නේ. සහන සැලසීම සඳහා මුල්‍ය අරමුදල පනවන කොන්දේසිවලට අපට එකඟ වීමට සිදුව තිබෙනවා. රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂිතයි. රජයේ බදු ආදායම වැඩිකර ගන්න ක්‍රම පෙන්විය යුතුයි. මේවා ජනප්‍රිය තීන්දු නොවේ. එහෙත් ආණ්ඩුවට අකමැත්තෙන් හෝ එයට එකඟ වීමට සිදුවෙනවා. අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා උපදෙස් ගැනීමට විශේෂඥයන් දෙදෙනකු පත් කිරීමටද සිදුව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ඔවුන් උපදෙස් දෙනවා. ඒවා ඇතැම්විට අමිහිරි වේවි.

මෙම අයවැය ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකර ගැනීමට සකස් කර ඇති බව පෙනෙනවා. එකක් වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරලීමයි. දෙවැන්න ආර්ථික වර්ධනයක් පෙන්වීමයි. රටේ පවතින තත්ත්වය අනුව එය අති දුෂ්කර වේවි. සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා අයවැය හිඟය අඩුකර ගත යුතු වෙනවා. අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය නැවැත්විය යුතුයි. රටේ ආර්ථිකය ගැන නොසලකා අවිචාරවත් ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් උද්ධමනය ඉහළ යාවි. රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට මෙයින් අපේක්ෂිතයි. බැංකුවල පොලී අනුපාතය ඉහළ දමා බැංකු ණය ගැනීම අකර්මණ්‍ය කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂිතයි.

ආර්ථික වර්ධනය ඇතිකර ගැනීම උදෙසා නව ආර්ථික කලාප රට පුරා ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. අපට ඩොලර් උපයා ගැනීම සඳහා මෙම ආර්ථික කලාපවලට විදේශ ආයෝජකයන් කැඳවා ගැනීම අවශ්‍යයි. රටට විශාල බරක්ව තිබෙන භාණ්ඩාගාරයෙන් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමටද බලාපොරොත්තු වෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලයද ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා. අලාභ ලැබෙන ආයතනවලට අතිරේකව ලාභ ලැබෙන ආයතන අලෙවි කිරීම පිළිබඳ රටේ ජනතාව අකමැත්තෙන් ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා පාර්ලිමේන්තුවේදි පැවසුවේ ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත නොකළ යුතු බවයි. අනාගතයේදී කුමක් සිදුවේද යන්න අවිනිශ්චිතයි.

ඇතැම් කම්කරු නීති සංශෝධනය කිරීමටද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. රටේ පවතින සමහර කම්කරු නීති රටේ සංවර්ධනය අහිතකර බව පෙනී යනවා. ඒවා ආයතනවල ක්‍රියාකාරීත්වයටද බාධා සිදුවන බව පෙනී ගොස් තිබෙනවා. රජයේ රෝහල්වල මුදල් ගෙවා ප්‍රතිකාර ලැබිය හැකි වාට්ටු ඇතිකිරීමේ යෝජනාවද කාලෝචිතයි. අද පවතින තත්ත්වය අනුව මුදල් ඇති නැති සැම දෙනාටම මුදල් නොගෙවා ප්‍රතිකාර ලබාගැනීමට අවකාශ සැලසී තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමේ යෝජනාවද යහපත්. එසේම අඩු මුදලක් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි වාට්ටු රජයේ රෝහල්වල ඇතිකිරීමෙන් අධික ගාස්තු අය කරමින් රෝගීන් සූරා කෑමට පෞද්ගලික රෝහල්වලට ලැබී ඇති ඉඩද ඇහිරෙනවා. මෙවැනි කාලෝචිත යෝජනා රැසකින් මෙම අයවැය සමන්විතයි.

අයවැයේ අලුත් දෙයක් නැහැ: ඇත්තේ දියාරු යෝජනා

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති විජිතපුරේ විමලරතන හිමි

"1977 ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව එතෙක් පැවැති ආර්ථික තත්ත්වයේ කැපීපෙනෙන වෙනස්කම් ඇතිකළ බව අපට මතකයි. විවෘත ආර්ථිකය හඳුන්වාදීම නිසා රටේ ආර්ථික තත්ත්වය ප්‍රසාරණය වුණා. එය විප්ලවීය අයවැයක් ලෙස එකල හැඳින්වීමට හැකිවූයේ එබැවින්. එහෙත් අප අද සිටින්නේ එදාට වඩා අභාග්‍ය සම්පන්න අවස්ථාවකයි. නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති, විරුකියාව, අයවැය හිඟය, ආනයන ගැටලු, විදේශ ආයෝජන අඩුවීම, ප්‍රේෂණ නොලැබීම ආදී ගැටලු රැසකට මැදිවී සිටිනවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය වැඩිවීම මන්දපෝෂණය හා ආහාර හිඟය ආදී ඉතිහාසයේ අලුත් ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. මෙවැනි ගැටලු එකවර උද්ගත වූ පළමු අවස්ථාව මෙයයි.
එසේ වුවද මෙම අයවැය තුළින් එම දැවෙන ප්‍රශ්නවලට රැඩිකල් ප්‍රතිසංස්කරණ දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝ විට දීර්ඝ කාලීන විසඳුම් බලාපොරොත්තු වන දියාරු යෝජනාවලින් පිරුණු ලේඛනයක්. සාම්ප්‍රදායික අයවැය ලේඛනය තුළින් වට්ටෝරුවක් පමණක් ඉදිරිපත් කර ඇති බව පෙනෙනවා. කුඩා කුඩා ව්‍යාපෘති දක්නට ලැබුණත් පවතින තත්ත්වයෙන් ගොඩ එන යෝජනා ඉදිරිපත් වී නැහැ.

පෞද්ගලීකරණය ගැන යෝජනා තිබුණද විශාල ලෙස පාඩු ලබන මත්තල ගුවන් තොටුපොළ වැනි සුදු අලියන් ගොඩ දැමීම ගැන කතා කර නැහැ. මෙම ගුවන් තොටුපොළෙන් මසකට රුපියල් කෝටි 10ක් පාඩු ලබන බව සඳහන්. සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට තනා ඇති සුවිශාල සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩාගාර, නෙළුම් පොකුණ රඟහල ආදිය ආදායම් ලබන තත්ත්වයට පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී නැහැ. මගේ අදහස නම් මෙම ජාතික ධනය කාබාසිනියා කරන ආයතන පෞද්ගලික අංශයට දිය යුතු බවයි. එවිට ඒවා සංවර්ධනය කර රජයට ද යම් ආදායමක් ලබාගැනීමට පුළුවන් වේවි. මෙම ආයතන පසෙක දමා වෙනත් දේවල් ප්‍රතිව්‍යුහගත කිරීමට අයවැයෙන් අරමුණු කර තිබෙනවා.

රාජ්‍ය සේවය අකර්මණ්‍යව තිබියදී තිබෙන ආයතන පාඩු ලබමින් තිබියදී කුරුඳු සඳහා අලුත් දෙපාර්තමේන්තුවක් යෝජනා කර ඇති බව පෙනෙනවා. මෙවැනි ව්‍යාපෘති රජය බාරනොගෙන පෞද්ගලික අංශය මගින් කර ගැනීම සුදුසුයි. ආර්ථික රෝදය වේගයෙන් කැරකීමට නම් රාජ්‍ය අංශයේ බර සැහැල්ලු කළ යුතුයි. ආර්ථික කටයුතු ප්‍රසාරණය කිරීම සඳහා මෙතෙක් නොසලකා සිටි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. නොනිදෙන නගර ඇති කිරීමට සැලසුම් කළ යුතුයි. තඹුත්තේගම, දඹුල්ල වැනි ආර්ථික නගර දිවා රාත්‍රී ක්‍රියාත්මක කළ හැකියි. කටුනායක, මහරගම ආදී ජනාකීර්ණ ශීඝ්‍රයෙන් දියුණු වන නගර රාත්‍රියට වසා නොදමා විවෘත කර තැබියි යුතුයි. මෙම ස්ථාන ආණ්ඩුවේ අවම මැදිහත්වීම් සහිතව පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කළ යුතුයි. 

I යසවර්ධන රුද්රිගූ