2022 නොවැම්බර් 27 වන ඉරිදා

ඉන්දු - ලංකා ගිිවිසුම් භීතිය

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 120
1998 අවුරුද්දේ අග භාගයේ ඉන්දු ලංකා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරන්නට යෝජනා වූ අතර එය එක්තරා සන්ධිස්ථානයකට ළඟා වන්නේ 2000 වසරේ මාර්තු මාසයේය. එහි දෙවැනි පියවරක් වශයෙන් ආර්ථික සහ තාක්ෂණික සේවා ගිවිසුමක් අත්සන් කිරීමට මූලික අදහසක් පැන නැගෙන්නේ 2016 වසරේදීය. ආර්ථික හා සේවා අංශවලින් සම්බන්ධ වීම අනතුරක් සේ ශ‍්‍රී ලංකාවේ පිරිස් කල්පනා කරන ලද නමුත් වේගයෙන් දියුණු වෙමින් පවතින සහ අති විශාල ජනගහණයක් සහිත ඉන්දියාව සමඟ එකතු වෙන්නට ජගත් ප‍්‍රජාව බලවත් වෑයමකය. ඉන්දියාවේ අවකාශයෙන් අවස්ථාවක් උදාකර ගන්නට සූදානමක් නැත. දෙරට අතර ආර්ථික සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය කෙරෙහි ඇතැම් පාර්ශ්වවල අකැමැත්තක් ඇත. විශාල විරෝධතා තිබේ. ආර්ථික අවස්ථා ඉන්දියාවේ වාසියට හරවා ගන්නා බවට මත පළවෙමින් තිබේ.
 
2016 වසරේ සිට අද දක්වා ඉන්දියාවේ ආර්ථික ගමන් මග ගැන නිසි තක්සේරුවකට යා යුතු අතර ශ‍්‍රී ලංකාවට සිදුවූයේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතුව තිබේ. වසර 2040 වන විට ඉන්දියාව ලෝකයේ ප‍්‍රධාන ආර්ථිකයක් සහිත රටක් බවට පත්වන බවට පුරෝකථනය වී ඇත. සාක් කලාපයේ පාකිස්ථානය හැර අනෙක් සියලුම රටවල් ඉන්දියාවේ අවස්ථාවලින් ප‍්‍රයෝජන ගනිමින් සිටියි. අපට අහිමි වූ අවකාශය වෙනුවට අනාගතයේදී ඇතිවිය හැකි රාමුව ගැන සලකා බැලීම වැදගත්ය.
 
• දෙරට අතර ආර්ථික ගනුදෙනු පසුබිම 
 
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සමාජ සංස්කෘතික බැඳීමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රාමායනය ලියන වාල්මිකි රාම හා රාවණා අතර පැවැති ගැටුම විග‍්‍රහ කරයි. වසර හත්දහසකට පමණ කලින් වකවානුවක සිදුවූ බව දක්වන පුරාවෘත්තයට අනුව රාවණ ඉන්දියාවට පිටත්ව සීතා කුමාරිය පැහැරගෙන එන්නේ දඬුමොණරයෙනි. වසර 2600ක ඉතිහාසය තුළ බුදු දහම සමඟ දෙරට අතර සබඳතා වෙනස්ම මුහුණුවරකට පත්විය. මෑත කාලයේදී දෙරට අතර සබඳතා තද පැත්තකට හැරිණ. එදිනෙදා ක‍්‍රියාකාරීත්වයේදී අත්පත් කරගත් ජය සහ පරාජයන් ගැන නොයෙක් මතිමතාන්තර තිබේ. ආසන්න රටක් සමඟ ආර්ථික ගිවිසුමක් පළමුවෙන් අත්සන් කරන්නට ඉන්දියාව තෝරාගන්නේ ශ‍්‍රී ලංකාව බව සඳහන් කළ යුතුය. වෙළෙඳ කටයුතුවලදී නව ලිබරල් පසුබිමක් ඇති කරන අතර තෝරාගත් භාණ්ඩ සඳහා දෙරට අතර වෙළෙඳාමේදී බදු ඉවත් කරන්නට මෙහිදී තීරණය කර තිබුණි. බදු අත්හරින පදනම අනුව අවසාන වාසිය පාරිභෝගිකයන්ට ලැබේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවට යවන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වර්ග සියයක භාණ්ඩ ලැයිස්තුවක් සකස් කරන්නට දීර්ඝ කාලයක් ගත කර ඇත. තවමත් එකඟතාවයකට පැමිණ නැත.
 
ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ප‍්‍රකාශ කරන ලද පරිදි විස්තීරණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව නැවත සලකා බැලීමට සූදානම්ය. එහි කටයුතු අරඹන ලද්දේ වසර හතරකට පමණ කලින් බවද ඔහු සඳහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය ලබන වසරට යෙදේ. දෙරට අතර නිල රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර හැත්තෑ පහක් ගත වී තිබේ. රටවල් දෙකම විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කරයි. ලිබරල් ආර්ථික ක‍්‍රමය කෙරෙහි විශ්වාසය තබා ඇත. මෑත කාලය තුළ විවෘත ආර්ථික ක‍්‍රමය හැසිරුණ ආකාරය ගැන විවේචන පවතින අතර ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් අර්බුදවලට මුහුණ පා තිබේ. එසේ නමුත් වෙනත් විකල්ප ක‍්‍රමයකට සූදානමක් නැත. තාක්ෂණය වැඩිදියුණු කරන හා කළමනාකරණයෙන් අවස්ථා ගන්නා ව්‍යුහයකට තවත් නැඹුරු වෙමින් පවතී. 
 
• තාක්ෂණික සහයෝගීතාවයේ අනාගතය 
 
අලුත් වාර්තා අනුව ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව බලශක්ති ක්ෂේත‍්‍රයේ එකතු වීමකට සූදානම්ය. ඉන්දියාවේ තෙල් පිරිපහදු අංශයෙහි හිඟය දැනට සමස්තයෙන් 30% ක ප‍්‍රතිශතයක් වන අතර පිරිසුදු කරන ලද ඉන්ධන ආනයනය කරන්නට සිදුවී ඇති බව ඉන්දීය වාර්තා දක්වයි. වසර 2040 වන විට එය දෙගුණ වෙතැයි සැලකේ. විදුලිබල අවශ්‍යතාව 2038 වන විට තවත් ප‍්‍රශ්නයක් විය හැකි බව ඉන්දීය පර් යේෂකයන් පෙන්වා දී ඇත. යුරෝපා රටවල අවශ්‍යතාවයට වඩා ඉන්දියාවේ විදුලිය බලශක්ති ප‍්‍රමාණයක් අවශ්‍ය වන අතර එය දැන් පවතින උත්පාදනය මෙන් දෙගුණයක් පමණ විය හැකි බව දැක්වේ. මෙම බලශක්ති සැපයුම සඳහා අනුගමනය කරන ක‍්‍රියාමාර්ග හා ආයෝජනය ඉන්දියාවේ අනාගතය බව අනාවරණය වී ඇත. 
 
ඉන්දියාව දැනට අනුගමනය කරන පිළිවෙළ අනුව අසල්වැසි රටවලින් හදිසි විදුලිය මිලදී ගනියි. භූතානයේ ජල විදුලිය උත්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය කරන අතර එහි නිපදවන විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇත. යුරෝපා සංවිධානයේ සහයෝගීතාවයෙන් හයිඩ‍්‍රජන් බලශක්ති විදුලිය උත්පාදනයට සූදානම් වේ. හයිඩ‍්‍රජන් නිපදවීම සඳහා කම්හල් අරඹන අතර ඒවා ප‍්‍රවාහනය හා ගබඩා කිරීමට වෙනම තාක්ෂණයක් සොයා ගැනීමට නියමිතය. හයිඩ‍්‍රජන් මගින් බස් රථ, ලොරි යනාදී බර වාහනවල විදුලිය අවශ්‍යතා සපුරන බව අනාවරණය වන කරුණකි. ඉන්දියාවේ සම්පූර්ණ දුම්රිය පද්ධතිය විදුලිය බලයෙන් ක‍්‍රියාත්මකය. විදුලියෙන් ධාවනය වන මෙට්‍රෝ උමං දුම්රිය සේවයට වසර විසි පහක් සම්පූර්ණ වී ඇති අතර එය තවත් ව්‍යාප්ත වෙමින් පවතී. මේ අනුව තවත් විදුලිය අවශ්‍යතා වැඩි වේ. අසල්වැසි ඉන්දියාවට විදුලිය සැපයීම සඳහා රටට අවස්ථාවක් තිබේ.  
 
ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ප‍්‍රමාණයට ද විදුලිය නිපදවා ගත නොහැකි පසුබිමක ඉන්දියාවට විදුලිය සපයන්නේ කෙසේද? යෝජිත තාක්ෂණික සහයෝගීතාව එයට පිළිතුරු සපයනු ඇත. මන්නාරම ආශ‍්‍රිතව සුළං විදුලිය උත්පාදනය කෙරෙහි ශ‍්‍රී ලංකාව උනන්දුවක් දක්වයි. සූර්ය තාප විදුලිය උත්පාදනයට ද යෝජනා වී ඇත. මෙමගින් නිපදවන අතිරේක විදුලිය විකිණිය හැකි අතර එය විනිමය උපයන මාර්ගයකි. ශ‍්‍රී ලංකාව දැනට තදබල විනිමය ප‍්‍රශ්නයක පසුවන අතර අලුත් මාධ්‍ය මගින් විනිමය උපයා ගැනීමට ක‍්‍රියා කළ යුතුව ඇත. විදුලිය, ඛණිජ තෙල් පිරිපහදුව වැනි අංශ මන්නාරම සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත කරන අතර ඒවා රුහැන් හා නල මාර්ගයෙන් දකුණු ඉන්දියාවට යොමු කරන්නට යෝජනා කර ඇත. මෙවැනි පියවර වෙනුවෙන් තාක්ෂණික සහයෝගීතාවය ඉඩ සලසයි.
 
• සේවා හා තාක්ෂණික ගිවිසුම් භීතිය
 
මෙම අලුත් ගිවිසුම් හෝ සංශෝධන ගැන ජනතාව තුළ ඇති කරන අනවබෝධය ගැටලුවකි. පොදු ජනතාව පමණක් නොව කැබිනට් මණ්ඩලය සහ වත්මන් එකඟතා ආණ්ඩුවේ සාමාජිකයන් පවා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර යම් තාක්ෂණික ගිවිසුමක් අත්සන් කරන්නේ ද සහ එහි පසුබිම කුමක්ද යන්න අවබෝධ කරගෙන නැත. එය බරපතළ කාරණයකි. ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා මෙම කටයුතු ගැන අනාවරණයක් කළ අතර එය දෙස් විදෙස් ජනමාධ්‍යවල ඉහළ අවධානයක් ගෙන තිබේ. ඉන්දු ශ‍්‍රී ලංකා සම්බන්ධතා අරභයා ද රටට හොඳ දැනුමක් දෙන්නට අවශ්‍ය නම් ආණ්ඩුවට එයට පියවර ගත යුතුය. ඉන්දු ලංකා මුල් ගිවිසුම අත්සන් කර ගත වූ කාලය තුළ මෙම ගිවිසුමේ යහපත හෝ එහි වැදගත්කම ගැන රටට හොඳ අවබෝධයක් දෙන්නට ආණ්ඩුවලට හැකියාවක් ලැබුණේ නැත. ගිවිසුම අත්සන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ සමයේදීය. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ යුග අවසන් වී ඇත. මෙම කාලය තුළ ඉන්දියාවට කරන අපනයනය පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව දැක්වේ. එහි වාසිය රටට බව සඳහන් කිරීම වැදගත්ය. 
 
ඉන්දු ලංකා ගිවිසුම හෝ දැන් ගමන් කරන්නට සූදානම් වන ආර්ථික සහ තාක්ෂණික ගිවිසුම යනු කුමක්ද? විවිධ මතධාරීහු එහි එක් එක් කොටස් වෙන් කරගෙන තමන්ට අනන්‍ය ආකාරයට විග‍්‍රහ ඉදිරිත් කරනු ඇත. ගිවිසුම තුළ රාක්ෂයන් මතු කරන අතර සාන්තුවරයන් මතු කරන කොට්ඨාසයක් ද සිටී. නමුත් එය නිවැරදි මත දැක්වීමක් නොවේ. ආණ්ඩුව තීරණයක් ගෙන ඇත්නම්, ආණ්ඩුව දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නම් එය එක හෙළා ජනතාවට ප‍්‍රකාශ කර ජනතාව තුළ ඇති භීතිය, කුකුස හෝ වෙන යම් ආකාරයක තත්ත්වයක් ඇත්නම් තුනී කළ යුතුය. එය ආණ්ඩුවේ වගකීමකි.
 
• අපනයන අවශතා ඉදිරියේ පවතින සීමා
 
මෙරට අපනයන තොරතුරු දක්වන ආකාරයට සමස්ත අපනයනයෙන් ඉන්දියාවට යැවෙන්නේ 5% කට අඩු කුඩා ප‍්‍රතිශතයකි. එය දෙගුණයකින් වැඩිකර ගැනීමෙන් පවා දෙරට අතර පවතින වෙළෙඳ පරතරය පියවා ගන්නට හැකියාවක් නැත. එය, ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික ගිවිසුමක් ගැන කතා කරන විට කල්පනා කරන්නට අවශ්‍ය කාරණයකි.  
 
පොදු ජනතාව දන්නේ නැති කාරණා හෙළිදරව් කරන්නට ආණ්ඩුවට වගකීමක් ඇති අතර දෙරට අතර සහයෝගීතාවය හෙයින් මතු කරගත හැකි අවස්ථා ගැන සමාජයේ සියලුම පැලැන්ති දැනුවත් කිරීම බලවත් අවශ්‍යතාවයකි. දෙරට අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6 කි. ඉන්දියාව විශාලම වෙළෙඳ හවුල්කරුවාය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ අපනයනය සීමාසහිතය. එය රටට වෙළෙඳ අවාසියක් සිදුවන හේතුවකි. පරතරය පියවන්නේ කෙසේද? අපනයනවලින් පියවා නොගතහොත් ඒවා ගෙවන්නේ මෙරට විනිමය වලිනි. රටට විනිමය හිඟ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර ණය ගැනීමට රටට සිදුව තිබේ. ණය ගෙවාගත නොහැකි කාලයකි. විනිමය උපයා දෙන මාර්ග අතර ප‍්‍රධාන එකක් බවට පත්ව ඇත්තේ විදේශ රුකියා අංශයයි. විදේශගත ශ‍්‍රී ලාංකිකයන් රටට එවන විනිමය ඉන්දියාවට ආපහු හරවන්නේ ඉන්දු ලංකා ගිවිසුම වැනි අවස්ථාවලින් අපනයනය කර ධනය උපයා ගන්නට අවස්ථාව තිබියදී වීම කනස්සල්ලට කාරණයක් විය යුතුය. 
 
I සාරා කන්දෙගොඩ
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00