2022 නොවැම්බර් 27 වන ඉරිදා

සල්ලි මවන මාළුමිරිස්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 534

මේ දිනවල අමුමිරිස් වගාවෙන් හොඳ අස්වැන්නක් මෙන්ම හොඳ මිලක් ද ලැබෙන බව ගොවීහු පවසති. පසුගිය කාලයේ මහන්සි වූ තරමට අස්වැන්නක් නොලැබුණද පවතින ආර්ථික අපහසුතා හමුවේ මෙලෙස මිල ඉහළ යාමෙන් යම් තරමකට හෝ සහනයක් ලැබී ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.

''මේ ලැබෙන අස්වැන්නෙන් අපිට හොඳ මිලක් ලැබෙනවා. අපි මාළු මිරිස් වගා කරලා තියෙනවා. මේ දිනවල කිලෝවක් රුපියල් හත්සීයකට පමණ අපෙන් මිලදී ගන්නවා. කොහොමටත් දැන් මාස හයක පමණ කාලයක සිට රුපියල් පන්සීයකට එහා අපෙන් මිලදී ගත්තා. ඒ නිසා මහන්සිවෙලා මාළු මිරිස් වගා කරපු ගොවීන්ට හොඳ මිලක් ලැබුණා. අපෙන් සුපිරි වෙළෙඳසැලුත් මාළු මිරිස් කිලෝවක් මේ වෙද්දි රුපියල් හත්සීයකට මිලදී ගන්නවා. ඊට අමතරව තොග වෙළෙඳුන්ද අපෙන් රුපියල් හයසිය පනහට මාළු මිරිස් කිලෝවක් මිලදී ගන්නවා.'' තඹුත්තේගම ලයනල් නන්දන ගොවි මහතා දේශයට පැවසීය.

මාළු මිරිස් වගා කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පසුගිය කාලයේදී වගා කළ මාළු මිරිස් වගාවන්ට විවිධ රෝග වැළඳීමත් සමඟ අස්වැන්නෙහි අඩුවක් සිදුවූ බව ගොවීහු පවසති. පසුගිය කාලයේ දිනක කිලෝ විස්සක පමණ ඵලදාව කිලෝ දහය දක්වා පමණ අඩුවී තිබුණි. බොහෝ ගොවීන් මාළු මිරිස් සහ අමුමිරිස් වගා කරන්නේ තවාන් ක්‍රමයටයි. පිටත වගාවලට වඩා තවාන් ක්‍රමයට වගා කළ බෝග වගාවන්ගෙන් වැඩි අස්වැන්නක් ගැනීමට ඔවුන්ට හැකි විය.

''පසුගිය කාලවලදී බෝගවලට අවශ්‍ය පොහොර, තෙල් ආදිය නිසි පරිදි නොලැබීම නිසා වගා බොහොමයක් හානි වුණා. ලැබුණු අස්වැන්න වුණත් සාර්ථක වුණේ නැහැ. ඒ නිසාම තමයි පසුගිය මාස කිහිපය තුළදී අමුමිරිස්, මාළු මිරිස්වල මිල මිනිසුන්ට දරාගන්න බැරි තරමින් ඉහළ ගියේ. අස්වැන්න වැඩි වුණාම ගොවීන්ටත් වාසියි. මිල අඩුවීම නිසා ඒකෙන් සාමාන්‍ය මිනිසුන්ටත් වාසි වෙනවා. අපි වර්ග අඩි පන්දහසක පමණ ඉඩ ප්‍රමාණයක මාළු මිරිස් තවාන් දමා තියෙනවා. අපි දවස් දහයකට වරක් බැගින් මාළු මිරිස් අස්වැන්න නෙලනවා. ඒ අනුව එක් වරකට කිලෝ හාරසීයක පමණ අස්වැන්නක් අපිට ලැබෙනවා. මගේ ගෙදර අය මේ වගා කටයුතුවලට උදව් කරනවා. ඊට අමතරව මට අත්උදව්වට දෙන්නකුත් දවස් පඩියට උදව් කරනවා. පසුගිය කාලයේදී නම් අපිට මේ වගා කටයුතු නතර කරන්න තරම් හිතුණා. කොච්චර මහන්සි වුණත් ඒ මහන්සියේ ප්‍රතිඵල නැතිවෙද්දි ඒ හැමදේම නතර කරන්න හිතුණා. එහෙම වගාවන් නතර කරපු ගොවීන් මේ පළාතේ ඉන්නවා. මාළු මිරිස් බීජ ග්‍රෑම් දහයක් රුපියල් තුන්දහස් පන්සීයකට ඉස්සර අපි ගත්තෙ. නමුත් අද වෙද්දි මාළු මිරිස් බීජ ග්‍රෑම් දහයක් රුපියල් එකොළොස් දහසයි. අද වෙද්දි මේ දෙමුහුන් බීජ තුන් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. පොහොර, තෙල්වල වුණත් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ හැම දෙයකටම මුහුණදීලා අද වෙද්දි හොඳ අස්වැන්නකුත් ලැබිලා තියෙනවා.'' නන්දන ගොවි මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සමයේ මාළු මිරිස් සහ අමුමිරිස් ඉතා ඉහළ මිලකට මිලදී ගැනීමට ජනතාවට සිදුවිය. ඇතැම්හු තම ආහාරවේලට අමුමිරිස් එක්කර නොගත්හ. ඒ තරමට අමුමිරිස් මිල ඉහළ ගියේය. කෙසේ වෙතත් අද සාමාන්‍ය වෙළෙඳපොළේ අමුමිරිස් සුලබව දක්නට හැකිය. මේ නිසාම මිලෙහිද යම් අඩුවක් පවතී. ඒ අනුව මේ වනවිට තොග වෙළෙඳපොළෙහි අමුමිරිස් කිලෝවක මිල රුපියල් අනූවකි. සාමාන්‍ය වෙළෙන්ඳෝ එය කිලෝවක් එකසිය විස්ස, එකසිය හතළිහ අතර මිලකට වෙළෙඳාම් කරති.  

''අපි අමුමිරිස් අක්කර තුන් කාලක පමණ වගා කරනවා. අපි අමුමිරිස් වගා කරන්නෙ අවුරුදු තුනක පමණ කාලයක සිටයි. හොඳ වෙළෙඳපොළක් තිබුණා. නමුත් පොහොර හිඟයත් සමඟ ඇතැම් අමුමිරිස් වගාවන් අසාර්ථක වුණා. මීට පෙර අපි අක්කරයක පමණ ප්‍රමාණයක වගා කටයුතු කළා. නමුත් පොහොර ඇතුළු අනෙකුත් දේවල්වල මිල ඉහළ යාමත් සමඟ බොහෝ ගොවීන් වගා කටයුතුවලින් ටිකක් ඈත් වුණා. මිරිස් වගාවේදී වියදම ටිකක් වැඩියි. ඒක දරාගන්න බැරිව ඇතැම් ගොවීන් ගොවිතැන් කටයුතුවලින් ඈත්වුණා.'' නුවරඑළිය ඩී.එම්. ජයන්ත ගොවි මහතා දේශයට පැවසීය.

වෙළෙඳපොළට ලැබෙන ඵලදාවත් සමඟ අමුමිරිස් සහ කොච්චි මිල දිනෙන් දින වෙනස් වෙයි. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට සාපේක්ෂව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි අස්වැන්නක් ලැබෙන බව ජයන්ත ගොවි මහතා පවසයි.

''මේ දිනවල අමුමිරිස්වල මිල ඉහළ පහළ යනවා. පසුගිය කාලවලදි අමුමිරිස්වල මිල ජනතාවට දරාගන්න බැරි තරමට ඉහළ ගියත් අද වෙද්දි අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය තිහත් අතර වෙනවා. පසුගිය දින කිහිපයේදී එය කිලෝවක් රුපියල් අසූවක් වුණා. වෙළෙඳපොළට ලැබෙන අස්වැන්න වැඩි වෙද්දි ඒවායේ මිල අඩුවීම සාමාන්‍ය දෙයක්.'' යැයි මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ උප භාණ්ඩාගාරික රෑපසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

■   දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00