2022 නොවැම්බර් 27 වන ඉරිදා

මෙරට ධීවර කර්මාන්තය හපකරන රට කරවල

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 168

මහ මුහුදින් වටවුණු දූපත් රාජ්‍යයක මිනිසුන්ගේ ආහාර පිණිස කරවල මාළු ආනයනය කිරීම කොතරම් විහිළු සහගත ක්‍රියාවක්ද? තවත් මාස කිහිපයක් තුළ ධීවර කර්මාන්තය මුළුමනින්ම පාහේ කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවට අප වෙත තොරතුරු අනාවරණය විය. මෙතෙක් කිසිවකුගේ ඇස නොගැටුණු ධීවර කර්මාන්තය වසා පැතිරෙන අඳුරු වළාවක් පිළිබඳ සුවිශේෂී අනාවරණය අප මුල පිරුවේ එබැවිණි.

මීගමුව බේරුවල ඇතුළු කර්මාන්තය බහුලව සිදුවන ප්‍රදේශ කිහිපයකින් මීට අදාළ තොරතුරු අප වෙත ගලා ආවේය. කරවල කර්මාන්තය මූලික කරගත් සිදුවීම් පෙළකි. මේ සම්බන්ධව අප වෙත පළමුව තොරතුරු අනාවරණය කළේ සාන්ත පේදුරු කරවල නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතාය.

මෙරට වෙළෙඳපොළ මත්ස්‍ය මිල තීරණය වීමේ මූලික සාධකය කරවල මිල බව බොහෝ දෙනකු නොදන්නා කාරණයකි. මේ රටට වඩාත් වැඩි මත්ස්‍ය අස්වැන්නක් රැගෙන එන්නේ බහුදින ධීවර යාත්‍රා හරහාය. එහෙත් එම යාත්‍රා තුළ රැගෙන එන මාළු අතරින් සියයට හැටකට හැත්තෑවකට වඩා ආසන්න ප්‍රමාණයක් කරවල සඳහා විකිණීම සිදුවේ.

එම නිසාම මෙරට වෙළඳ පොළේ මාළු මිල සෘජුව කරවල සඳහා බලපානු ලබයි. මෙහිදී කරවල මිල සඳහා බලපෑම් කරන තෙවැනි පාර්ශ්වයක් සිටියි. ඔවුහු මෙරට කරවල ආනයනය කරන පුද්ගලයෝය. චීනය, ඕමානය, ඉන්දුනීසියාව වැනි රටවලින් මෙම පිරිස කරවල ආනයනය කරති. මෙම ආනයනික කරවල මිල සමඟ තරග කිරීමට දේශීය ව්‍යාපාරිකයන්ට පහසු නැත.

මෙම තත්ත්වය මත කරවල වෙළඳපොළ මිල ගණන්, දේශීය නිශ්පාදකයන්ගේ මූලික පිරිවැය පවා පහළ මට්ටමක පවතියි. අද වනවිට දේශීය කරවල නිෂ්පාදනය වේගයෙන් පහළ බැස ඇති අතර ඇතැම් නිෂ්පාදකයන් කර්මාන්තය හැර ගොස් තිබේ. මෙම තත්ත්වය මත බහුදින ධීවර යාත්‍රා රැගෙන එන කරවල සඳහා උචිත මාළුවලට තවදුරටත් වෙළඳපොළ සැලකිය යුතු මිලක් නොලැබේ. මෙම තත්ත්වය මත මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන දායකත්වය දරන්නන් වන බහුදින ධීවර කර්මාන්තද වේගයෙන් කඩා වැටෙමින් පවති.

ආනයනික කරවල මිල සමඟ තරග කිරීමට නොහැකි නිසා දෙසැම්බර් ජනවාරි මාසවලදී තවදුරටත් කරවල සඳහා මාළු මිලදී නොගන්නා බවට දේශීය කරවල නිෂ්පාදකයන් මේ වනවිටත් ධීවරයන්ට අනතුරු හඟවා ඇති බව අපට දැනගන්නට ලැබේ. මෙය අතිශය බරපතළ තත්ත්වයක් වන නමුත් බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණකි.

මෙරට කරවල ආනයනයට මූලික වී සිටින්නේ විවිධ දේශපාලන සම්බන්ධතා සහිත බලවත් ව්‍යාරිකයන් පිරිසක් බව කියැවේ. මෙම පිරිස මෙරට කරවල ආනයන සම්බන්ධ ඇතැම් නීතිරීති පවා උල්ලංඝනය කරන බවට ධීවර ප්‍රජාව චෝදනා කරයි.
ඔවුන් පවසන පරිදි චීනය වැනි රටවල දැවැන්ත නෞකාවලින් වරල් ලබාගනු පිණිස අල්ලන මෙරට තහනම් කර ඇති මෝරුන් වර්ග කෘත්‍රිම ලෙස වේලා කරවල කර ආනයනකරුවන් මෙරටට රුගෙන එති. දුටුවන් ප්‍රිය උපදවන පරිද්දෙන් සකස් වන මෙම කරවල රසයෙන් අඩුපාඩුය. මේවා වියළීම සඳහා රසායන ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටද දේශීය කර්මාන්තකරුවෝ චෝදනා කරති.

දේශීයව නිෂ්පාදනය නොවන හාල්මැස්සන් ආදී කරවල වර්ග ආනයන කිරීම සැබවින්ම ගැටලුවක් නොවේ. එහෙත් විශේෂයෙන්ම මෝරා, කට්ටාවා වැනි කරවල ආනයනය මේ මොහොතේ සිදුනොවිය යුත්තකි. ආනයන සීමා පනවමින් දේශීය ඩොලර් සංචිත ඉතිරි කර ගැනීමට රජය කටයුතු කරන මොහොතක මෙම කරවල ආනයනයට නිදහස ලබා දී ඇත්තේ කාගේ වුවමනාවකටද යන්න ගැටලු සහගතය. ඉහළ නිලධාරීන් හෝ දේශපාලකයන්ගේ අවශ්‍යතා පරිදි මෙම කටයුතු සිදුවෙමින් ඇතැයි ධීවරයෝ චෝදනා කරති.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කඩාවැටීම ආරම්භ වූ ධීවර කර්මාන්තය කරවල ආනයනය සමඟද තවදුරටත් අගාධයට යමින් පවතින බව පැහැදිලිය. ආනයන සීමා පැනවීම හෝ බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම මෙම ගැටලුවට කාලෝචිත විසඳුම්ය. විසඳුම් නොලැබුණහොත් මේ පමාව ධීවර කර්මාන්තයේ විසල් ඛේදවාචකයකට හේතුවනු නොඅනුමානය.

කඩ 15ක් නිසා ධීවර කර්මාන්තයම අනාථ වෙලා

ලසන්ත ප්‍රනාන්දු මහතා - සාන්ත පේදුරු කරවල නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

අපි කියන්නේ නෑ මිනිස්සුන්ට කන්න බැරි ප්‍රමාණයට කරවල මිල ඉහළ යන්න ඕන කියලා. අපි කියන්නෙ දේශීය කර්මාන්තය ආරක්ෂා කරගන්න ස්ථාවර මිලක් පවත්වා ගන්න ඕනෑ කියලා. ඕනෑම කෙනෙකුට කරවල ගේන්න වෙළඳපොළ විවෘත කරන නිසා තමා මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නෙ. කරවල මිල තමා මාළු මිල තීරණය කරන්නෙ.
පිටකොටුව බජාර් එකේ කරවල කඩ හැටක් විතර තිබෙනවා. ඒකෙන් පහළොවක් විතර තමා පිටරටින් කරවල ගෙන්වන්නෙ. ඒ පහළොවට තමා මුළු ධීවර කර්මාන්තයම අනාථවෙලා තියෙන්නෙ. අපේ සංගම්වල හිටපු නිෂ්පාදකයෝ ගොඩක් දැන් කර්මාන්ත හැර ගිහිල්ලා.

මෝර කරවල ගෙන්වීම වහාම නවත්වන්න

දයානන්ද මහතා - කළුතර දිස්ත්‍රික් බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති

මේ කරවල ගෙන්වන විදියට තව මාස හය හතක්වත් මේ කර්මාන්තය ඇදගෙන යන්න බැරිවෙයි. ඩීසල් මිල ඉහළ යෑමත් එක්ක, බහුදින ධීවර යාත්‍රාවලට විශාල වියදමක් දරන්න සිද්ධවෙලා තියෙනවා.
මාළු මිල පහළ යාමත් එක්ක ගොඩක් බෝට්ටු මුහුදු යන්නේ නැතිව දැන් නවතිනවා. අපිට මේකට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. විශේෂයෙන්ම මෝර කරවල ගෙන්වන එක නවත්වන්න. නැත්නම් මේ කරවල ආනයනයට අධික බදු පනවන්න.

ලංකාව වටේම මාළු අහුවෙන මේ කාලයේවත් රටින් ගේන්න එපා

රුවන් ප්‍රනාන්දු - සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම්

කරවල මාළු පිටරටින් ගෙන්වනවා. එතකොට මෙහෙන් ගන්නෙ නෑ. කරවලවලට මාළු විකුණනවා නම් අපේ මිල තව උඩ එනවා. මේ ලංකාව වටේම මාළු අහුවෙන කාලය. මා දැල්වලට පොඩි බෝට්ටුවලට තෙප්පම්වලට පවා මාළු අහුවෙනවා. මේ වලා කාලෙට විශේෂයෙන්ම මාළු පිටරටින් ගෙන්නන්න ඉඩ දෙන්න නරකයි. අපි විටින් විට මේ සම්බන්ධව ධීවර අමාත්‍යංශය දැනුම්වත් කරනවා. නමුත් එයාල ඒක ගණනට නොගෙන මාළු ගෙන්වන්න ඉඩ ලබාදෙනවා. අපි කියලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ ඉඳලා මාර්තු මාසේ දක්වා මාළු පිටරටින් ගෙන ඒම නතර කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නෑ. 

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00