2022 නොවැම්බර් 27 වන ඉරිදා

ලෝකය කැළඹූ 2022 FIFA තරගාවලිය

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 72

ක්‍රීඩාංගන 08ම 'ඒසී'

බී.බී.සී. විකාශය නොකළ පළමු සිදුවීම

වියදම ඩොලර් බිලියන 200ක්

2022 FIFA ලෝක කුසලානය නොවැම්බර් 20 වැනි දින අතිවිශිෂ්ට සමාරම්භක උත්සවයකින් කටාර්හිදී ආරම්භ විය. කටාර්හි අල් බේට් ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය ඔස්කාර් සම්මානලාභී නළු මෝගන් ෆ්‍රීමන් සහ කටාර් සමාජ මාධ්‍ය බලපෑම්කරු Ghanim al-Muftah විසින් මෙහෙයවුණු ශුද්ධ වූ අල් කුර්ආනය පාඨයන් උපුටා දැක්වීමෙන්   ඇරුඹුණි. ඊට අමතරව, දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTSහි සාමාජිකයකු වන ජුන්ග්-කුක් ලෝක කුසලානය සඳහා ඔහුගේ ඒකල ගායනයක්ද  ඉදිරිපත් කළේය. කටාර් සහ ඉක්වදෝරය අතර ලෝක කුසලානයේ පළමු තරගය පැවැත්විණි. මෙවර කටාර්හි ක්‍රීඩාංගන අටකදී කණ්ඩායම් 32ක් අතර තරග 65ක් පෙළ ගැසී ඇත. කෙසේ වෙතත්, මෙවර ලෝක කුසලාන තරගය බොහෝ අංගවලින් පළමු හෙවත් මංගල අවස්ථා ගණනාවක් නියෝජනය වූ අවස්ථාවකි. මෙවර  තරගාවලිය මතභේද ගණනාවකටද හේතු වූ බව නොරහසකි.

2022 ලෝක කුසලානය කටාරයේ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ බොහෝ මතභේද පැතිරී තිබුණි. කටාර්හි ක්‍රීඩාංග‍න ඉදිකිරීමේ ක්‍රියාවලියේදී   පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු සංක්‍රමණික සේවකයන් 6500ක් පමණ ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රවෘත්ති ප්‍රචාරය වීමෙන් පසුවය. එය දැඩි  ලෝක අවධානයට ලක් විය. මීට අමතරව, LGBTQ ව්‍යාපාරය පිළිබඳ කටාර්හි ස්ථාවරය ජාත්‍යන්තර වේදිකාවල විවාදයට තුඩු දී තිබුණි.

වැඩිම වියදමක් දරා සූදානම් වු තරගාවලිය ලෙස මෙවර උත්සවය ඉතිහාස ගතවේ. කටාරය ක්‍රීඩාංගන, අධිවේගී මාර්ග, හෝටල් ආදි ඉදිකිරීම් ඇතුළත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 200 ක් පමණ වැය කළ බව කියයි.
මෙවර 2022 ලෝක කුසලානය ආරම්භ වූයේ සූරා අල්-හුජුරාත්හි ශුද්ධ වූ කුර්ආනයේ වාක්‍ය පාඨයක් පාරායනය කිරීමෙනි. එය මින්පෙර සිදුනොවු, නොදුටු කාරණාවකි. මෙවර දක්නට ලැබුණු මෙබඳු බොහෝ මංගල කාරණා අතරට  FIFA ලෝක කුසලාන   සත්කාරකත්වය දැරෑ පළමු මැදපෙරදිග සහ මුස්ලිම් රට බවට මිලියන 2.8ක ජනගහනයක් සිටින කටාරය පත්වීම ප්‍රධානය. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන පැවැත්වීම සඳහා වූ ලංසුව කටාරය 2010දී දිනා ගත්තේය.

පකිස්තානය ලෝක කුසලානයට ක්‍රීඩා නොකළද මෙවර තරගාවලියට සැලකිය යුතු දායකත්වයක් දෙකක් ලබාදී ඇත. ඒ ලෝක කුසලාන තරග සඳහා යොදාගන්නා ‘අල් රිහ්ලා’ නම් වූ සමස්ත බෝල ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ නිෂ්පාදනය කිරීමෙන් සහ මීට අමතරව, ආරක්ෂාව සඳහා ඔක්තෝබර් මාසයේදී පාකිස්තානය පාබල හමුදාවේ  4500ක් දෝහා වෙත යැවීමෙනි.

සත්කාරක රට ලෙස, කටාර් ජාතික පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලානයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගත් අතර එම පාපන්දු කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.  කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරගයකින් පරාජය වූ පළමු සත්කාරක රට බවටද කටාර් රාජ්‍යය පත්විය.

සාමාන්‍යයෙන් මැයි, ජූනි හෝ ජූලි මාසවලදී පැවැත්වුණු ලෝක කුසලානය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ශීත සමයේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එසේම වායුසමනය කළ ක්‍රීඩාංගණ භාවිත වන මුල් අවස්ථාවද මෙයයි. ගිම්හානයේදී කටාර්හි පවතින දැඩි රළු කාලගුණික තත්ත්වය මෙයට හේතුවයි. නොවැම්බර් මාසයේදී කටාර්හි සාපේක්ෂව සිසිල් කාලගුණයක් තිබුණද, කටාර්හි ක්‍රීඩාංගන අටම සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇත.

රුසියාවට මුල්වරට තරගය තහනම් වූයේ මෙවරය. පසුගිය 2018 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට රුසියාව වුවද, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීම FIFA විසින් තහනම් කර ඇත.
ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා විනිසුරුවන් තරග විනිශ්චය සඳහා   නම් කර ඇත්තේ මෙවරය. 33 හැවිරිදි සලීමා මුකාන්සංගා (Salima Mukansanga), 36 හැවිරිදි යෝශිමා යමෂිටා (Yoshimi Yamashita) සහ 38 හැවිරිදි  ස්ටෙෆ්නි ෆ්‍රුපර්ට් (Stephanie Frappart) මේ තිදෙනාය. මෙවර ඝානාව, සෙනගල්, කැමරෑන්, මොරොක්කෝව සහ ටියුනීසියාව නියෝජනය කරමින් අප්‍රිකානු කණ්ඩායම් පහක්ද මේ තරගාවලියට ඇතුළත්ව ඇත.

බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන බීබීසී මෙහි සමාරම්භක උත්සවය විකාශනය නොකළ  අතර මෙතරම් මහා පරිමාණයෙන් මහජන අවධානයට යොමුවන ජාත්‍යන්තර සිදුවීමක් BBC ය විසින් විකාශනය නොකළ පළමු අවස්ථාව මෙයයි.

මෙවර FIFA ලෝක කුසලානයේදී වාර්තාගතවූ ලොවපුරා සිටින සියලුම පාපන්දු ලෝලීන්ගේ හද කම්පා කරවන පුවත නම් පාපන්දු ඉතිහාසයේ වඩාත්ම විවාදාත්මක පාපන්දු පුරාවෘත්තයන් බඳු  ක්‍රීඩකයන් දෙදෙනා වන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලිය මෙය විය හැකි වීමය.

ඊටත් වඩා බොහෝ ක්‍රීඩා ලෝලීන් කැළඹුණු  කාරණාවක් වුයේ කටාරයේ මත්පැන් තහනමය. නමුත් තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර කටාරය රසිකයන්ට මත්පැන් විකිණීමේ ප්‍රතිපත්තිය වෙනස් කළේය. බීබීසී පුවත් සේවයට අනුව, මුස්ලිම් රටක් ලෙස අලෙවිය දැඩි ලෙස පාලනය කර තිබියදීත්, “ක්‍රීඩාංගන තුළ තෝරාගත් ප්‍රදේශවල” මත්පැන් සැපයීමට සූදානම් කර ඇත.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00