
පාස්කු ප්‍රහාරය සමඟ මේ රටේ ඇතැම් පුද්ගලයන්ගේ පැටිකිරිය එළියට ආවේ සිතාගත නොහැකි ලෙසටය. ඇතැම් කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස සමාජයේ සිටියවුන් අවසානයේ මරාගෙන මැරෙන්නවුන් වී සිටියෝය. ඇතැම් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෝ මරාගෙන මැරෙන්නවුන් වී සිටියහ. ඇතැම් ගුරුවරු, පූජකවරු පවා මේ ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් වී සිටියෝය. ඒ සියල්ලම සහරාන් හසීම්ගේ විකෘති ආගම් ව්‍යාප්තියත් විකෘති ස්වර්ගයත් හමුවේ වශී වී සිටියෝ වෙති.
කෙසේ වෙතත් පරීක්ෂණත් සමඟ ඇතැම් පුද්ගලයන් ජාත්‍යන්තර ඉස්ලාම් සංවිධාන සමඟ බද්ධ වී සිටින බවට හෙළිදරව් විය. ඔවුහු අල්කයිඩා, අයි.එස්. වැනි ප්‍රධාන ගණයේ සංවිධානවල සාමාජිකයන් වී සිටියහ. ඇතැම් අය කාලයක් සිරියාව සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල පුහුණුව ලබා සිටි අය වූහ. මේ සියල්ල හෙළිවුණේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණත් සමඟය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල වී දැන් අවුරුදු තුනකට අධිකය. එහෙත් තවම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නැත. එසේ පරීක්ෂණ අවසන් වී නොමැති මොහොතක පසුගියදා අලුත් කතාවක් හදිසියේ කරළියට ආවේය. ඒ ඇමෙරිකාව විසින් සිදුකළ හදිසි නිවේදයක් සමඟය.
එනම් අල්කයිඩා සංවිධානයේ මූල්‍ය පහසුකම් සපයන්නකුගේ ව්‍යාපාරික සහකරුවකු බව කියන ව්‍යාපාරිකයකු හට ඇමරිකාවේ සම්බාධක පැනවීමත් සමඟය. එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇත්තේ අල්කයිඩා සංවිධානය වෙනුවෙන් මුල්‍ය සහාය ලබාදීමත් ඊට අනුබල දීමත් සිදුකර ඇති පුද්ගලයා අහමඩ් ලුක්මාන් තලීබ් බවය. ඔහු විසින් ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය ආධාර ලබාදීම සිදුකර ඇත. ඔහුට මූල්‍යාධාර ලබාදීම සඳහා ව්‍යාපාරික සහාය ලබාදුන් පුද්ගලයන් දෙදෙනකු එරට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබුණේය. ඉන් එක් අයකු වූයේ තුර්කි ජාතිකයකු වූ මුසාබ් ටර්ක්මන්ය. ඔහු මීට පෙර හඳුනාගත් අතර ඔහුට එක්සත් ජනපදය විසින් මීට පෙර සම්බාධක පනවනු ලැබීය.
2018 වසරේදී මොවුන් දෙදෙනා විසින් ව්‍යාපාර ආරම්භ කර ඇති අතර අවම වශයෙන් තලීබ්ගේ ශ්‍රී ලංකා ව්‍යාපාරවල හවුල්කරු වී ඇත්තේ 2018 වසරේ අග භාගයේදී බව සඳහන් වේ. එක්සත් ජනපද භාණ්ඩාගාරය පෙන්වා දෙන්නේ ඔවුන් දෙදෙනා විසින් 2018 ආරම්භ කළ ශ්‍රී ලංකා ව්‍යාපාරයෙන් ආදායම පමණක් ඩොලර් ලක්ෂ 2ක් උපයාගෙන ඇති බවය. මොහුගේ සියලු ව්‍යාපාර නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකර ඇති බවද හෙළිවී ඇත.
කෙසේ වෙතත් තලීබ් තම ආදායම ලබා ඇත්තේ ව්‍යාපාරවලින් තුනෙන් එකකින් පමණකි. අනෙක් සියලුම ව්‍යාපාරවල ලාභයන් තලීබ් විසින් අල්කයිඩා සංවිධානය වෙත ලබාදී තිබේ. මෙහිදී නිසාර් විසින් තලීබ්හට ද්‍රව්‍යමය ආධාර, මූල්‍යමය ආධාර සහ තාක්ෂණික සහාය ලබාදී ඇති බව අනාවරණය වී ඇත. තලිබ් විසින් ශ්‍රී ලංකාව, බ්‍රසීලය, කොලොම්බියාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, ටර්කි සහ ගල්ෆ් ආදී රටවල ව්‍යාපාරවල නිරත වී ඇතැයි ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර මේ සිදුවීම හෙළිවීමෙන් පසු ඇමෙරිකාව විසින් මෙරට ආරක්ෂ අංශ වෙත නිසාර් සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ නිසාර් යනු පාස්කු ප්‍රහාරය වූ දවසේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ප්‍රහාරය එක්කළ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ්ගේ ව්‍යාපාරික සගයකු බවයි.
කෙසේ වෙතත් දැනට ඇමෙරිකාවේ වත්කම් තහනම් කර ව්‍යපාරික සම්බාධක පැනවූ නිසාර් අදටත් සිටින්නේ කොහිද යන්න තොරතුරක් නිසි ලෙස ලැබී නැත. එහෙත් නිසාර් මේ රටේ අමු අමුවේ අහිංසක මිනිසුන් 250 කට අධික ඝාතනයට සම්බන්ධ අයෙක් නම් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහුව ගෙන්වා ගත යුතුය. අල්කයිඩාවට මුදල් දුන් බවට අනාවරණය වී තිබීම නිසා වත්කම් රාජසන්තක කර වෙළෙඳාම් ඇමෙරිකාවෙන් තහනම් කළා නම් පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු වූ නිසාර් සම්බන්ධයෙන් අප ගත් පියවර කුමක්ද? එය බරපතළ ප්රශ්නයකි.
■ ගයාන් ගාල්ලගේ