2022 නොවැම්බර් 20 වන ඉරිදා

පොලිස් නිලධාරිනියට හිංසා කළ නිලධරයා ගැන පරීක්ෂණ ඉබිගමනේ

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 30

ගොයමේ ආරක්ෂාවට නියර බඳින වී ගොවියා නියරේත් සමස්ත කුඹුරේත් ආරක්ෂාවට කුඹුර වටා වැටක් ඉදි කරයි. ගොයමේ වැඩි ආරක්ෂාවට බැඳි නියර හා වැට එක්ව ගොයම කා දමා විනාශ කළ කල්හි ගොවියාට වන දුක වේදනාව මානසික පීඩනය මැද අපේක්ෂා භංගත්වය සුළු පටු නැත. නීතිය සාමය හා මහජන ආරක්ෂාව බාර පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ තාඩන පීඩන හා අසාධාරණ බලපෑමට ලක්වන සෙසු නිලයන් වෙනුවෙන් හඬක් නගන්නට කෙනකු නැතිනම් ව්‍යවහාරයේ එන ''වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව'' යන පිරුළ සිහියට නැගේ.

මේ පිරුළ සටහන් තැබීමට ආසන්නතම හේතුව පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නොමනා හැසිරීමය. ඉකුත් දා පානදුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරිනියන් දෙදෙනකුගේ ගෙලෙන් අල්ලා තල්ලු කර ආවේගශීලී ලෙස හැසිරුණු ඔහුගේ ක්‍රියා කලාපය සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටයක් හා ඡායාරූප කිහිපයක් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අතර ඒවා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධ කොට තිබේ. එහි දක්නට ලැබෙන පරිදි පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් රුසක් මැද සිටියදී කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල පසුපසින් නිලඇඳුම සමඟ තදින් අල්ලා තර්ජනය කරමින් තල්ලු කරන බවක් දකින්නට ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ල වී පවතී.

පසුගිය 12 වැනිදා වාර්තා වූ සිදුවීමේ ආරම්භය කළුතර නගරයයි. %අරගලයේ මව්වරු^ ලෙස පෙනී සිටි කාන්තාවන් දෙදෙනකු ත්‍රස්ත පනත යටතේ දින 90 ක් රුඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබිණි. ඔවුන් දෙදෙනා අත ඒ බව සඳහන් කර ලද පුවරු දෙකක්ද විය. ඒවාද අතැතිව කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදාගත් පසුව විරෝධය පළ කරමින් ආරම්භ කළ පා ගමන මීටර් 50 ක් පමණ යන අතරතුර සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස්කොට පා ගමන අඩාල කළහ. එසේ පා ගමන නැවැත්වීමත් සමඟ පා ගමනේ යෙදුණු කාන්තාවන් දෙන්නා පසුබැස කළුතර බෝධිය ආසන්නයේදීම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට නැග ගත්තේය. එසේ පැමිණ කළුතර උතුර ප්‍රදේශයෙන් බැසගත් දෙදෙනා නැවත පා ගමනේ නිරත වූහ.

ත්‍රස්ත පනත යටතේ දින 90 ක් රුඳවුම් නියෝග යටතේ රඳවා සිටින වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කර ලෙස බල කරමින් පා ගමනේ යෙදුණු අරගලයේ මව්වරුන් වශයෙන් පෙනී සිටි අයගේ අරමුණ කළුතර සිට පා ගමනින් ගොස් කොළඹ අරගල භූමිය පැවති ගෝල්ෆේස් පිටිය අබියසින් පා ගමන අවසන් කිරීමටය. මේ අතරතුර වාද්දුව පින්වන්ත හා පානදුර ප්‍රදේශවලදී අවස්ථා කිහිපයකදී පොලිසිය පැමිණ ඔවුන් හරවා යැවීමට උත්සාහ ගත්තේය. මේ අතර පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ ගොරකාන ප්‍රදේශයේදී එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් රාශියක් එක්ව නැවත පා ගමන අඩාල කරන්නට උත්සාහ කොට තිබුණි. එම අවස්ථාවේ පා ගමනේ යෙදුණු කාන්තාවන් දෙන්නා හා ඔවුන්ට සහාය දැක්වූ පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ඇතිවී උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

මේ අවස්ථාවේ ගොරකාන අදාළ සිදුවීම වූ ස්ථානයට පොලිසියේ පනහකට වැඩි පිරිසක් සහිත බලඇනියක් යොදවා ඇති බව දකින්නට ලැබිණ. එතැනදී පා ගමනේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කඩිනමින් ක්‍රියා කරන ලෙස බල කරමින් කෝපාවිෂ්ටව හැසිරුණු පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල පසුපසින් නිලඇඳුම් කොටසක්ද සහිතව අල්ලාගෙන තල්ලු කරන්නට ක්‍රියා කර තිබිණ. එම අවස්ථාව ඇතුළත් ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ සිදුවීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල විය.

එම ගැටලුකාරී අවස්ථාවේදී පවා ඊට එක්ව සිටි අරගලයේ මව්වරු ලෙස පෙනී සිටි කාන්තාවක ''වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ ත්‍රස්ත පනත යටතේ සිර කරලා අදට දවස් 84 ක් වෙනවා. අපි ආණ්ඩුවට බල කරනවා වහාම ඒ දෙන්නා නිදහස් කරන්න.'' යැයි ආවේගයෙන් පැවසුවාය. කෙසේ හෝ පා ගමන අඩාල කරමින් කාන්තාවන් තිදෙනෙක් සමඟ සහාය දැක්වූ පුද්ගලයන් දෙදෙනෙක් පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර නිරෝෂා ඩැනියෙල්, ප්‍රියන්ති ප්‍රනාන්දු හා දිල්කි සුරංගිකා යන කාන්තාවෝ වෙති.

මේ අවස්ථාවේදී පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට අප්‍රසාදය පළ කරන පිරිස අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සාලිය පීරිස් ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය මේ වනවිට අංශ ගණනාවකින් පිරිහී ඇති බවය. සාමකාමී විරෝධතා පැවැත්වීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇති බවත් මෙම කතුන් අත්අඩංගුවට ගැනීම මගින් පොලිසිය මිනිසාගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කොට ඇති බවත් එහි සඳහන් කර තිබිණ.

මේ අතර සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මෙලෙස අදහස් දැක්වීය.

''පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා පල්ලියමුල්ල ප්‍රදේශයේදී පෙළපාලියක ගමන් කළ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වූ යම් සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍යවල පළ වුණා. මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. එම නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබඳව වහාම විමර්ශනයක් කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝග කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියකුට පැවරී තිබෙන භාෂණයේ නිදහස පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරව ගරු කරනවා. ඊට බාධා කරන්න පොලිසියේ කිසිදු අදහසක් නෑ.'' යැයි පැවසීය.

ආණ්ඩුවට එරෙහි තනි පුද්ගල පා ගමන් හෝ කවරාකාර විරෝධයක් වුවද ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ට ලැබී ඇතැයි කියන උපදෙස් අනුව මෙම කාන්තාවන්ගේ පා ගමන වැළැක්වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ. ඒ තුළ ඇතිවූ අර්බුදකාරී සිදුවීම විමර්ශනයට පොලිස්පති නියමයෙන් උපදෙස් ලබා දී ඇති බව ප්‍රසිද්ධ කෙරුණද දින හතක් ගතව ඇතත් කිසිදු ඵලයක් දකින්නට නැත. එබැවින් කතාව දෝලාවෙන් ගමන පයින් නොවන විමර්ශනයේ සාධාරණයක් ඉටු කළ යුතුය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර