2022 නොවැම්බර් 20 වන ඉරිදා

අනුලා දාගැබෙන් පළිඟු කරඬුවක්

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 162

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත ලෙස සැලකෙන්නේ මිහින්තලාවයි. මිහින්තලා කඳු මුදුන් මත මෙන්ම කඳු පාමුලද පෞරාණික දාගැබ් රාශියක් හමුවේ. මිහින්තලාවට නුදුරින් වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවූ පුරාවිද්‍යා ස්මාරකයකි, අනුලා දේවී ස්තූපය නමින් හඳුන්වන්නේ. 

ලක්දිව පළමු භික්ෂුණීන් වහන්සේ වන අනුලා භික්ෂුණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩසිටි විහාර භූමිය ලෙස සැළකෙන්නේ එයයි. මහාවංශයට අනුව ඇය දේවානම්පියතිස්ස මහ රජුගේ මලණුවන් වූ මහානාග යුවරජුගේ අගමෙහෙසිය වේ. ලංකාවේ පළමු රහත් තෙරණිය ලෙස මහාවංශයේ සඳහන් වන්නේද අනුලා මහරහත් තෙරණියයි. ඒ තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතූන් තැන්පත් කර අනුලා ස්ථූපය හා ආරාමය ඉදිකළ බව විශ්වාස කෙරේ.  එම ඓතිහාසික පූජාභුමිය පුරාවිද්‍යා රක්ෂිතයක් වුවත් එහි ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම්, අවසර කැණීම් ආදිය පසුගිය කාලයේ සිදුවිය. මේ ගැන අවධානය යොමුකළ මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝදාගම චන්දිම නාහිමියන් මෙහි කැණීම් සහ සංරක්ෂණ කටයුතු සංවිධානය කිරීමට උනන්දු වූහ.   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත මෙහි කැණීම් කටයුතු සිදුකිරීම 2021 දෙසැම්බර් මස 08 වැනිදා ආරම්භ විය. මෙම පුරාවිද්‍යා කැණීම් කටයුතු සඳහා බාහිර මූල්‍ය දායකත්වය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීම සිදුවේ.

මිහිඳු මහ රහතන්වහන්සේ අනුරාධපුර අගනුවරට වැඩම කළ පසු උන්වහන්සේ හමුවට පන්සියයක් කාන්තාවන් සමඟ පැමිණි අනුලා බිසව ධර්ම දේශනා අසා සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශයේ සඳහන්ය. පසුව දසසිල් ගෙන සිටි එම පිරිස මහණ බව ලබාගන්නේ සංඝමිත්තා තෙරණිය ලංකාවට පැමිණීමෙන් පසුවයි.

මිහින්තලය - මැදවච්චිය මාර්ගයට යාබදව, මිහින්තලා විහාරයේ සිට කිලෝමීටර 02ක් පමණ උතුරට වන්නට අනුලා දේවී විහාර නටබුන් භූමිය පිහිටා තිබේ. එහි පිහිටි දාගැබක් සහිත පස්කන්දක් ඇතුළු නටබුන් ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පුරාවිද්‍යා ස්මාරක බිමක් ලෙස 1921 වර්ෂයේදී නම් කෙරිණි. “අනුලා දාගැබ” සහ පුදබිම ලෙස නම්කර තිබූ මේ පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රමාණය අක්කර 46ක් පමණ වේ.

විශාල ගල් පර්වතයක් මත පිහිටි කුඩා දාගැබ සහිත පස් ගොඩැල්ල මෙම ස්ථානයේ කැපී පෙනෙන ස්මාරකය විය. ඒ අවට තවත් ආරාමික ගොඩනැගිලි පැවති බවට ගල්කණු සහ ගල් කැබලි, ගඩොල් හා උළු ආදියෙන් පැහැදිලි වේ. ගල් තලාවේ සෙල්ලිපිද දක්නට ලැබිණි. මිහින්තලා මහ සෑයද මේ ස්ථානයට කදිමට දැකගත හැකිවේ. මෙහිදී හමුවූ සෙල්ලිපි අනුව මෙහි නම අනුලා තිස දාගැබ බව හෙළිවී තිබේ.

අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවීමෙන් පසුව ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ වූ ස්ථානය ලෙස මෙතැන සැලකේ. ක්‍රි.පූර්ව 02 සියවසට අයත් අනුලා දාගැබ අවට විහාර ඉදිකොට භික්ෂූණී ආරාමයක් ලෙස පැවති බව ජන විශ්වාසයේ එන කරුණකි.

ඔවුන් පියවරෙන් පියවර විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව කැණීම් සිදුකරන අතර එහිදී පළමුව අවධානය යොමුකර ඇත්තේ අනුලා දාගැබ ලෙස විශ්වාස කරන ගරාවැටුණු චෛත්‍යයටය. නිදන් හොරු දාගැබේ විශාල වළවල් හාරා ඇති නිසා බොහෝ පුරාවස්තු විනාශයට පත්ව තිබුණි. මේ වනවිට එහි පාදම මතුකර ගැනීමෙන් පසු ගර්භයේ කැණීම් කටයුතු සිදුවේ.  එම කැණීම්වලින් කුඩා පළිඟු‍ කරඬුවක් සහ තරමක් විශාල මැටි කරඩුවක්ද හමුවී තිබේ. පළිඟු කරඬුවේ යම්කිසි ධාතුන් ස්වල්පයක් ඇති බව පෙනුණද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසන්නේ එවැනි මතයක් පළකිරීමට තවදුරටත් සියුම්ව පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

කැණීම් කටයුතු සිදුකෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එහි පැමිණි අතර ඒ සමග අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලකද එක්ව සිටියේය. මෙම ව්‍යාපෘතිය භාර නිලධාරී ලෙස, කැණීම් නිලධාරී ඒ.ඒ. විජයරත්න කටයුතු කරන අතර මෙහි කැණීම් කටයුතුවල යෙදෙන අනිකුත් නිලධාරීන් ලෙස පුරාවිද්‍යා පර් යේෂණ නිලධාරී ආචාර්ය තුසිත වගලවත්ත, සංවර්ධන නිලධාරීන් වන කේ.ජී.එච්.එස්. පද්මසිරි හා ඒ.ඩී.ආර්. සුරංග ගුණවර්ධන හා කැණීම් සහකාර සචින්තන සුරංග බණ්ඩාර, කැණීම් ශිල්පීන් වන සුගත්, නිශාන්ත, සුරත්, රෂික, රවීන්ද්‍ර ඇතුළු පිරිස වෙති. මෙහි දිගටම කැණිම් කටයුතු සිදුවන අතර ඉදිරියේ තවත් අපූරු පුරාවිද්‍යා සාධක මතුවීමට ඉඩ තිබේ.

■  කුසුම්සිරි විජයවර්ධන